බයිලා කුමාරයාගේ ඇඟට මාලා ඇවිත්

සඳ පාන වගේ ඔබෙ රුව දිළිසිලා

මට නිතරම පෙනෙනවා මැවීලා

මාලා ඇවිත් මගේ කණට ඔයා ළං වෙලා

කියන්නකො ආදරෙයි කියාලා’

ඒසුපෙම්බර ගී හඬත් සමඟින් තවත් ගායන ශිල්පියකු අපේ ගී ලොවට එක් වූයේ දිගු සෞන්දර්ය චාරිකාවක ඇරැඹුම සනිටුහන් කරමිනි. ඔහුට තිබුණේ තමන්ටම ආවේණික අපූර්ව හඬකි. නැවුම් ගායන විලාශයකි. විටෙක අප සිත් හි පහන් හැඟුමක් ජනිත කරවන ඒ ගී හඬ තව වරෙක ප්‍රවේගවත්ය.

‘ප්‍රින්ස් ඔෆ් ද බයිලා’ නමින් එදා ප්‍රසංග වේදිකාවේ කිරුළු පළන් ඒ බයිලා කුමාරයා පෝල් ප්‍රනාන්දුය. නමුදු පෝල් හුදු බයිලා ගායකයකු පමණක්ම නොවේ. ඔහු අතිශය ප්‍රේමනීය ගායකයෙකි.

එගොඩ ගොඩේ මල් නෙලනා, රුවන් මාළිගා නැත, සුපුන් සඳ පායලා නෑ, කිරි සයුර කළම්බා, ආවේ වන බඹරෙකු වාගේ වැනි මියුරු ගී අපට පසක් කර දෙන්නේ ඔහු සතු ඒ සුවිශේෂ ගායන ප්‍රතිභාවයි.

පෝල්ගේ ගීත අතිශයින් සරලය. එහෙත් සෞන්දර්ය රසයෙන් පිරිපුන්ය. ඔහුට ඇත්තේ අව්‍යාජ හඬකි. ඒ සරල බවත්, අව්‍යාජත්වයත් පෝල්ගේ සැබෑ ජීවිතයේ ද දකින්නට ලැබේ. පෝල් බොහෝ කලකට පසු අප හා සුහද කතාබහකට එක් වූයේ මෙලෙසිනි.

ඔබ වෘත්තීය ගායකයකු බවට පත් වුණේ අහුඹු සිදුවීමක් නිසා?

මොරටුවේ තිබුණා ‘ටැලන්ට් 69’ කියලා ප්‍රසංගයක්. ‘පොප් ෆෙස්ටිවල් ෂෝ’. මේකේ පළමුවැනියා තෝරනවා. මමත් ඇප්ලිකේෂන් එකක් දාලා මේ ෂෝ එකට ගියා. මට ඒකෙන් පළමුතැන හම්බ වුණා.

මොකක්ද එදා ගායනා කරපු ගීතය?

එම්. එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ‘අසෝක මල් මාල ගොතාලා’ කියන ගීතය. එතනදි මට හුමුවුණා අමුතුම පුද්ගලයෙක්. එයා මගේ ළඟට ඇවිත් ‘ඔයා පෝල් ප්‍රනාන්දුනේ’ කියලා මගෙන් ඇහුවා. මම ‘ඔව්’ කිව්වා. එයා ඇහුවා ‘ඔයා ඒ සිංදුව කිව්වේ ඔයාගේ කටහඬින් ද එම්. එස්. ගෙ කටහඬින් ද’ කියලා. මම කිව්වා මගේ කටහඬින්කියලා. ‘ලබන සුමානේ අපේ ගෙදර එන්න, මම ගෞරි කෝපරේෂන් එකේ පිලිප්ස් ඇල්බම් එකක සිංදුවක් කියන්න ඔයාට චාන්ස් එක අරන් දෙන්නම්’. මේ පුද්ගලයා මට ආපහු කිව්වා. මාව ‘ඩිම්’ වුණා.

ඇයි ඒ?

ඇයි යකෝ මේ පිලිප්ස් කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ රෙකෝඩින් කොම්පැණියක්. එම්. එස්. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල වගේ අය සින්ග් කරන්නේ ඒ කාලේ. මට බොරුවක් ද කියලත් හිතුණා. කෝකටත් කියලා මම රහල් කියලා මගේ මිත්‍රයෙකුත් එක්ක අර කෙනා හොයා ගෙන ගියා. දන්නවාද කවුද එයා කියලා.

පෝල්ගෙන් හිටි හැටියේ මට ද පැනයකි.

ඒ තමයි ප්‍රියා පීරිස්. පස්සේ එයා ගිටාර් එක අරගෙන ඇවිත් මට කිව්වා සිංදුවක් දෙකක් කියන්න කියලා. එදා එම්. එස්. ප්‍රනාන්දු මහත්තයාගේ ‘ලස්සන රෝස මලක්’ කියන ගීතය මම ගායනා කළා. මගේ ගායන හැකියාව ගැන තවත් පැහැදිලා ප්‍රියා පීරිස් මට ‘ගෞරි කෝපරේෂන්’ අධිපති පැට්‍රික් කොරයා මහත්තයා හඳුන්වලා දුන්නා. ඔහු ගීත තැටියක් කරන්න පොරොන්දු වුණා එක පැත්තක ෆෙ‍්‍රඩී සිල්වගේ ගීත දෙකකුයි, අනෙක් පැත්තේ මගේ ගීත දෙකකුයි දාලා. ඒත් ප්‍රියා මේකට කැමැති වුණේ නෑ.

ඇයි අකැමති වුණේ?

ඔහු කිව්වා ‘පෝල් එක පැත්තක සිංදු දෙකක් කියලා වැඩක් නෑ බං. තැටියක්ම කරන්න ඕනෑ’ කියලා. පස්සේ ප්‍රියා ජෙරාල්ඩ් වික්‍රමසූරිය මහත්තයාට කතා කළා. ඔහු ‘සූරිය’ ලේබලය යටතේ ගී තැටි නිකුත් කළ කෙනා. ඔහු මගේ ගීත අහලා, ලබන සුමානේ රෙකෝඩින් කියලා දින පොතේ ලියා ගන්න කිව්වා. මාව ඩිම් වුණා. ඉතින් ඔය විදිහට තමයි මගේ මුල්ම ගීත හතර ‘සූරිය’ ලේබලය යටතේ නිකුත් වුණේ.

මොනවාද ඒ ගීත?

සඳ පාන වගේ, රොන් සොයන්න සමනළයින් යන්නේ, එක් තොප්පි වෙළෙන්දෙක්, සුදු රෝස මලක් වගේ ලස්සන කියන ගීත හතර. ඒවා ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ අවුරුද්දේ තවත් ගීත හතරක් කළා. ඒවා ඊටත් වඩා ජනප්‍රිය වුණා. එතකොට මට වයස අවුරුදු දහ නවයක් විතර ඇති.

ඒ ගී තැටියට කීයක් හම්බ වුණාද?

රුපියල් තුන්සීයක්. ඊට පස්සේ තැටි යන යන විදිහට කොමිෂන් එකක් හම්බ වුණා රුපියල ගාණේ.

සිංදු කියලා හම්බ කරපු මුල්ම මුදල ඒ?

නෑ . . නෑ . . රුපිල් හැත්තෑ පහක් තමයි මට මුලින්ම ලැබුණ මුදල. ඒ 1969 දී ෂෝ එකක සිංදු කියලා. එතකොට මම ගායකයෙක් හැටියට අපේ ගමේ මොරටුවේ විතරයි ජනප්‍රිය.

පෝල් අයියා ගීත ගායනයට යොමු වුණේ කොහොමද?

මම ගියේ මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයට. එස්. එස්. සී වෙනකල් ඉගෙන ගත්තා. අපේ ගෙදර තිබුණේ සංගීතමය පරිසරයක්. තාත්තා විනෝදකාමියා. මට අයියලා හතර දෙනෙක් හිටියා. එයාලා ඒ කාලේ මඟුල් ගෙවල්වල ගී ගයන්න යනවා. මමත් යනවා. ඔහොම තමයි ඉතින් ගායනයට යොමු වුණේ.

‘මාලා’ පෝල් ගැයූ වඩාත්ම ජනප්‍රිය ගීයයි. ඒ ගීතය ලියා, සංගීතවත් කළේ ප්‍රියා පීරිස්ය. ‘මාලා’ ඔහුගේ පෞද්ගලික ජීවිතය පසුබිම් කොට ගෙන නිර්මාණය වූ ගීතයකැයි බොහෝ දෙනෙකු විශ්වාස කරති.

හැබෑවටම පෝල් අයියේ මොකක්ද මේ මාලාගේ කතාව . . .?

ඒ කාලේ මම, මාලා කියලා කෙල්ලෙකුට ට්‍ර‍්‍රයි කළා. වැටුණේ නෑ. (මහ හඬින් හිනැහෙයි).

සිංදුව කිව්වට පස්සෙද?

නෑ . . . නෑ . . . ඉස්සර වෙලා. එයා අපේ ගමේ, මොරටුවේ කෙල්ලක්.

එතකොට මේ සිංදුව කිව්වේ එයාට?

නෑ, එයාටම කියලා නෙවෙයි. ප්‍රියා පීරිස් මේ සිංදුව හදන කොට අර මගේ කතාව දන්නෙත් නැහැ.

‘මාලා’ ජනප්‍රිය වුණාට පස්සේ අර ගෑනු ළමයාගේ ප්‍රතිචාර කොහොමද?

ආ . . . ඒ සිංදුව ජනප්‍රිය වුණාට පස්සේ නම් එයා මගේ ඇඟට ආවා. මම බැන්නා.

පෝල් අයියා යළිත් එසේ කියමින් මහ හඬින් හිනැහේ. මම කතාබහ වෙනකතට යොමු කළෙමි.

‘ප්‍රින්ස් ඔෆ් ද බයිලා’ නමින් තමයි ඒ කාලේ ඔබ හැඳින්වුණේ. එදා ප්‍රසංග වේදිකාවට ඔබ නැතුවම බැරි ගායකයෙක්?

මට ‘බයිලා කුමාරයා’ කියලා පට බැන්දේ ජනප්‍රිය නිවේදක විජය කොරයා මහත්මයා. එදා සෑම ප්‍රසංගයකම මාව හඳුන්වා දුන්නේ ඒ විදිහට. අද නම් ඉතිං මම කුමාරයෙක් නෙවෙයිනේ.

ඇත්තටම පෝල් අයියට දැන් වයස කීයද?

දැන් අවුරුදු හැටයි. මගේ ගායන දිවියට අවුරුදු හතළිස් තුනක්. මේ ආපු දුර මදැයි නේ? ඔයා කිව්වා වගේ එදා ප්‍රසංග වේදිකාවේ මට හොඳ ඉල්ලුමක් තිබුණා. 70 ඉඳන් 80 වෙනකල් තමයි මගේ ජනප්‍රියම කාලය.

පෝල් ගී ගයන්නේ වේදිකාවේ ඔබ මොබ සැරිසරමිනි. අහස් ගැබේ නිදහසේ පියා සලන වැහි ලිහිණියකු සේ සැහැල්ලුවෙන්. වේදිකාවේ ගී ගයමින් ඔහු අපූර්ව නර්තනයකද යෙදේ.

මුලින්ම මම එම්. එස්. අයියව අනුකරණය කරලා තමයි ඩාන්ස් කළේ. ඒ ආභාෂයත් එක්ක ඩෙස්මන්ඩ් ද සිල්වාගේ උපදෙසුත් අරගෙන පස්සෙ කාලෙක මම මගේම ශෛලියක් හදා ගත්තා.

කොහොමද පෝල් අයියාට අද රසික, රසිකාවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

අම්මෝ කියලා වැඩක් නෑ. මම ස්ටේජ් එකට එනකොට එයාලා කෑ ගහනවා. විසිල් ගහනවා. විශේෂයෙන්ම කොල්ලෝ ඩාන්ස් කරන්න බලාගෙන ඉන්නේ මම සින්දු කියන්න එනකල්.

පෝල් අයියා බරක් පතළක් නැතිව බොහොම සැහැල්ලුවෙන් ජීවත් වුණ කෙනෙක්?

ඔව්. තාමත් එහෙමයි. සැහැල්ලුවෙන් ඉන්නේ.

විවාහයක් එහෙම කර ගන්න හිතුණේ නැහැ?

හිතුණේ නැහැ.

ඇයි . . .ඒ . . . අවංකවම කියන්න?

නෑ ඉතින් මම කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. එපා වෙනවා. ආයේ යාළු වෙනවා. ඔහොම දහයක් විතර තිබ්බා. ඒ වුණාට කසාද බඳින්න මට අදහසක් ආවේ නැහැ. මට ඕනෑ වුණේ තරුණ ජීවිතේ විඳින්න. ඒක තමයි වුණේ.

අද හිතෙන්නෙ නැද්ද කසාද බැඳලා හිටිය නම් හොඳයි කියලා?

හොදයි කියලා හිතෙනවා. යාළුවෝ බැඳලා ඉන්නවා දැක්කම එහෙම හිතෙනවා. ඒත් එක වෙලාවකට නම් බයයි.

ඇයි එහෙම හිතෙන්නේ . . .?

ගෑනු නපුරුනේ . . . .

පෝල් අයියා ගයපු ගීත අතරෙන් වඩාත්ම කැමැති?

‘සුපුන් සඳ පායලා නෑ

අහසේ රන්තරු දිළෙන්නේ නෑ

ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ

සවන් පිනවන්නේ නෑ . . .’

ඔහු එම ගීතය ගයන්නේ පෙර පරිදිමය. ඒ හඬත්, ගායනා විලාසයත්, එදා මෙන්ම අදත් හදවතට මිහිරිය. පරම්පරා තුනක රසිකයන්ගේ ආදරය පෝල්ට හිමිව ඇත්තේ මෙවැනි සදාතනික ජීව ගුණයෙන් පිරිපුන් ගී ඔහුගේ මියුරු හඬින් ගැයුණු නිසාවෙනි.

පෝල්ගේ එවැනි ජනප්‍රිය, මියුරු ගී එකතුවක් ‘සන්ෆ්ලවර්’ සත්සර රටා හා මුසුව දැන් වෙළෙඳ පොලට නිකුත්ව තිබේ. එය ජාඇල ස්ටැන්ලීස් රෙකෝඩ් බාර් නිෂ්පාදනයකි.

එකම සී. ඩී. එකක මගේ ජනප්‍රිය ගීත දහ අටක් සහ අලුත් ගීතයක් ඇතුළත් කර රසිකයන්ට පිරිනමනවා. දැනටමත් මේ සී. ඩී. එකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා මගේ රසිකයන්ගෙන්. මේක අහපු හුඟ දෙනෙක් මට ප්‍රශංස කළා එදා හඬින්ම ඒ ගීත විකෘති නොකර ගයා තිබෙනවා කියලා. ඒ රසික ප්‍රතිචාර මට ලොකු ශක්තියක්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු