මා දුටු සැබෑ දේශපාලන නායකයා හෙට දොරට වඩියි

මා දුටු සැබෑ දේශපාලන නායකයා හෙට දොරට වඩියි

ආර්. රොෂේන් මධුරංග ලියූ ‘මා දුටු සැබෑ දේශපාලන නායකයා’ කෘතිය හෙට (16 වැනිදා) ප. ව. 2.00 ට හොරොම්බාව මහා විද්‍යාලයේදී දොරට වඩී.

මෙම උළෙල පළාතේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ‘මා දුටු සැබෑ දේශපාලන නායකයා’ කෘතිය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ චරිතාපදානය සහ සිව් වසරක ප්‍රගතිය අළලා සැකසුණු කෘතියක් වේ. කතුවරයා සිය කෘතිය පසුගියදා අරලියගහ මන්දිරයේදී ගරු ජනාධිපතිතුමන්ගේ සුරතට පිළිගන්වන ලදී.

විජය නන්දසිරි කලා දිවියට 46 වසරයි

නාට්‍ය උළෙල 20 - 25 ජෝන් ද සිල්වා

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරිගේ 46 වසරක් වූ රංග පෙළහැර සිහි කරමින් මේ සොඳුරු රංග ශිල්පියා උදෙසා පැවැත්වෙන උපහාරය හා නාට්‍ය උළෙලක් පිළිබඳ පසුගියදා අපට අසන්නට ලැබුණි.

‘මේක ඇත්තක්ද?’

රටක් ආදරය කරන රංග ශිල්පියාගෙන් අපි මෙසේ විමසුවෙමු.

‘මගේ රංග පෙළහරට දැන් වසර හතළිස් හයක්. ඒක සිහි කරමින් තමයි ‘විජයානන්දය’ කියන මේ රංග පෙළහර පැවැත් වෙන්නේ. මේ කටයුත්තට මූලික වෙන්නේ මගේ දුවගේ මහත්තයා වුණු චමින්ද ගුණරත්නයි. මෙවැනි කටයුත්තකට ඔහු මූලික වීම පිළිබඳ මට දැනෙන්නේ සතුටක්. මේ මාසේ 20 වැනිදා ආරම්භ කරන මේ උපහාර උළෙල හා නාට්‍ය උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සහභාගි වෙන්නේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී. බී. ඒකනායක මහතායි.

මේ මාසයේ 20 වැනිදා පටන් 25 වැනිදා දක්වා මගේ රංගනයෙන් හැඩවුණු නාට්‍ය කිහිපයක් නාට්‍ය උළෙලට ඉදිරිපත් කිරීමත් මෙහි විශේෂත්වයක්. 20 වැනිදා – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර’, 21 වැනිදා – ලලිතා සරච්චන්ද්‍රගේ ‘කපුවා කපෝති’, 22 වැනිදා – වෘෂභරාජ, 23 වැනිදා - කුස - පබාවතී, 24 වැනිදා - සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’, 25 වැනිදා – රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පස්වරු 6.30 ට වේදිකා ගත වෙන බව මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මම කියන්නම ඕන.’

විජය නන්දසිරි නම් ඒ ප්‍රවීණ රංග ශිල්පියාගේ හතළිස් හය වසරක් සපිරෙන රංග පෙළහරට සරසවියේ අපි මෙසේ සුබපතුම් ගෙන එන්නෙමු. ඒ තවත් බොහෝ කාලයක් ඔබගේ රංගනයෙන් අප අතර ජීවමාන වන්නටය.

මෙවර සරසවිය කවරය විජය නන්දසිරි වෙනුවෙන් වෙන් වනුයේ එබැවිනි.

පොල් අරණින් තල් අරණට වැඩ ඇරඹෙයි

ඔබේ රස වින්දනය උදෙසා නිර්මාණය වන බොහෝ ටෙලි සිතුවම්වල මුහුරත් උළෙලවල් බොහෝ විට පවත්වන්නේ උත්සව ශාලාවක හෝ හෝටලයක. නමුත් පසුගියදා බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ මුහුරත් උළෙලක් පැවැත්වෙන බව අපට දැනගන්න ලැබුණා. එලෙසින් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී පැවැත් වුණේ ගුණපාල කරුණාපතිරණගේ සංකල්පයක් වන ‘පොල් අරණෙන් තල් අරණට 2012 නව අවරුදු උදානය’ ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙල.

මෙහි තිර රචනය පූජ්‍ය ගිංතොට සුචිතනන්ද හිමිපාණන්ගේ. අජන්ත ප්‍රේමලාල් කැමරාකරණයෙන්, චින්තක ගයාන් සංස්කරණයෙන්, මධුෂ්ක ගිම්හාන් හා උදිත ලක්ෂ්මන් සහය අධ්‍යක්ෂණයෙන් තරංග රුක්මල්වල අංග රචනයෙන්, ජයන්ත මීගහතැන්න, ඉනෝකා ප්‍රියදර්ශනී හා සුමිත් චන්ද කලා අධ්‍යක්ෂණයෙන්, සුනීතා නන්දනී, ප්‍රේමවතී සිල්වා සහ කාන්ති දිසානායක ඇඳුම් නිර්මාණයෙන් සිය දායකත්වය ලබා දෙනවා.

මෙම ටෙලි නිර්මාණයේ නිෂ්පාදන සම්බන්ධීකරණය සිදු කරන්නේ ජී. ඩී. දයාරත්න හා මහින්ද පීරිස්. නිෂ්පාදන කළමනාකරණයෙන් චින්තක සිරිවර්ධන, මහින්ද විජේසේකර, සුමුදු ප්‍රියංකර හා ගාමිණී ඥානතිලක, නිෂ්පාදන සැලසුම් කරණයෙන් රත්නසිරි ලියනආරච්චි හා තිස්ස දාබරේ දායක වෙන ‘පොල් අරණෙන් තල් අරණට 2012 නව අවුරුදු උදානය’ ජී. ඩී. චිත්‍රපට ඉදිරිපත් කිරීමක්.

පරසතු මල් පුංචි තිරයට

පරසතු මල් සිනමා පටය රසවිඳී ඔබට ටෙලි නිර්මාණයක් ලෙසින් ද එය අනාගතයේදී රස විඳින්න අවස්ථාව උදාවන බවට ආරංචියි. පරසතු මල් චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරියගේ අනුමැතියත් ඇතිව තමයි මේ කටයුත්ත සිදු කරන්නේ.

නීටා ප්‍රනාන්දු, ශ්‍රියානි අමරසේන, බුද්ධදාස විතානාච්චි, දමයන්ති ෆොන්සේකා, දිල්හානි අශෝකමාලා, නිමන්ති පෝරගේ, රොෂාන් රවීන්ද්‍ර, සාරංග දිසාසේකර සහ සරත් කොතලාවල පරසතු මල් ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා. මෙම ටෙලි නිර්මාණය ප්‍රභාත් රෝෂණ්ගේ කැමරාකරණයක් සහ අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂණයක්.

පරසතු මල් ටෙලි නාට්‍යය රූගත කෙරෙන්නේ ද පරසතු මල් චිත්‍රපටය රූගත කළ දිවුලපිටිය වලව්වේදීමය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ජීවය ලබා දුන් චරිතයට ටෙලි නිර්මාණයේදී ජනප්‍රිය නළුවකු පණ පොවන්නට සූදානම්. හැබැයි තවම ‘කමලා’ ගේ චරිතයට නම් රංගන ශිල්පිනියක් තෝරාගෙන නැති බව දැනගන්න ලැබුණා.

පරසතු මල් ටෙලි නිර්මාණය සිනෙ ආර්ට් වෙනුවෙන් ප්‍රභාත් රෝෂණ්ගේ සහ නිමන්ති පෝරගේ නිෂ්පාදනයක්.

සසල සේයා ඉරිදා

රමණී බුලත්සිංහල ලියූ පනස්වන නවකතාව වන ‘සසල සේයා’ මෙම මස 18 වැනිදා පෙ. ව. 10.00 ට කොළඹ 07 මහජන පුස්තකාලයේදී දොරට වඩී. එහි මුලසුන හොබ වන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි වේ.

අලුත් පොත් දෙකක්

අර්නස්ට් හෙමිංවේ ගේ ‘ද ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී’ ආශ්‍රයෙන් ප්‍රාම් දෙල්දෙණිය පරිවර්තනය කළ ‘මහල්ලා සහ මුහුද’ කෘතිය හා දැදිගම වී. රුද්රිගු ගේ අනුවාදනයක් වූ විංගීස් අයිත්මාතව්ගේ ජමිලා නම් කෘති ද්විත්වය පසුගියදා නව මුද්‍රණයන් සේ එළි දැක්විණ. මෙම කෘති ද්විත්වය පොත් මිතුරෝ බෙදා හැරීමකි.

‘බට්ටි මගේ සුදු මැණික ඔයා’ නව රටාවෙන්

ග්‍රේෂන් මුතුකුමාරණගේ ‘ගියත් වෙන් වී ඔබ’ නවතම සංයුක්ත තැටියයි. 1993 වසරෙහි එළි දැක්වුණු ‘කඳුළු බිඳු’ කැසට් පටයෙහි ‘බට්ටි මගේ සුදු මැණික ඔයා’ නම් ගීතයෙන් ජනප්‍රිය වුණු ග්‍රේෂන් මුතුකුමාරණගේ මෙම සංයුක්ත තැටියෙහි ගීත දහසයකින් යුක්තය.

දිල්ෂාන් තමිල්, දිනිඳු ප්‍රියන්ත, ග්‍රේෂන් මුතුකුමාරණ, විජිත ජයරත්න, වර්ණන් ජෙරම්, සමිත් නුවන්, ලක්මාල් වීරසිරි, සුදත් ප්‍රශන්ත, චමින්ද සුදර්ශන යන ශිල්පීහු මෙහි පද රචකයන් හා සංගීත ශිල්පීන් වෙති. කාලයක් සංගීත ක්ෂේත්‍රයෙන් ඈත් වී සිටි ග්‍රේෂන් මුතුකුමාරණ ගායනයට අමතරව සටන් නළුවෙකු ලෙස රඟපෑමට එක්ව සිටියි.

ඒ ක්ලීටස් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘පරපුර’ චිත්‍රපටයේය. රසිකයන්ගේ ඉල්ලීම පරිදි ‘බට්ටි මගේ සුදු මැණික ඔයා’ ගීතය නව සංගීත රටා යොදා ගනිමින් නැවත එළි දැකීමට කටයුතු කරමින් සිටින ග්‍රේෂන්ව 072845 7344 යන දුරකතනය ඔස්සේ ඔබට ඇමතිය හැකියි.

රංගාලෝක ශිල්පී දයාවංශ මිය යයි

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ හැත්තෑව අසූව දශකයන්හි නිෂ්පාදිත නාට්‍ය රාශියක රංගාලෝක ශිල්පියෙක් ලෙස කටයුතු කළ ප්‍රවීණ රංගාලෝක ශිල්පී ඒ. ඩී. දයාවංශ මහතා පසගියදා (07 වැනිදා) අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු පසුගිය 10 වැනිදා සවස 6.00 ට කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ. මිය යන විට හැට හත් හැවිරිදි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි.

ප්‍රවීණ රංගාලෝක ඉංජිනේරු මහින්ද ඩයස් මහතා යටතේ ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ආර්. ආර්. සමරකෝන් වැනි ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය රැසක රංගලෝක ශිල්පියා ලෙස කටයුතු කළේය.

පසු කලෙක ලක්මාලි තියටර් රංගාලෝක ආයතනයේ හිමිකරුවා ලෙසින් නෙයිනගේ සූදුව, චරිත හතක්, අඹු සැමියෝ, සුභ සැන්දෑවක්, රතු හැට්ටකාරී, කැලණි පාලම, තටු, ඉරි ඇතුළු නාට්‍ය රැසක රංගාලෝක ශිල්පියා විය. වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය ඇතුළු ගී ප්‍රසංග රැසකට ද රංගාලෝකයෙන් දායක වීමට ඔහුට හැකි විය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු