තවත් දැවැන්ත චිත්‍රපටයක් සිරි දළදාගමනය සෙත් පිරිත් මැද වැඩ ඇරැඹෙයි

සිරි දළදාගමනයේ සම නිෂ්පාදනය පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමි හා ආචාර්ය සෝමා එදිරිසිංහ

සකල ලෝවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වූ කතා පුවත අළලා තැනෙන සිරි දළදාගමනය චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණ.

බෞද්ධයන්ගේ පමණක් නොව අන්‍ය ආගමිකයන්ගේ ද සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රී දළදා වත පිළිබඳ වරුණ සිනමාපටයකට නැෙඟන්නේ සනත් අබේසේකරයන්ගේ නිර්මාණශීලී අධ්‍යක්ෂණයෙනි. මහින්දාගමනය වැනි දැවැන්ත ඓතිහාසික සිනමාපටයක් නිපදවා බෞද්ධයන්ගේ ගරු බුහුමනට ලක් වූ හෙතෙම, මෙම චිත්‍රපටය නිපදවීමේ මුහුරත් උළෙල පැවැත් වූයේ නාරාහේන්පිට, පොල්හේන්ගොඩ නිසංසල, සීලවන්ත වටපිටාවක පිහිටි ඇලන් මැතිණියාරාමයේදීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ මංගල හස්තුරාජයකු පිට නැගි රාජ දූතයකු පැමිණ රැස්ව සිටි සියලු දෙනා හට රාජාඥ්වකින් කියා සිටියේ එදින (මාර්තු 09) සිට ‘ශ්‍රී දළදාගමනය’ නැමති ‘සිනමාපටය’ නිල වශයෙන් ආරම්භ වන වගයි.

සුපේශල, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා පිරිවරා ගත් නළු නිළි කැල උත්සව සභාවේ අසුන් ගත් සැනින් දැඩි අව් රශ්මියෙන් නැහැ වී තිබූ පරිසරයම සිහිල් මද නළකින් වෙලා ගත්තේය. පුරා විද්‍යා චක්‍රවර්ති පූජ්‍යපාද එල්ලාවල මේධානන්ද හිමියන් හා පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇතුළු සංඝයා වහන්සේලාගේ මූලිකත්වයෙන් හා හෙළ සිනමාවේ නළු නිළි කැල පිරිවරා පැවති මෙම මුහුරත් උළෙලේදී හේමමාලි කුමරිය ලෙස රඟන ශිල්පිනිය හඳුන්වාදීමේ අවස්ථාව අනතුරුව එළඹියේය.

දළදා වංශයේ ප්‍රකට කෙරෙන හේමමාලාගේ රූ සපුවට බෙහෙවින් සමාන රූ සපුවකින් හෙබි, මෙවර ලක් රූ රැජන ලෙස කිරුළ පැළැඳි පුෂ්පිකා සඳමාලි සක් බෙර හඬ මධ්‍යයේ සභා ගර්භයට පිවිසියේ හේමමාලී කුමරිය ලෙස රූපණය කිරීමට ලැබූ භාග්‍යයේ සතුටින් උතුරා යමිනි.පෙ. ව. 10.21 ට යෙදුන සුබ මොහොතින් මෙහි අර්ථපතීත්වය දරන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරවාසී පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමිගේ සහ ආචාර්ය සෝමා එදිරිසිංහගේ සුරතින් මංගල පහන්සිළු දැල්විණි.

හේමමාලි ලෙස රිදී තිරයට පායන සඳමාලි . .

මේ මස තිස් වැනි දින සිට අනුරාධපුරය, තබ්බෝව, මිහින්තලය, කොළඹ ආදී ස්ථානයන්හී රූ ගැන්වීමට නියමිත මෙම ඓතිහාසික කතා පුවතට රංගන දායකත්වය ලබා දෙන පිරිස අතර, රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, රන්ජන් රාමනායක, දිල්හානි අශෝකමාලා, ශ්‍රියන්ත මෙන්ඩිස්, බිමල් ජයකොඩි, පුෂ්පිකා සඳමාලි, කුමුදු නිශාන්ත, බුද්ධික කුලසේකර, පියුමි බොතේජු, නිශාන්ත ජයවික්‍රම, ඔස්ටින් සමරසිංහ, සිරිල් ධර්මවර්ධන, ශ්‍රීමාල් වෙඩිසිංහ, ගාමිණී ජයලත් ඇතළු නළු නිළියන් මෙන්ම පන්සියයකට අධික අතිරේක රංග ශිල්පීහුද සහභාගි වනු ඇත. දන්ත කුමරු ලෙස රංගාභිෂේකය ලබන්නා තවමත් රහසක් ලෙස පවතියි.

මෙහිදී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සභාව අමතා හෙළි කර සිටියේ, මෙම තිර පිටපතේ කිසිදු ඓතිහාසික තොරතුරක් සඟවා නොමැතිව නාට්‍යානුසාරයෙන් ගොඩ නඟා ඇති බවයි.

ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මෙහි රජ චරිතයක් නිරූපණය කරන අතර හෙතෙම කියා සිටියේ පශ්චාත් යුද මානසිකත්වයකින් පෙළෙන මෙරට ජනතාවට ‘සිරි දළදාගමනය’ සිත සුවපත් කරන කදිම නිර්මාණයක් වන බවයි.

දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙස රූ ගැන්වෙන මෙහි තිර රචනය හා අධ්‍යක්ෂණය සනත් අබේසේකරයන්ගෙනි. ඊ. ඒ. පී. ෆිල්ම්ස් සහ බෝසත් ලංකා පදනම වෙනුවෙන් පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමිගේ සහ ආචාර්ය සෝමා එදිරිසිංහගේ සම නිෂ්පාදනයකි.

‘සිරි දළදාගමනයේ’ කැමරා අධ්‍යක්ෂණය සුමින්ද වීරසිංහගෙන් වන අතර, සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේගෙනි. පසුතල නිර්මාණය වෙලේගෙදර රණසිංහගෙනි. කුමාර කරවිදෙනිය ඇඳුම් නිර්මාණය කරන මෙහි සහාය ඇඳුම් නිර්මාණය බුද්ධිකා සමරකෝන්, ප්‍රදීප් ජයසිංහ, මනෝජ් වික්‍රමසිංහ සහ සංජීව කරුණාරත්නගෙනි.

කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස් ගෙනි. නිෂ්පාදන කළමනාකරණය තිස්ස ලියනාරච්චි සහ නාමල් ආටිගල ගෙනි. රැජිනි සෙල්වනායගම් නර්තන වින්‍යාස නිර්මාණය කරයි. රංග දසනායකගේ සංගීතයට උරේෂා රවිහාරිගේ සමුධුර හඬ මුසු වෙයි. ගී පද රචනා පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සහ සනත් අබේසේකරගෙනි. සහාය අධ්‍යක්ෂණය චලිත් මනුරංග ගෙන් වන අතර, දෙවැනි සහාය අධ්‍යක්ෂණය වර්නන් අබේසිංහ හා චන්දන ඉරුගල් බණ්ඩාරගෙනි. නිෂ්පාදන විධායක නිහාල් සංජයය.

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් 2013 වසරේ වෙසක් පොහෝ දිනට පසු දින තිරගත කිරීමේ අරමුණ ඇතිව සනත් අබේසේකරයන්ගේ ‘සිරි දළදාගමනය’ මේ මස 30 වැනි දින සිට රූ ගැන්වෙයි.

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි, පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි ‘සිරි දළදාගමනයට’ ආසිරි පතන්න වැඩම කර. ‘සිරි දළදාගමනය’ පිළිබඳ සන්නස් පත්‍රය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිට අධ්‍යක්ෂ සනත් අබේසේකර පිළිගන්වමින්.
රාජාඥාවක් ලෙස සන්නස කියවන රාජ දූතයන්. රවී, ගීතා සමඟින් හේමමාලි ලෙස අභිෂේක ලබන
‘සඳමාලි’ කතාබහක.
උදයකාන්ත, රන්ජන් ඇතුලු කලාකරුවන් සුබ පතන්න ඇවිත්.
 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු