ශේක්ෂ්පිය වංචාකාරයෙක්

සෑම කතාවකට ම මුහුණු දෙකක් තිබේ. බොහෝ විට අප දකින්නේත්, විස්වාසයට ගන්නේත් එහි ජනකාන්ත මුහුණයි. එහිම ඇලී ගැලී කවුලුවකිනුදු නොබලමින් අනල්ප කාලයක ඉර එළිය මරා දමමින් ගත කළ කාලය ආපස්සට ඇද බැලීම ලැජ්ජාසහගතය. මේ නාටකය ගලවන්නේ ශේක්ස්පියරයන් ගේ බොරු වෙස් මුහුණයි.

නාටකයක් ඇතුළත රඟ දැක්වෙන තවත් එක් විසාල නාටකයකින් ලොකු හුස්මක් ගැනීමට කාටත් සිදුව ඇත.

පළමු එළිසබෙත් රැජිනවද මේ නාටකයට ගාවාගෙන තිබීම නොහොබී යැයි එක් වරම කාට හෝ සිතෙන්නට හැකය. එහෙත් මේ සියල්ලට ම වගකිව යුත්තේ පළමු එළිසබෙත් රැජිනම බව දැනගත් ඇසිල්ලේම ඒ සිතුවිල්ලෙන් ඒ අය මිදෙනු ඇත. සැනසුම් සුසුම් හෙළනු ඇත.ඔක්ස්ෆර්ඩ් අර්ල්වරයා එළිසබෙත් රැජින සමඟ පෙමින් නොබැදුනේ නම් මේ කතාන්දරය කාටවත් කීමට සිදු නොවනු ඇත.

රාජකීය බව පරදා ප්‍රේමය නැඟී සිටි එක් සන්ධ්‍යාවක එළිසබෙත් කුමරිය හා ඔක්ස්ෆර්ඩ් අර්ල්වරයා වූ එඩ්වඩ් ඩි වේරා බාල් නැටුමකය. 1550 ත් 1604 ත් කාල සීමාව තුළ තද ඉරක් අදිමින් ලියැවෙන මේ සිනමාපටය දේශපාලනිකය. උපහාසාත්මකය. ජපානයට අනපේක්ෂිතව පරමානු බෝම්බ හෙලුවාක් මෙන් භයංකරය. ප්‍රේමයේ සියලු ආශාවන් සපුරමින්, ඒ ප්‍රේමයම මහා ගිනි කන්දක්ව ඇතුළතක බුර බුරා නැඟෙන්නට ඉඩ හරිමින් මතුපිටින් සිසිල් කර තැබූ ආකාරය කියන අතරතුර ශේක්ස්පියරයන් ගේ ලෝ ප්‍රකට නිර්මාණයෝ අන් අයෙකු සතු ඒවා බව හෙළි කරයි. ඔව්.

ඔබ තිගැස්සිය යුතුය. යළිත් ප්‍රශ්න කළ යුතුය. සැ£ක හැර දැන ගැනීමට සාක්ෂි ඉල්ලා සිටිය යුතුය. එඩ්වඩ් ඩි වේරා සාහිත්‍යයෙහි මනා දක්ෂතාවයක් ඇත්තෙක් වුවත් එකල් හි නාට්‍ය රචනය සහ කාව්‍ය ආදී දෑ රාජ්‍ය විරෝධී ලෙස සැලකූයෙන් තම සාහිත්‍යය ආසාවෝ රිසි ලෙස සන්තර්පණය කර ගැනීමට නොහැකි විය. ඔහුගේ සාහිත්‍යයෙන් රජිනට නිග්‍රහ කෙරෙන බවටත්,එඩ්වඩ් ගේ බිරිය ගේ පවුලට නිගරු කෙරෙන බවත් නිසාවෙන් ඔහුට ලිවීම තහනම් විය. ඔවුන්ට අනුව වේදිකාව පාපී ස්ථානයකි. එම පාපයන්ට හසුවන්නාත් පාපතරයෙකි.

එඩ්වඩ් ඩි වේරා මේ පාපී ක්‍රියාවේ තදින් ම ගැලී සිටියෙකි. ඉතාමත් අහඹු ලෙස වේදිකාගත නාට්‍යයක් නරඹන මොහොතක එය රචනා කළ තැනැත්තාව ඔහු හදුනා ගනී. සැනෙකින් නාට්‍ය රචකයා රාජ්‍ය විරෝධියෙකු ලෙස සිපිරි ගෙයි ලයි. එඩ්වඩ් ඩී වේරා ඔහුට අභය දානය දී තමා ළඟට ගෙන්වා ගන්නේ ඔහුගේ රහසිගත නාට්‍ය රචකයා ලෙස පෙනී සිටීමට ඔහු පොළඹවමිනි. ඒ ඔහුගේ ම ජීවිතය ඔට්ටුවට තැබීමෙනි.

බෙන් ජොන්සන් ඔහුගේ අනසකට යටත් වීමත් සමඟ එඩ්වඩ් ලියූ නාට්‍යයක් බෙන් නමින් තිරගත කෙරෙන ආකාරයට කටයුතු සැලසේ.

වාසනාවට පයින් ගසන බෙන් ඒ සඳහා තම මිත්‍රයෙකු යොදා ගනී. සිනමාපටයට අනුව බෙන් ජොන්සන් ගේ ඒ මිත්‍රයා විලියම් ශේක්ස්පියර් නම් වෙයි. අකුරු කියවීමට මිස ලිවීමට නොදත් බෙන්ගේ යහලුවා මුලු ලෝකයටම විලියම් ශේක්ස්පියර් වන්නේ ඉනික්බිතිවය.

මහත් ජනප්‍රසාදයක් දිනා ගනිමින් වංචාකාරී විලියම් ශේක්ස්පියර් එඩ්වඩ් ලියූ අති විශිෂ්ට නාට්‍ය සියල්ලෙහි ම අයිතිකරු වෙයි. එඩ්වඩ් පසුපස මුදල් ඉල්ලමින් හඹා යන මොහු ලැජ්ජාසහගතව වාසය කිරීම වෙනුවට මහත් අභිමානයෙන් එවක සමාජයේ දිවි ගෙවයි. රාජ්‍යත්වය රැක ගැනීම වෙනුවෙන් එළිසබෙත් රැජින සටන් වදින අතර තවත් පාර්ශව රාජ්‍යත්වය උදුරා ගැනීම සඳහා සටන් වදියි. දේශපාලන උගුල් අතර එහාටත් මෙහාටත් දෝලනය වන ඇනෝනිමස් ඉංග්‍රීසි සාහිත්‍යයට එල්ල කළ අතුල් පහරක් වැනිය. රෝලන්ඩ් එම්රිච් අධ්‍යක්ෂණය කළ ඇනෝනිමස් සිනමාපටයේ රචකයා ජෝන් ඕර්ලොෆ්ය. රේස් ඉෆාන්ස්, වැනීසා රෙඩ්ග්‍රේව්, ඩේවිඩ් තෙව්ලීස් ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස මෙහි රඟයි. අමෙරිකානු ඩොලර් 30,000,000 ක ඇස්තමේන්තුවකට තැනුණු ඇනෝනිමස් ප්‍රදර්ශනය කර මුල් සතිය ඇතුළත උපයා ගත් ආදායම ඇමෙරිකානු ඩොලර් 1,012,768 කි.

වසර 2011 දෙසැම්බර් වන විට උපයාගෙන ඇති මුලු ආදායම අමෙරිකානු ඩොලර් 4,463,292 කි. මෝෂන් සිනමාපට සමාගමේ පළමු ඇරිෆ්ලෙක්ස් ඇලෙක්සා කැමරාව උපයෝගී කර ගනිමින් රූගත කළ පළමු සිනමාපටය මෙයයි. එමෙන් ම සිනමාපටයේ පසුබිම් නිර්මාණය සඳහා පරිගණක ආශ්‍රිත දර්ශන ලබා ගැනීමත් වඩාත් විශේෂිතය. ජර්මනියේ බේබල්ස්බර්ග් ස්ටුඩියෝ වේ වෙනම සාදන ලද පුරාණ ලන්ඩනය පැසසුම් ලැබීමෙන් එහා යා යුතු ආකාරයේ පසුතලයකි.

සිනමාපටය නිකුත් වී කෙටි කලකින් ම ශේක්ස්පියර් නාමය රැක ගැනීමට ඉදිරිපත් වූවෝ මෙන් ම ඔහු ගේ නම ඉංග්‍රීසි සාහිත්‍යයෙන් අතුගා දැමීමට ඉදිරිපත් වූවෝ ද බොහෝ ය. ඒ අතරින් චාර්ල්ස් බියුක්ලර්ක් සහ මහාචාර්ය ස්ටැන්ලි වෙල්ස් තදින් ම කැපී පෙනේ.චාල්ස් බියුක්ලර්ක් තර්ක කරන්නේ ශේක්ස්පියර් ඔහු නමින් ජනප්‍රිය වූ කිසිදු නාට්‍යයක් හෝ කාව්‍යයක් හෝ ලියා නැති බවටයි.

මේ වනතෙක් ඔහු ගේ අත් අකුරින් ලියූ නාට්‍ය පිටපත්, කාව්‍ය හෝ වෙනයම් සාහිත්‍යය ලියවිල්ලක් හමුවී නැති බව ඔහු මතක් කර දෙයි. එසේම ඔහු ලියූ එකදු ලිපියක් හෝ මේ වන තෙක් සොයා ගෙන නැත.අඩුම තරමින් සිය බිරිය සහ දරුවන් අමතා ලියූ ලිපියක්වත් මේ තාක් හමුවූ නොමැත.

අවම වශයෙන් අන්තිම කැමැත්තක් හෝ තම ජීවිතය හා සරි තම අත් පිටපත් ගැනවත් කිසිදු තැනක සදහනක් නොවේ.

විලියම් ශේක්ස්පියර් අකුරු ලිවීමේ කිවීමේ හැකියාවවත් තිබූවෙක්දැයි මේ තාක් හෙළි කර ගෙන නොමැත.

මෙවන් උසස් සාහිත්‍යකරුවෙකුගේ බිරිය, දරුවන් සහ නෑදෑයන් කිසිවෙකු ලිවීමේ, කියවිමේ හැකියාව ඇති අය නොවන බවට සාක්ෂි හමු වී ඇත. කිසිම කෘතියක ඔහු තම අස්සන යොදා නැති අතර ඔහුගේ යයි සැලකෙන අස්සන ඉතාමත් අවලස්සන වූත්,අපිරිසිදු වූත් එකකි.

මේ ස්වල්ප සාධක මත ඔබට තීරණයක එළැඹිය හැකිද? සිනමාපටයේ තිර රචකයා නම් ඒ තීරණයට එළැඹී ඇති සැටියකි.

විලියම් ශේක්ස්පියර් ගේ උපන් දිනය නිශ්චිතව කීමට විකිපීඩියාවද අසමත්ය. එහෙත් ඔහු බෞතීස්ම වූ දිනය නම් විකිපීඩියාව දනී. ඒ වර්ෂ 1564 අප්‍රේල් 26 වැනිදාය. ඔහු මරණයට පත් වී ඇත්තේ වර්ෂ 1616 අප්‍රේල් 23 වැනිදාය.

නාට්‍යය 36 ක් මුද්‍රිතව පළ කළ ඔහු කාව්‍යය ග්‍රන්ථයෝ 06 ක් නිර්මාණය කර ඇත. ද මර්චන්ට් ඔෆ් වැනිස්, අ මිඩ්සමර් නයිට් ඩ්‍රීම්, ඈස් යූ ලයික් ඉට්, රෝමියෝ ඇන්ඩ් ජුලියට්, ජුලියස් සීසර්, මැක්බත්, හැම්ලට්, ඇන්තනි ඇන්ඩ් ක්ලියෝපැට්‍රා ආදී අති විශිෂ්ට නාට්‍යය ලියූවා යැයි සැලකෙන ශේක්ස්පියර් ගේ වෙස් මුහුණ ගලවා දමන්නට ‘ඇනෝනිමස්’ සැරසීම කෙතරම් තාර්කිකද? කෙතරම් නිර්භීතද?

සියලු වරද පළමු එළිසබෙත් රැජින අතය. තරුණ එඩ්වර්ඩ් ඩී වේරා අර්ල්වරයා හට පෙම් නොකර සිටියා නම් කිසිවක් මේ ආකාරයට සිදු වන්නේ නැත. රජ අණ සේම රජ පෙම් කතාද සියල්ල මෙවන් දුක්ඛිත අවසානයක් සැම විටම නොදකිනු ඇත. එහෙත් සෑම කතාවකට ම මුහුණු දෙකක් ඇති බව ප්‍රේක්ෂකයන් වන අප මතක තබා ගත යුතුය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු