අද ටෙලි ජාවාරමක් ටෙලිනිස ඇයි දැන් නිදිද?

සුරේෂ් අබේසේකර යනු ටෙලි නිර්මාණකරුවන්ගේ වත්මන් සභාපතිවරයායි. රංගන ශිල්පියකු ලෙස කලාවට අත්පොත් තබන ඔහු ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ රූපවාහිනී සහ සිනමා ආයතනයේ අධ්‍යයන කටයුතු සිදු කළේය.

1985 වසරේ හොඳම චිත්‍රපට තිර නාටකය සඳහා හිමි සම්මානයෙන් සහ 1987 දී හොඳම ටෙලි නාට්‍ය තිර නාටකය සඳහා හිමි සම්මානයෙනුත් පිදුම් ලද හෙතෙම සමුගත් වසන්තය, අසුරාවේෂය, සඳරූ අරණ, වරා මල් ආදී ටෙලි නාට්‍යයන් අධ්‍යක්ෂණය කළේය.

එසේම අසුරාවේෂය, වරා මල්, සමුගත් වසන්තය වැනි ටෙලි නාට්‍යය ඔස්සේ කලා ක්ෂේත්‍රය තුළ ඔහුගේ භූමිකාව නිෂ්පාදකයෙක් දක්වා ද පුළුල් වුණි.

මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයේ එකමුතුවෙන් තැනුණු ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංගමය මේ ගෙවනුයේ 18 වෙනි වසරයි. ටෙලි නාට්‍ය නිර්මාණවේදීන් වෙනුවෙන් අරගලයක නියැලෙමින් බිහි වුණු මේ සංවිධානය පිළිබඳ කතා බහකට මෙවර ද එහි සභාපති පදවියට පත් ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුරේෂ් අබේසේකර සමඟ එක් වීමු.

වසර 18 කට පෙර ටෙලි නිර්මාණකරුවන්ගේ සංගමය බිහි වුණේ ඇයි?

ගල් පල්ලිය

ටෙලිනිස ආරම්භ වෙන්නේ 1993 දී. එවකට පැවති රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ අවශ්‍යතාව මත ‘මහ මෙර පාමුල’, ‘අව සඳ’ ටෙලි නිර්මාණයන් වාරණයට ලක් කළා.

ඒ හේතුව මුල් කරගෙන තමයි වසර දහ අටකට පෙර ටෙලිනිස බිහි වුණේ. ටෙලිනිසේ, ප්‍රථම වරට සභාපති ධූරය හෙබෙව්වේ ආචාර්ය තිස්ස අබේසේකරයන්. ඒ හේතුව මත ගොඩ නැගුණු ටෙලිනිසේ වර්තමානය වන විට මූලික අරමුණු වෙන්නේ ලාංකීය ටෙලි නාට්‍ය කලාව හොඳ මඟකට යොමු කිරීමත්, ටෙලි නිර්මාණයක ගුණාත්මක බව රැක ගැනීම සහ කලාකරුවන්ගේ අයිතීන් රැක ගැනීමයි.

එම අරමුණු අද වන විට ඉටු වෙලාද?

මෙහෙමයි, අප ඒ අරමුණු ඉටු කර ගන්න නොයෙකුත් උත්සාහයන් අරගෙන තියෙනවා. එම්. ජේ. පෙරේරා මහත්මයා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය දරන කාලේ ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් කෙරුණු මුදල් ගනුදෙනුවල විනිවිද භාවයක් තිබුණා.

නමුත් අද වන විට රූපවාහිනී නාලිකාවල එම විනිවිද භාවය නැති වෙලා. යම් යම් දේශපාලන හේතු නිසා සහ විවිධ පුද්ගලයන් නිසා අද වන විට ටෙලි නාට්‍යයන් මිලදී ගැනීම ජාවාරමක් බවට පත්වෙලා තියෙනවා.

ඒ වගේම තමයි වර්තමානයේ රූපවාහිනී ආයතන විසින් ටෙලි නිර්මාණ මිලදී ගෙන විකාශය කිරීම සඳහා තෝරා ගැනීමේදී අනුගමනය කරන ලකුණු ක්‍රමය හරිම අසාධාරණයි. අපේ සංගමය එම අසාධාරණකම්වලින් අසාධාරණයට ලක් වන්නන් ආරක්ෂා කර ගන්න යෝජනා කිහිපයක්ම යෝජනා කළා.

තහනම් වූ මහමෙර පාමුල සහ අවසඳ

මොනවද ඒ?

ටෙලි නාට්‍යයක් මිලදී ගැනිමේදී ඒ ඒ ටෙලි නාට්‍යයන්ට අනු අංකයක් ලබා දෙන්න කියලා අපි යෝජනා කළා. අපි ඒ යෝජනාව ඉදිරිපත් කළේ නිෂ්පාදකයා ලක්වන අසාධාරණයට පිළියමක් ලෙස.

ඒ අනු අංක පිළිවෙල නිසා නිෂ්පාදකයා දන්නවා තමන් නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ කොයි කාලෙද කියලා.

නිෂ්පාදකයා ආරක්ෂාවීම ම පමණක් ප්‍රමාණවත්ද?

නෑ. අපි නිෂ්පාදකයා වගේම නිිර්මාණකරුවනුත් ආරක්ෂා කරන්න යෝජනා ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් අපි වරක් ටෙලි නාට්‍යයටත්, නාලිකාවටත් පාඩු නොවන ආකාරයේ කරුණු දහසයකින් යුත් ලියවිල්ලක් එවකට ජාතික රූපවාහිනියේ සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්තයාට ඉදිරිපත් කළා.

එම යෝජනා ක්‍රියාවට නැඟුණේ නැද්ද?

අපිට පුළුවන් සාමකාමීව යම් ගැටලුවකට යෝජනා ඉදිරිපත් කිරීම පමණයි. එම යෝජනා ක්‍රියාත්මක කිිරීමේ වගකීම තියෙන්නේ එම ආයතන ප්‍රධානින්ටයි.

ටෙලිනිසට හැකියාව තිබෙන්නේ යෝජනා ඉදිරිපත් කරන්න විතරක් නම්, ඉන් ප්‍රයෝජනයක් නෑ නේද?

ජනප්‍රියම නාට්‍ය යුගලක් - මලී - සිහින පියාපත්

ටෙලිනිස කළ සකච්ඡා සහ යෝජනා නිසා තමයි විදේශයෙන් ගෙන්වන මෙගා ටෙලි නාට්‍යය සඳහා බද්දක් අය කළේත්, කොටස් 500 ක් පමණ විකාශය වූ ටෙලි නාට්‍යවල කොටස් 250ක් දක්වා අඩු වුණෙත්, රූපවාහිනිය මෙගා ටෙලි නාට්‍යය සඳහා යොමු නොවුණෙත්.

ඒ වගේම 1993 දීී වගේ අහේතුකව ටෙලි නාට්‍යය අද දක්වා වාරණය නොවුණෙත් ටෙලිනිස ටෙලි නිර්මාණකරුවන් වෙනුවෙන් සිටින නිසා.

ආනයනික මෙගා හිස්තැන පිරෙව්වෙත් මෙගා රැල්ලක්ම නේද?

ඒක ඇත්ත. විදේශීය මෙගා වෙනුවට දේශීය මෙගා ආරම්භ වෙන්නේ ‘බට්ටි’ ටෙලි නාට්‍යයෙන්. එය බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු ටෙලි නාට්‍යයක්.

නමුත් ඉන්පසු දිනෙන් දින ඇති වුණ මෙගා රැල්ල නිසා ඇත්තටම සිද්ධ වුණේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ දෙයක්. දැන් යන විදිහට අපිට හිතන්න වෙන්නේ එක මෙගා ටෙලි නාට්‍යයක් අවසන් වූ පසු අවස්ථාව ලැබෙන්නේ මෙගා ටෙලි නාට්‍යයකටම වුණත් අපේ රටේම නිෂ්පාදිත නිර්මාණයකට කියලා තමයි.

එහෙම හිත හදා ගත්තා කියලා ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නෑ නේද?

ටෙලිනිස මෙගා රැල්ල නවත්වන්න නොයෙකුත් යෝජනා ඉදිරිපත් කළා. අපි අතිගරු ජනාධිපතිතුමන් සමඟත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

වරා මල්

ඔබ සංගමය ටෙලි නාට්‍යයක ගුණාත්මකභාවය වර්ධනය කරන්න මොනවද කරලා තියෙන්නේ?

අපි යෝජනාවක් කළා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට ටෙලි නාට්‍යයක් ජනතාවට පෙන්වීමේ සුදුසු තත්ත්වයෙන් තිබෙනවාද නැද්ද කියලා තීරණය කරන්න ඉඩ දෙන්න කියලා. අපි ඒ වෙනුවෙන් ඇමැතිවරු දැනුවත් කළා. කොහොම හරි ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඒ පනතත් හැදුවා. නමුත් අද ඒ පනතත් එක තැනක හිර වෙලා තියෙනවා.

පවත්නා තත්ත්වය තුළ කෙනෙකුට රංගනය වෘත්තියක් විදිහට කරන්න පුළුවන්ද?

අද වන විට ආයතන තුනක් හෝ හතරක් විසින් රූපවාහිනියේ ටෙලි නාට්‍ය සඳහා වෙන් වූ ගුවන් කාල හතර අල්ලගෙන ඉන්නේ හරියට බූවල්ලො වගේ. ඔවුන් ඇතැම් රංගන ශිල්පීන්ට මාසිකවත් තවත් අයට දවස් වශයෙනුත් පඩි ගෙවනවා. ඉතින් ඒ නිසා ඒ අයට නම් රංගනය වෘත්තියක් විදිහට කරගෙන යන්න පුළුවන්. නමුත් එතනදි ඇතිවන කණගාටු තත්ත්වය වෙන්නේ අලුත් පරම්පරාවක් බිහි වෙන්නේ නැති එක. මේ සියලු දේ අතර තම හැකියාව නිසා ස්වාධීනව රංගනය වෘත්තියක් විදිහට කරගෙන යන අය නැතුවාම නෙවෙයි.

අද බොහෝ අය රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් වෙන්නේ මුදල් බලය නිසා කිව්වොත්?

යම් එහෙම පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එක්වන සමහර නවකයන් පිළිබඳ හොයා බැලුවහොත් ඔවුන් බොහෝ විට එම ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයා. එසේත් නැත්නම් නිෂ්පාදකයාගේ හිතවතෙක්. ඇත්තටම එය ඛේදනීය තත්ත්වයක්. හැකියවේ හා රස වින්දනයෙන් යුත් නව පරපුරක් අපට අවශ්‍යයි.

සමුගත් වසන්තය

ඒ ඛේදනීය තත්ත්වය නැති කරන්න ටෙලිනිස මොනවද කරලා තියෙන්නේ?

‘ටෙලිනිස රස වින්දන’ කියලා වැඩසටහනක් අපි දීප ව්‍යාප්තව පාසල් මට්ටමින් සහ ප්‍රජා මට්ටමින් සිදු කරගෙන යනවා. අපි කොළඹ, ආනමඩුව, ගාල්ල වගේ නොයෙකුත් ප්‍රදේශවල සිදු කරනවා. අපි සාමාන්‍යයෙන් වසරකට එවැනි වැඩමුළු තුනක් පවත්වනවා.

පවත්නා තත්ත්වය තුළ වසරකට වැඩමුළු තුනක් ප්‍රමාණවත් නෑ නේද?

මෙහෙමයි, අපේ ශිල්පීන් ටෙලිනිස රස වින්දනය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ නොමිලේ. එවැනි තත්ත්වයක් තුළ අපිට ඉතින් ඉන් එහාට කිරීමේදී ගැටලු මතු වෙනවා. ඒ වගේම තමයි ඒ වැඩමුළුව පවත්වන්නේ අපිට ලැබෙන ආරාධනා අනුව. ඒ වගේම අපි වරක් ලක්ස් තරු වරම නමින් වැඩ සටහනක් කළා. අපිට ඒ වැඩසටහනෙන් මිහිර සිරිතිලක වැනි යොවුන් දක්ෂ රංගන ශිල්පීන් හොයා ගන්න හැකියාව ලැබුණා.

ටෙලිනිසේ අලුත්ම යෝජනා මොනවාද?

අපි මේ වන විට අපේ සාමාජිකයන්ට රක්ෂණයක් ලබා දෙන්න කටයුතු සූදානම් කරනවා. තව ටිකකින් මම සුදත් රෝහණ හමු වෙන්න යන්නෙත් ඒ සම්බන්ධයෙන් කටයුතු සූදානම් කරන්න.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු