COMEDY AND JOKE

වර්තමාන ශ්‍රී ලාංකීය ප්‍රසංග කලාවේ බොහෝ තැන්වල වරද්දාගෙන, පටලවාගෙන, ‘අනාගෙන’ ඇති වෙනස් අරුත් ඇති සාමාන්තර වචන දෙකකි COMEDY AND JOKE. වර්තමාන දියුණු විද්‍යුතය, සිනමාව ආදී නූතන කලාවන්ගේ අප මේ වචන යුග්මය වරද්දාගෙන තිබුණ ද, ලාංකීය නාට්‍ය මූලයන් වූ ගැමි රඟ මඬලේ පවා මේ වචනවල නිවැරැදි අරුත් දී තිබුණි.

මෙය පැහැදිලි කර ගැනීම අසීරු වී ඇත්තේ ඒවා සඳහා නිවැරැදි සිංහල වචන නිර්දේශ වී නැතිකමෙන් යැයි මට විටෙක සිතේ. COMEDY යන ඉංග්‍රීසි වචනයට අද අප ‘හාස්‍ය’ කියා සිංහලෙන් කියූව ද හාස්‍ය යන සිංහල වචනයට මුල් වූ සංස්කෘත ‘හාස්‍ය’ පදයේ ඊට වඩා පළල් අරුත් ඇත. එය ‘හාස්‍ය නමැති භාවය මෝදු වී උපදින හාස්‍ය නමැති රසයයි.

හාස්‍ය රසය අරමුණු කොට ගෙන සිදුවන ප්‍රාසංගික කලාවන්හිංග භාවිතයේ යොදා ගන්නා සමාන්තර ක්‍රමවේද දෙකක් ලෙස COMEDY AND JOKE හැඳින්විය හැකිය. මෙය පැහැදිලිව ම දෙවර්ගයකි. එහෙත් එකක් අනිකට වඩා උසස් හෝ පහත් යැයි සම්මත වී නැත. ක්‍රමවේද දෙකක් ලෙස ඉතිහාසයේ සඳහන් වී තිබුණා පමණි.

ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවස වන විට ග්‍රීසියේ පැවති නාට්‍ය වර්ග තුන උදාහරණයට ගෙන COMEDY සහ JOKE අතර වෙනස වටහා ගත හැකිය.

ට්‍රැජඩි, කොමඩි සහ සැටායර් ලෙස මේ වර්ග තුන හඳුන්වනු ලැබේ. ඉන් ට්‍රැජඩිය වනාහී ශෝකාන්ත නාටකයයි. කොමඩිය හඳුන්වන්නේ සුඛාන්ත නාටකය කියාය. තුන්වෙනි සැටායර් නාටක වර්ගයට අපේ උගතුන් සිංහල භාෂාවෙන් සොයා ගත් වචනය වන්නේ ‘ප්‍රහසන නාටක’ යන්නයි. සුඛාන්තය හෙවත් කොමඩියෙන් හාස්‍ය රසය මතු වූ අතර සැටායර් නාටකයන්ගෙන් මතු වූ ප්‍රහසනය යනු කුමක්ද? කොමඩි සහ සැටායර් යන දෙවර්ගය COMEDY සහ JOKE යන රංග ක්‍රම දෙක සඳහා පර්යායද?

ඇරිස්ටෝටල්ගේ පෙයෙටිකිස් කෘතියෙන් පෙන්වා දෙන පරිදි ට්‍රැජඩිය හෙවත් ශොකාන්තය පාදක වන්නේ උත්තම මිනිසුන් ගැනය. කොමඩියට තේමා වන්නේ උත්තමත් නැති අධමත් නැති සාමාන්‍ය ඳඬසුන්ගේ කතා ප්‍රවෘත්තීන්ය. එහෙත් සැටායර් හෙවත් ප්‍රහසන නාට්‍ය සඳහා යොදාගෙන ඇත්තේ පහත්, අධම, හීන, දීන වූ මිනිසුන් පිළිබඳව හෝ යක්ෂ, ප්‍රේතාදී අමනුෂ්‍ය, අභව්‍ය විකාර රූපී තත්ත්වයක් පිළිබඳවයි.

අපේ නාට්‍ය ඉතිහාසයේ ට්‍රැජඩි ආකෘතියෙන් යුතු සාහිත්‍ය නාටකයකට උදාහරණ නැත. සඳකිඳුරු, මනමෙ, ගිරිදේවි, පත්තිනි, රිද්දි බිසෝ ආදී කතා ප්‍රවෘත්තීන් හි දී ද මරණය, ශෝකය, වියෝව සහ විපත්තිය අන්තර්ගත වී තිබුණ ද අපේ ගැමියා ‘සියල්ල සතුටින් විසිර ගියහ’ යන හුදී ජන පහන් සංවේගයම පැතූ නිසා ඒ හැම කතා ප්‍රවෘත්තියකම අවසානය සතුටින් සහ ජයග්‍රහනයෙන් කෙළවර කර තිබේ.

කෝලම් නාටකවල හමුවන බොහෝ ප්‍රධාන පාත්‍රයින් හාස්‍ය ප්‍රමුඛ ප්‍රසංග ඉරියව් විදහා පායි. ග්‍රීක නාට්‍ය ඉතිහාසය කියන පරිදි සුඛාන්ත හෙවත් කොමඩි නාටකවල හමු වන්නේ සාමාන්‍ය මිනිසුන්ය. අපේ කෝලමේ ද එන සාමාන්‍ය මිනිසුන් හාස්‍ය රංග කාර්යයේ නියැලෙන්නන් වන අතර කෝලමේ හමුවන හීන, දීන හෝ ගුප්ත, භූත හෝ චරිතයෝ JOKE හෙවත් ප්‍රහසන ලක්ෂණ දරන්නෝ වෙති.

කෝලමේ හමුවන චරිත අතර අණ බෙර කෝලම, හේවා කෝලම, ආරච්චි කෝලම, මුදලි කෝලම සහ රජ බිසෝ කෝලම සාමාන්‍ය සජීවී මිනිසුන්ය. පේඩි කෝලම හෙවත් ජස කෝලම, ලෙන්චිනා, පුරංසිනා සහ නොංචි ආදී චරිතයෝ ද රංග කාර්යයේදී ස්වභාව භාස්‍ය ඉරියව් දරති. එහෙත් හීන දීන චරිත ලෙස කෝලම්කරුවා උපහාස කරන පරයා, දෙමළ කෝලම, මරක්කල කෝලම, සිඤ්ඤෝරේ කෝලම, ආඬිගුරු ආදී මිනිස් චරිත ද අස්වාභාව අධිරංග කාර්යයකින් යුතු ඉංගිත පළ කරති. එහෙයින් සාමාන්‍ය මිනිසුන් සඳහා COMEDY හෙවත් හාස්‍ය රංගයත් පහත් යැයි සැලකෙන මිනිසුන් උදෙසා ප්‍රහසන හෙවත් සැටායර් රංග රීතියකුත් ගැමි කලාකරුවා සකස් කරගෙන තිබුණි.

COMEDY සහ JOKE යන රංග භාවිත දෙක අපේ ගැමි රඟමඬලින් සොයා ගනිද්දී කෝලමේ සාමාන්‍ය මිනිස් චරිත COMEDY ලෙසින් ද පහත් චරිත JOKE ලෙසින් ද හඳුනා ගත්තාට වරදක් නැතැයි මට සිතේ.

මා මගේ ජීවිත කාලය තුළ දැක ඇති ජස නිරූපණ කීපයක් මගේ මතකයේ රැඳී පවතියි. දයානන්ද ගුණවර්ධන ශූරීන් කෝලම් නාට්‍යයේ එන ජසයා, ලෙන්චිනා සහ මුදලි ආදී චරිත කිහිපයක් තෝරා ගෙන ඒවා වේදිකාවට උචිත ලෙස යළි සකස් කොට ‘ජසයා සහ ලෙන්චිනා’ නාට්‍යය සකස් කළේය. 1965 සිට අද දක්වා එහි චරිත නිරූපණ බොහෝ නළු නිළියන් අතර මාරු වී තිබේ. එක් යුගයක සමන් බොකලවෙල නම් ප්‍රවීණ රංගධරයා ජසයා ලෙසත් නන්දා රත්නතුංග නම් අති දක්ෂ නිළිය ලෙන්චිනා ලෙසත් රඟපාද්දී මම මුල්ම වරට ජසයා සහ ලෙන්චිනා නැරැඹුවෙමි.

කෝලම් මඩුවේදී මේ චරිත මුහුණු පැළඳුනවාට දයානන්ද ගුණවර්ධන තම නාට්‍යයේදී නළුවන්ගේ මුහුණු ම ඒ සඳහා සකස් කර ගත්තේය. සමන් බොකලවෙලගේ මුහුණින් මම වෙස් මුහුණට වඩා වැඩි චලනයක් නොදැක්කෙමි. ඔහු ඉතා සූර ලෙස තම සාත්වික අභිනය (මුහුණෙන් පළ කරන ඉරියව්) පරිපාලනය කොට රැඟුවේය. අපේ ගැමි රඟමඬල භාවාතිශය රංගනයෙන් (OVER ACTING) තොර වූ එකක් බව ඔප්පු කළේ දයානන්ද ගුණවර්ධනයන්ය.

කෝලම් මඩුවේ ගැහැනු චරිත රඟපෑවේ ද පිරිමින් ම විසිනි. ලෙන්චිනා පුරංසිනා සහ නොංචි අක්කා ආදී කෝලම් චරිත පමණක් නොව දෙවොල් මඩුවේ හමුවන පත්තිනි, රට යකුමේ හෙවත් රිද්දී යාගයේ එන රිද්දි බිසව ද සොකරි නාටකයේ එන සොකරි ද පිරිමින් විසින් නිරූපිත ගැහැනු චරිතය. එහෙත් මේ නිරූපණවල ඇත්තේ ඉතාම ස්වභාවික කාන්තා ඉරියව් විනා භාවාතිශය වූ ‘නපුංසක’ ඉරියව් නොවේ. පිරිමියෙක් ගැහැනියකට ඇන්දාය කියන JOKE එක නොව ගැහැනියක විසින් පිරිමින් අනුකරණය කළා වැනි සරදමක් කෝලම් හාස්‍ය නිරූපණයේ තිබුණි. එහෙයින් නිපුණ කෝලම් නළුවා වනාහි COMEDIAN කෙනකු නොවූයේය.

එහෙත් පරයා රඟපාන්නේ අධි රංගයකිනි. ගැමියා විසින් අධම ගුණ ගණයේ ලා සැලකුණු දෙමළ කෝලම, මරක්කල කෝලම, කරපිට කෝලම ආදී නිරූපණවල තිබුණේ ජසයා, මුදලි, ලෙන්චිනා ආදී චරිත රැගූ නළුවන් තුළ තිබූ ස්වභාව රංගය නොව භාවාතිශය වූ අධි රංගයකි. එහෙයින් අපි අපේ ගැමි රඟමඬලින් JOKE හෙවත් සැටායර් හෙවත් ප්‍රහසනාත්මක රංගයන් සෙව්වහොත් හමු වන්නේ ග්‍රීක සැටායර්වල මෙන්ම හීන දීන යැයි සම්මත චරිත නිරූපණවලින් පමණි.

එහෙයින් එන්න.

නූතන සිනමාවේ COMEDIAN ලා සහ JOKER ලා හඳුනා ගන්න මේ නියම උස් බිමයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු