බිංදුවෙන් පටන්ගෙන ඉහළටම නැගිලින්ටන් සේමගේ
ලින්ටන් සේමගේ ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව ගණනින් ඉතා අල්ප වුව ඔහු
සමකාලීන සිනමා නළුවන් අතරින් කිසිසේත්ම නොතකා හළ නොහැකි චරිතාංග නළුවකු ලෙස හඳුන්වා
දෙත හැකිය.
එසේ වන්නේ ඔහු ප්‍රධාන චරිත රඟපෑ එම චිත්‍රපට කීපයෙන් වුව විශිෂ්ට රංග ප්‍රතිභාවක්
විශද කර අති බැවිනි.
1957 දී ගාල්ලේ බූස්සේ උපන් ලින්ටන් මූලික අධ්‍යාපනය ලැබුවේ දේව පතිරාජ
විද්‍යාලයෙන් හා ගාල්ල මහා විද්‍යාලයෙනි.
1975 වසරේදී රුපියල් 85 ක් අතැතිව ලින්ටන් කොළඹ පැමිණියේ නර්තන ශිල්පියකු වීමේ
අභිලාෂය පෙරදැරි කරගෙනය.
ඒ අදිටනින් ඔහු ඒ වන විට ධම්ම ජාගොඩ විසින් පවත්වාගෙන යනු ලැබූ ලයනල් වෙන්ඩ්ට් රංග
ශිල්ප ශාලිකාවට බැඳුණේය. එහිදී ලින්ටන්ට නර්තනය ඉගැන් වූයේ බැසිල් මිහිරිපැන්නය.
ඔහු එක් අවස්ථාවකදී ලින්ටන්ව පන්ති කාමරයෙන් එළවා ගත්තේය.
‘තමුසෙට නැටුම් බෑ’
ඔහු ගෝරනාඩු කළේය.
ඉන් අධෛර්ය නොවූ ලින්ටන් පසුව චිත්‍රසේනයන්ගේ ‘කරදිය’ මුද්‍රා නාට්‍යයේ රඟපා තම
නර්තන හැකියාව ප්‍රකට කර සිටියේය.
ලින්ටන් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වූයේ පහළම අඩියෙනි. ඔහු මුලින්ම වේදිකාව අතු
ගෑවේය. නළු නිළියන්ට තේ ඇල්ලුවේය. නාට්‍යවල ඇඳුම් පැළඳුම් හේදුවේය. මහ රෑ පෝස්ටර්
ඇලෙව්වේය. ධම්ම ජාගොඩගේ ‘කොරා සහ අන්ධයා’, ‘වෙස් මුහුණු’ ඔහු මුලින්ම සම්බන්ධ වූ
නාට්‍ය වෙයි.
ලින්ටන්, ගාමිණී හත්තොටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් ද වෙයි.
ඔහු රඟපෑම් ඉගෙන ගත්තේ මහ පාරේදීය. මේ මහ පොළොව මතදීය.
පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව’ ලින්ටන් රඟපෑ මුල්ම නාට්‍යයයි. ඔහු එහි රඟපෑවේ
කිරිපුස්සාගේ චරිතයයි. ඒ චරිත රංගනය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තේය. එපමණක් ද නොවේ,
රාජ්‍ය නාට්‍ය උළෙලේ දී ඒ රංගනය උදෙසා සම්මාන සහතික පත්‍රයක් ද ඔහු හිමි කර ගත්තේය.
‘මනමෙ’, ‘සිංහබාහු’, ‘වෙඩික්කාරයෝ’, ‘රන් සලකුණ’, ‘පුන්තිලා’ ‘පැන්ස දෙකේ හංසයා’,
‘අත්’, ‘මෝරා’ ලින්ටන් ඉනික්බිතිව රඟපෑ නාට්‍ය අතර සුවිශේෂත්වයක් හිමි කර ගනී.
ලින්ටන් නාට්‍ය නිෂ්පාදනයට ද එක් වූයේය. ‘පංචායුධ’ ඔහුගේ එකම නාට්‍ය නිෂ්පාදනයයි.
ඉන් කියවුණේ තරුණයන්ගේ අතුරුදන් වීම ගැනය. එය එම නාට්‍යය නිෂ්පාදිත යුගයට අතිශයින්ම
කාලීන වූවකි. 1992 ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නළුවා සඳහා වන සම්මානය මෙහි රඟපෑ
ලින්ටන්ට හිමි වෙතැයි බොහෝ දෙනා අපේක්ෂා කළත් එවැන්නක් සිදු නොවූයේය. සම්මාන උළෙල
දා මැදියම් රැයේ නාට්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ එක් පුද්ගලයෙක් ලින්ටන්ගේ
නිවෙසට පැමිණ ‘ලින්ටන් උඹ තමයි මෙවර හොඳම නළුවා’ යැයි කියා කොළ කැබැල්ලක ලියා
ගියේය. ඔහු ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනය.
ලින්ටන්ට වරක් ඉන්දීය ජාතික නාට්‍ය පාසලේ වසර එකහමාරක රංග පාඨමාලාවක් හැදෑරීමේ
භාග්‍යය ලැබුණේය.
ලින්ටන් සිනමාවට ද එක් වන්නේ වේදිකාවේදී මෙන්ම පහළම අඩියෙනි. ටී. අර්ජුනගේ ‘සාරා’
ඔහු රඟපෑ මුල්ම චිත්‍රපටයයි. ඔහු එහි රඟපෑවේ වේටර්වරයකුගේ සුළු චරිතයකි. එහිදී ඔහුට
කරන්නට සිදු වූයේ ජෝ අබේවික්‍රමට වතුර වීදුරුවක් ගෙන යෑමකි. ලින්ටන් මෙම චිත්‍රපටයේ
‘ටී බෝයි’ ලෙස ද (නළු නිළියන්ට තේ අල්ලන්නා) කටයුතු කර ඇත.
ඊට ඉහත ලින්ටන් ‘මඩොල්දූව’, ‘ගැහැනු ළමයි’ වැනි චිත්‍රපටවල සම්මුඛ පරීක්ෂණවලට
සහභාගි වුව ද එම චිත්‍රපටවලට ඔහු තෝරා නොගැනිණි.
ලින්ටන්ගේ රංගන හැකියාව මුලින්ම මතු වූයේ කෙටි චිත්‍රපට ඔස්සේය. විශේෂයෙන් පරක්‍රම
නිරිඇල්ලගේ ‘පළමුවැනියා සහ අන්තිමයා’ හා පී. යූ. ඩී. පෙරේරාගේ ‘සින්ඩරෙල්ලාගේ
සෙරෙප්පුව’ යන කෙටි චිත්‍රපටවලින්ය.
‘සුද්දා’, ‘රැජින’, ‘අතුරු මිතුරු’ ‘පොඩි විජේ’, ‘සිරි මැදුර’, ‘සහරාවේ සිහිනය’,
‘ස්ත්‍රී’ ලින්ටන් අප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට කීපයකි. එහෙත් ඒවායින් ඔහුට සුවිශද
රංග කෞශල්‍යයක් විදහාපෑමට අවස්ථාවක් නොලැබිණි.
අයි. එන්. හේවාවසම්ගේ ‘මී හරකා’ ලින්ටන් විශිෂ්ට චරිතාංග නළුවකු බවට පත් කළ පළමු
අවස්ථාව ලෙස සැලකිය හැකිය. ඔහු එහි කාම පොත්, සඟරා නිසා නොමඟ ගිය ගොපලු තරුණයකු ලෙස
කළ රංගනය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පවා ප්‍රශංසාව දිනා ගත්තේය. එසේම ‘සරසවිය’
සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට ද ඔහුට අවස්ථාව ලැබිණි.
එහි
සුවිශේෂත්වයක් වූයේ ඒ වසරේදී ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපෑ ‘නොමියෙන
මිනිසුන්’ චිත්‍රපටය ද ඊට තරගකාරීව ඉදිරිපත්ව තිබීමයි. ලින්ටන් හොඳම නළුවා වූයේ
ගාමිණීගේ රංගනය ද අභිබවා යමිනි. එය නළුවකු ලෙස ලින්ටන් ලද අති විශිෂ්ටතම ජයග්‍රහණය
වන්නේය.
‘මී හරකා’ හි ලින්ටන් මහත් කැපවීමකින් යුතුව රඟපෑවේය. චිත්‍රපටය රූපගත කිරීමට පෙර
ඔහු නිකවැරටිය ප්‍රදේශයට ගොස් ගොපලු තරුණයන් පිළිබඳ කිසියම් අධ්‍යයනයක යෙදුණේය.
එහිදී ඔහුට පෙනී ගියේ එම තරුණයන්ගේ දත් කහ පැහැ වී ඇති බවයි. ලින්ටන් ඒ අනුව තම දත්
කහ ගන්වා ගත්තේය.
චිත්‍රපටයේ එක් තැනක ලින්ටන් මඩ වළක ලඟී. එය වඩාත් තාත්විකව
ඉදිරිපත් කිරීම සඳහා ඔහු ‘ඇත්ත’ මඩවළක ලැග්ගේය. එහි විපාකය වූයේ මඩවළේ විසට ඔහුගේ
නියපොතු හැලීමයි, නාස්පුඬු කුණුවීමයි. දින ගණනක් යනතුරු ඇඟේ මී හරක් ගඳ තැවරී
තිබීමයි.
මී හරකා’ චිත්‍රපටයෙන් ලින්ටන් ප්‍රේක්ෂක අවධානය නොමඳව දිනා ගත්ත ද ඔහු ‘තරුවක්’
බවට පත් වුයේ නැත. තමා දුටු එක්තරා ප්‍රේක්ෂකයෙක් මෙසේ කියනු ඇසුණු බව ලින්ටන් මට
ප්‍රකාශ කර ඇත.
‘මේ අර ‘මී හරකා’ එකේ නළුවා වගේ කොල්ලෙක්.’
තවත් අවස්ථාවක ලින්ටන් ගමන් ගත් වාහනයක් හමුදාව විසින් නවත්වන ලදී. තමා චිත්‍රපට
නළුවකු බව ඔහු කියා සිටියත් හමුදාව එය පිළිගත් බවක් පෙනී නොගියේය.
‘ඒ වුණාට මූ පෙන්නේ රස්තියාදුකාරයෙක් විදියටයි.’
හමුදා සෙබළකු තවකෙකුට කියනු ලින්ටන්ට ඇසිණි.
‘මී හරකා’ චිත්‍රපටයෙන් පසු ලින්ටන් විශිෂ්ට රඟපෑම් ඉදිරිපත් කළ චිත්‍රපට තුනක්
වෙයි. ඒ ‘පාදඩයා’ (ධර්මෙ), ‘සුළං කිරිල්ලි’ (ශාන්ත බණ්ඩාර) හා ‘මගේ වම් අත’ (කමල්)
ය. මෙයින් ‘සුළං කිරිල්ලි’ හැරුණු කොට සෙසු සිනමා පට දෙකම ලින්ටන්ගේම අධ්‍යක්ෂණයන්
වීම විශේෂත්වයකි. ඔහු එහිදී සිනමාකරුවකු ලෙස ද වඩාත් කැපී පෙනිණි.
‘අයෝමා’, ‘යසෝමා’, ‘පුරහඳ කළුවර’ ලින්ටන් රඟපෑ තවත් චිත්‍රපට කීපයකි.
ලින්ටන් ටෙලි නාට්‍ය රංගනයේත් නිෂ්පාදනයේත් නිරත වූයේය. ‘නදී ගීතය’, ‘ඉරට හඬන මල්’,
‘කෝකිල ගින්න’, ‘මඟුල් සක්වළ’, ‘ඉටි පහන්’, ලින්ටන් රඟපෑ ටෙලි නාට්‍යයය.
‘අකරදාරුව’, ‘දෙවැනි කැමැත්ත’, ඔහු නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය දෙකකි.
ලින්ටන් අද රට හැර ගොස් විදේශීය රැකියාවක නිරතව සිටී. එය පසුගිය කාල වකවානුවේදී
මෙරට ඇති වූ සිනමා අර්බුදයේම ඇති වූ විපාකයක් සේ දැකිය නොහැකිද?
සුනිල් මිහිඳුකුල
|