මහා නෘත්‍යාංගනාවිය හෙවත් වජිරා

මහා නෘත්‍යාංගනාවිය හෙවත් වජිරා

අපගේ මහා සාහිත්‍යකරුවා හෙවත් කොග්ගල මහා ප්‍රාඥයා යයි විරුදාවලී ලත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නාමය සමඟ ඉතිහාසයේ ලියැ වී ඇති මහා නාම කිහිපයක්ම අප මතකයට එයි.

මහාචාර්ය සරච්චන්ද්‍ර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ආචාර්ය පණ්ඩිත් අමරදේව, ජෝර්ජ් කීට් ඒ අතරින් කිහිපයක් වේ. මේ නාමාවලිය පරිපූර්ණ වන්නට නම් තවත් එක් නමක් අනිවාර්යයෙන්ම එක් කළ යුතු යයි සිතේ. එනම් මෙරට මෑතකාලීන ඉතිහාසයෙහි ශ්‍රී ලාංකික නර්තන විෂය, නර්තන කලාව, මුද්‍රා නාට්‍යය, පිළිබඳ කතා බහකදී පෙරමුණ ගන්නා නාමය වන චිත්‍රසේනයි.

ඔහු සමඟ එක් සැණින් අප මතකයට එන ඔහුගේ නාමය හා අවියෝජනීයව බැඳී පවත්නේ නර්තන කලාවේ යුග ස්ත්‍රිය වන වජිරා යන්නයි. ශ්‍රී ලංකාව විසින් බිහි කරන ලද ගීත කෝකිලාවන් වේ. නිළි රැජිණක් වේ. මෙහිලා නර්තන කලාවේ අග රැජිණ ලෙස වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සුදුසුකම් ලබන්නී වජිරායි.

මෙරට ගායන, සිනමා කලා ඉතිහාසයෙහි රැජිණ සේ විරුදාවලී ලත් ස්ත්‍රින් වන රුක්මණී දේවි, මාලිනී ෆොන්සේකා, නන්දා මාලිනී වැන්නියන් අතර, වජිරාගේ නාමය සනිටුහන් වී ඇත්තේ අන් නම්වලට වඩා සුවිශේෂී ලක්ෂණයක් ද සහිතව යැයි සිතීම අසාධාරණ නොවේ. ශ්‍රී ලාංකීය මුද්‍රා නර්තන කලාව කුමක් ද යන්න ලොව පුරා විදේශ රටවල් රාශියක ජනයා, රසිකයා හමුවේ ප්‍රදර්ශනය කොට තම මව් බිමට කිත් පැසසුම් ගෙනා කලාකාරිය, නෘත්‍යාංගනාවිය වීම වජිරාගේ සුවිශේෂත්වයයි. ඈ වැන්නියක් ලද මව් බිම පින්වන්තියක් වන්නීමය.

නර්තන කලාවෙහි මුද්‍රා නාට්‍යයෙහි වජිරා පිළිබඳ කතාංගය ඉතා දීර්ඝ වූත්, විස්මිත වූත් එකකැයි සිතේ. ඈ කිසිදු සැකයකින් තොරව, ශ්‍රීී ලාංකේය නාට්‍යාංගනාවයි. ඈ ප්‍රගුණ කොට ඇත්තේ අපගේ සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රදායයි. එහෙත් චිත්‍රසේනයන්ගේ ගුරු හරුකම්, මඟ පෙන්වීම් ඔස්සේ වජිරා තම නර්තන කලාව වඩාත් නිර්මාණශීලීව, ගොඩ නඟා ගන්නට සමත් වූ බව චිත්‍රසේන හා එක් වී රැඟූ මුද්‍රා නාට්‍යවලින් මෙන්ම ඇගේ ස්වීය නිෂ්පාදන හා රංගන තුළින් ද වජිරා මනාව ඔප්පු කොට සිටින්නීය.

මීරියම් පීිරිස්, චන්ද්‍රලේඛා වැනි නර්තනවේදිනියන් පිරිමි රංග වස්ත්‍රයෙන් සැරසී සාම්ප්‍රදායික උඩරට නැටුම් ඉදිරිපත් කළ සමයෙහි, 1949 දී රඟ දැක්වුණු චිත්‍රසේනගේ රාවණා මුද්‍රා නාටකයෙහි දී සෝමබන්දු විද්‍යාපති විසින් නිර්මාණය කරන ලද කාන්තා රංග වස්ත්‍ර හැඳ සාම්ප්‍රදායික උඩරට නැටුමට එක් වූ පළමු නාට්‍යාංගනාව වජිරා වූවාය. චිත්‍රසේන රාවණයානන් වූ කල වජිරා එහි මුවාගේ චරිතය මුද්‍රාවෙන් නිරූපණය කළාය.

බාල වියෙහිදී නැටුමට ආසාවක් නොවූ වජිරා නර්තනයට සමීප වන්නේ තම මවගේ ඕනෑකමට බවයි පැවසෙන්නේ. චිත්‍රසේන කලායතනයේදී ඇගේ යොවුන් වියේදී ඈ ඇසුර ලබන්නේ, නිරතුරුව ඇයට හමුවන්නේ ආනන්ද සමරකෝන්, සෝමදාස ඇල්විටිගල, ලයනල් අල්ගම, අමරදේව, සුනිල් සාන්ත ආදී වූ විශිෂ්ටයන්ය. ඔවුනගේ නිර්මාණ ඇගේ නිර්මාණ සඳහා අනුප්‍රාණය සැපයූවා වන්නට පුළුවන.

ආනන්ද සමරකෝන්ගේ කුමුදුනී ගීතය අසා එහි මිහිරෙන් මත් වූ වජිරා තම ප්‍රථම මුද්‍රා නාට්‍යය ළමුන් වෙනුවෙන් නිෂ්පාදනය කළාය. ඉර හඳ හා මල් ඇගේ ප්‍රථම මුද්‍රා නාට්‍යයෙහි චරිත විය.

කිසිදු සංවාදයකින් තොරව, මුද්‍රාවන්ගෙන් පමණක් චරිතයක් නිරූපණය කරමින්, එම චරිතයෙහි අභ්‍යන්තරික හැඟීම් හා වෙනස්වීම් ඉදිරිපත් කිරීම, ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගැනීමට සමත් වන සේ නිරූපණය අතිශයින් දුෂ්කර වූත්, අභියෝගාත්මක වූත් කාර්යයකි.

වජිරාගේ කලාව වන්නේ එවැනි දුෂ්කර වූත්, අභියෝගාත්මක වූත් කටයුත්තක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමයි. ඈ ඒ අභියෝග මනාව ජය ගත්තියක බැව් කරදිය, නල දමයන්ති වැනි මුද්‍රා නාට්‍ය රංගනයෙන් ඔප්පු කොට සිටින්නීය.

චණ්ඩාලි මුද්‍රා නාටකයෙහිදී චණ්ඩාල දියණිය ලෙස ඇගේ ප්‍රථම රංගනයෙන් ද, නල දමයන්ති ඉඟි නළුවෙහි (1950), හංසයා ලෙස ද කරදියෙහි (1961) ධීවර කාන්තාවක ලෙස ද වජිරා තම මුද්‍රවන්ගෙන් සිරුරින් පෑ රංගන විස්මිතය.

ඔප නොදැමූ මැණික් ගලක් බඳු වූ වජිරා අගනා වටිනා මාණික්‍යයක් සේ ඔප වැටී ප්‍රභාවත්ව දිදුලන්නට පටන් ගත්තේ චිත්‍රසේනයන්ගේ සෙවනෙහි ලද ගුරුහරුකම් නර්තනාභ්‍යාස මනාව පුරුදු පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් වජිරා සෑම අවස්ථාවකදී චිත්‍රසේන විසින් ඇයට ලබා දුන් ඉඩහසර තුළ, අලුතින් කිසිවක් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තීය.

දේශීය සම්ප්‍රදායික නර්තන කලාව හදාරමින් එහි තුළ වූ සාධණීය ලක්ෂණ උකහා ගනිමින්, සම්ප්‍රදාය නොබිෙඳන ලෙස ද, ඊට හානි නොවන, විකෘත නොවන ලෙස ද දේශීයත්වය රැක ගනිමින් බිහි කළා වූ ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවෙහි අරුමැසි විසිතුරු මැවු කාන්තාව වජිරා වන්නීය.

ඈත දියඹට ගිය පිරිස් යළි ගොඩ බිම පැමිණෙන තෙක් මඟ බලා සිටිනා ධීවර කාන්තාවකගේ අපේක්ෂා, ඈ මුහුණ පානා අනපේක්ෂිත ගැටලු, ඇගේ ආදරය, ශෝකය මේ සියල්ල කැටි කොට ගත්, නර්තන චමත්කාරයක් ප්‍රාණවත්ව ප්‍රබලව නිම වන වජිරාගේ කරදිය මුද්‍රා නාට්‍යයෙහි නිරූපණය වේදිකාව මත වජිරා රඟනු සජීවීව නැරැඹූ කිසිදු ප්‍රේ්ක්ෂකයකුගේ මතකයෙන් කිසි දිනක ඈත් වී නොයනු නොඅනුමානය. ඇගේ භාව භාව ලීලා එතරම් සියුම්ය. ප්‍රණාවත්ය.

වේදිකා නාට්‍යයක, චිත්‍රපටයක හෝ රූපවාහිනී නාට්‍යයක රංගනයක දී මෙන් සංවාද මඟින් ගායනා මඟින් නළුවකුට හෝ නිළියකට තම චරිතය ගොඩ නඟා ගැනීමට ලැබෙන ආනුශංසික සහාය කිසිවක් නොලබමින් හුදුු වදනින් තොර වූ මුද්‍රා අංග චලන මඟින් නිරූපණය කිරීමට සිදුවන චරිතයකට ජීවය එක් කිරීමට හැකි වන්නේ නර්තනයෙහි, මුද්‍රා, අංග චලන රිද්මයෙහි මනා අවබෝධයක් සතු නිර්මාණකරුවකුට හෝ නිර්මාණකාරියකට පමණි. වජිරා මෙම වාසනාව දෝතින් දරා උපන් අපගේ කාලයේ නර්තනාංගනාවියයි. වීරවරියයි.

ඈ තම ගමන් මඟට අතරමඟ නතර වීමට ඉඩක් නොලැබෙන ලෙසින් අනාගත මඟ සකස් කොට ඇත්තීය.

වජිරාගේම දියණිය උපේකා මෙන්ම වජිරා - චිත්‍රසේන මුද්‍රා නාට්‍ය කලාව හොඳින් හඳුනා ගෙන ප්‍රගුණ කොට එහි නව නිමැවුම් පර්යේෂණාත්මක අත්හදා බැලීම් හි නිරතව සිටිනා චන්න, රවි බන්දු වැනි සිසුන් ද වජිරා විසින් මෙරට මුද්‍රා නාට්‍ය කලාවට හා නර්තන කලාවට පුද දුන් දායාද වැන්න. ජීවිත ගමනෙහි අසූ වන මං සලකුණ සටහන් කරනා වජිරාගේ ගමන් මඟ තව තවත් දිගු සුන්දර චාරිකාවක්ම වේවායි පතමි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු