අවසානයේ තංගම්මාද නික්ම ගියාය

ගර්ලි ගුණවර්ධන ජීවිත සිනමාවෙන් සමු ගනී

එකම කාලයකදී සිනමාවට පිවිස, එකම කාලයකදී ජීවිත සිනමාවෙන් ඔවුහු නික්ම ගියහ. ඒ ලාංකේය සිනමා වංශ කතාවේ, තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේදී ද පෙම්වතුන් වූ, අඹු සැමියන් අතලොස්සෙන් සුවිශේෂී යුවළක ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

ස්ටැන්ලි පෙරේරා අපට සිටි ජ්‍යෙෂ්ඨතම නළුවෙකි. ඔහුගෙන් අපේ කලා ලෝකය හිස් වූයේ පසුගිය වසරේ ජූලි මාසයේදීය. ඔහුගේ වියෝවෙන් හරියටම ගත වූයේ මාස හතකි.

ඔහුගේ බිරිය, රංගන ශිල්පිනී ගර්ලි ගුණවර්ධන මහත්මිය මාර්තු 11 වැනි දින ජීවතුන්ගෙන් සමු ගත්තාය. ඒ අපට තවත් ජ්‍යෙෂ්ඨතම සිනමා ශිල්පිනියක අහිමි කරවමිනි. මිය යන විට ඇය හැත්තෑ හත් හැවිරිදි වියේ පසු වූවාය.

ගර්ලිගේ සිනමා මෙහෙවර නොනිමි මෙහෙවරක් වන්නේ ඇයත්, සැමියා ස්ටැන්ලිත්, සබීතා පෙරේරා නම් කුසලතාපූර්ණ රුවැති දියණිය අපේ කලා කෙතට දායාද කිරීම නිසයි.

විවාහය සහ දරු මල්ලන් ලැබීම නිසා කලක් රංගනයෙන් දුරස් වී සිටියත් ඇය රංගනයට අත් පොත තැබුවේ ස්ටැන්ලි පෙරේරා රංගන ශිල්පියාටත් පෙරය. ඒ එවකට විශිෂ්ටතම අධ්‍යක්ෂවරයකු වූ සිරිසේන විමලවීර ශූරීන්ගේ ‘සරදියල්’ සිනමාපටයෙනි. එහි ‘තංගම්මා’ නම් සුකුමාල යෞවනියට පණ පෙව්වේ ඇයයි.

පළමු සිනමා අත්දැකීම කටුක අත්දැකීම්වලින් පිරී තිබුණ ද ඇය රංගනයට මහත්සේ ඇලුම් කළාය.

සරදියල්ගේ පෙම්වතිය ලෙස රඟද්දී ගල්තලා මතින් දිව යාමේදී ගර්ලිගේ දෙපා තුවාල වී ලේ ගැලුවේය. රාත්‍රී මධ්‍යාහ්න 12 ටත් රූගත කිරීම් කෙරුණු අතර එක් රූගත කිරීමකදී ඇය පේර ගසකින් බිමට වැටුණාය.

‘ගර්ලි ගුණවර්ධන’ යන සුරූපී තාරකාව ලංකාවම හඳුනා ගත්තේ ‘සරදියල්’ සිනමා පටයෙන් වුවත් ඒ ඇයගේ පළමු රංගනය නොවෙයි. ගර්ලි මුල්වරට පෙනී සිටියේ ප්‍රේම තරගයේ නැටුම් ජවනිකාවකටයි.

ඒ දහසක් තහංචි මධ්‍යයේය. අනගාරික ධර්මපාලතුමා නෑකමින් සීයා කෙනකු වූ යුවතියකට ‘නිළියක’ වීම එකල සුදුස්සක් නම් නොවීය. පොඩි අයියාගේත්, මවගේත් සහයෝගයෙන් පියාට හොර රහසින් ගර්ලි ගුණවර්ධන අවසානයේදී නිළියක වූවාය.

‘සරදියල්’ සිනමා පටයෙන් ගර්ලි දුටු කඩවසම් තරුණයකු උමතු වූහ. කැලෑ හඳේ ජෝන් ජයපාල හෙවත් ස්ටැන්ලි පෙරේරා ඇයට උමතු වූ එක් තරුණයකි. ඔහු කිතුණුවකු වීම නිසා මුලදී මාපියන් විරුද්ධ වුව ද පසුව කැමැත්ත ලැබුණි.

‘දුප්පතාගේ දුක’ සිනමා පටයේ ගර්ලි, ස්ටැන්ලි සමඟ රඟපෑවේ දෙදෙනා පෙම්වතුන් වී සිටියදීය. ගර්ලිත්, ස්ටැන්ලිත් අලියකු අසළ සිටගත් ඡායාරූපය ලංකාව පුරාම නිවෙස්වල එකල දකින්න ලැබුණු ජනප්‍රියම දින දසුනක් විය.

සුබ සරණ සැප සිතේ, චණ්ඩාලි, සසරක හැටි, ළාදළු, හතර මහා නිධානය, හතර පෙරැළිය, හතර වටේ, හතර කේන්දරේ, ගං තෙර, දැවෙන පිපාසය, සොඳුරු යුවළ, අහස් මාළිගා, ටොම් පචයා, දෙවැනි ගමන, සමනල සිහින, ආදර ගීතය, පොඩි රාළහාමි යන සිනමාපට රැසක ගර්ලි විවිධ චරිත නිරූපණය කළාය.

පසු කාලයේ ගර්ලි සිනමාවෙන් තරමක් දුරස් වී සිටියත් ඒ සිතකින් නොවෙයි. ‘දැන් අසනීප තත්ත්වය අඩුයි. මං රඟපාන්න ආසාවෙන් ඉන්නෙ’ ගර්ලි සරසවියට පවසා වැඩි කාලයක් ගත වූයේ නැත. ගර්ලි ගුණවර්ධන මහත්මිය මේ බව පැවසුවේ අවසන් වරට ‘සරසවිය’ සමඟ පිළිසඳරක යෙදෙමින්ය. ඒ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දිනයකයි.

අද ඇය මිය ගොසින්ය. එහෙත් ඒඇයගේ සිතෙහි උපන් රඟපෑමේ සිතිවිල්ල ද සමඟින් බව නම් නිසැකයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු