සහාය අධ්‍යක්ෂණය යනු නොයිවසිලිමත් මිනිසුන් ඉවසිලිමත් මිනිසෙක්

සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල

සිනමා අධ්‍යක්ෂවරයෙක් යනු රූගත කරන භූමිය තුළ කිසිසේත් තනි පුද්ගල චරිතයක් නොවේ. මන්ද ඔහු පසුපසින් අවශේෂ කාරණා මෙහෙය වන සහාය අධ්‍යක්ෂවරයෙක් සිටින නිසාය.

ඔහු අධ්‍යක්ෂවරයාට ජවය සපයන්නෙක් නැත්නම් උත්තේජනයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔහු නමින් දමින්ද මඩවල. සහාය අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ප්‍රවීණයෙක්. අද කතාබහට ඉඩ ඔහුටයි.

* අපි ක්ෂේත්‍රය පොඩ්ඩක් පිරික්සුවා. ඔබට අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් විශාල මායිමක් තිබෙනවා . . .

ඔබ හරි. වර්තමානයේ සිනමාවට වැඩ කරන තරුණ අධ්‍යක්ෂවරුන්ට පමණක් නෙමෙයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ටත් මම සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉඳලා තියෙනවා. ප්‍රසන්න විතානගේ, රෝයි ද සිල්වා, සෝමරත්න දිසානායක, වසන්ත ඔබේසේකර, අශෝක හඳගම, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිට විමුක්ති ජයසුන්දර, අතුල ලියනගේ, අරුණ ජයවර්ධන, අනුරුද්ධ ජයසිංහ ආදී තරුණ නිර්මාණකරුවන් දක්වා වූ පරාසයක මට වැඩ කරන්න පුළුවන් වුණා. ඒ පරාසය නම්වලින් ගත්තොත් ලොකු පරාසයක්.

* සහාය අධ්‍යක්ෂණය වැනි කර්තව්‍යයකට ඔබට එන්න පාර හැදුණේ කොහොමද?

ගීත රචකයෙක් වෙච්ච විපුල් ධර්මප්‍රිය ජයසේකර මගේ ඥාතියෙක්. මම ඔහුගේ ගීත රචනා කුඩා කාලේ ඉඳලම දැක්කා. ඒවා විඳ ගත්තා. මං පාසල් ගියේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට. ඒ දවස්වල අපේ ගුරුවරයෙක් වෙච්ච කවිතානන්ද යද්දෙනිගේ මහත්මයාගේ නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඔය විදිහට තමයි කලාව ඇඟට දැනෙන්නට ගත්තේ. ජනක් මායාදුන්නේ කියන මගේ මිත්‍රයා තමයි ඒ දවස්වල චිත්‍රපට කියන දේ මගේ ඔළුවට දැම්මේ. විදේශීිය රටවල්වල සංස්කාතික මධ්‍යස්ථානවල ප්‍රදර්ශනය කරපු චිත්‍රපට උළෙලවල් මම නොවරදවාම බැලුවා. ඒ හින්දම තමයි මම මගේ මාර්ගය විදිහට සිනමා ක්ෂේත්‍රය තෝර ගත්තේ. ඒ මාර්ගයේ ආරම්භය සනිටුහන් වුණේ ප්‍රසන්න විතානගේ මහත්මයා ළඟින්. ඒ අනන්ත රාත්‍රිය චිත්‍රපටය හරහා සහායකයෙක් විදිහට. එතැන ඉඳලා ලෙස්ලි සිරිවර්ධන මහත්මයා මට ගුරුවරයෙක් වුණා. ඒ අනුව මුල්මවරට ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ලෙස මම පෙනී හිටියේ බෙනට් රත්නායක මහත්මයාගේ’ අස්වැසුම’ චිත්‍රපටයට.

* හොඳයි, යම් ප්‍රේක්ෂකයෙක් හිතන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක්ට සහාය අධ්‍යක්ෂවරයෙක් අවශ්‍ය මොකටද කියලා. ඇත්තටම මොකක්ද ඔබේ කාර්යභාරය?

ඇත්තටම සහාය අධ්‍යක්ෂවරයාට පැවරෙන්නේ නිෂ්පාදන සැලසුම ක්‍රියාත්මක කිරීමයි. එහිදී නළු නිළියන්, කාර්මික ශිල්පීන් මෙන්ම අනෙකුත් ශිල්පීන්ද සම්බන්ධීකරණය කිරීම වැදගත් කාර්යයක්. ඉන් පස්සේ රූගත කිරීම සඳහා අවශ්‍ය දින වකවානු තීරණය කිරීම හා රූගත කරන දින සටහනක් පිළියෙල කිරීම කළ යුත්තක්. අවසානයේ මේ සියල්ල සම්බන්ධීකරණය කිරීම සහාය අධ්‍යක්ෂවරයාගේ කාර්යයයි.

* ඔබ ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ ඔබේ වෘත්තීය පසුබිම හදා ගත්තේ කොහොමද?

ඔව්, මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ සිනමාවේ ආරම්භය සිදු වුණේ ප්‍රසන්න විතානගේ ගේ ‘අනන්ත රාත්‍රිය’ චිත්‍රපටය තුළින්. වෘත්තීය පසුබිමට මට ඉවහල් වුණේ දැනුම. මොකද සාමාන්‍යයෙන් ප්‍රසන්න විතානගේ චිත්‍රපටයකට අත ගහන්න ප්‍රථම ඒ දිනවල පුද්ගලයෝ 3 දෙනෙක් සමඟ සාකච්ඡා කරනවා. ඒ ලාල් පියසේන, සුනිල් ෆොන්සේකා, එම්. ඩී. මහින්දපාල යන අයත් එක්ක. මේ සාකච්ඡා මට නිතර නිතර අහන්න පුළුවන් වුණා. ඔවුන් කතා කරන දේවල් පුදුමාකාරයි. දැනුම් සාගරයක් කිව්වොත් නිවැරදියි. ඒ නිසා මම නිරායාසයෙන්ම දැනුම ලැබුවා. පොත පත කියෙව්වා. ඒ නිසාම මට ක්ෂේත්‍රය තුළ බොහොම පහසු විදිහට හැසිරෙන්න අවකාශ ලැබුණා. ඒ සමඟම ටෙලි නාට්‍යයටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

* එතකොට ඔබට වෘත්තීය තුළ නිතර හමුවන අභියෝගය මොකක්ද කියලා ඇහුවොත්?

සාමාන්‍යයෙන් පිටපතක් බලපු වේලාවේ සිට සහාය අධ්‍යක්ෂවරයාට එන්නේ අභියෝග තමයි. මොකද සහාය අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රූපය ඒ විදිහටම දෙන්න බැඳිලා ඉන්නවා. ඒ දේ කරන්න අපි පාර්ශව කිහිපයක් සමඟම බැදී ඉන්නවා. නිෂ්පාදකයා ඉන් එක් අයෙක්. ඔවුන්ගේ අදහස් විවිධයි. ඒ අදහස් අස්සේ එක අරමුණකට වැඩ කිරීම අභියෝගයක්. නිදසුනක් ලෙස කුස පබා චිත්‍රපටය දින 60 කදී රූගත කිරීමකට සැලසුම් කළත් අවසානයේ එය දින 40 ක් වුණා. ඒ දින 40 න් දින 38 ක් පමණයි වැය වුණේ.

ඒ මං මුහුණ දීපු සාර්ථක අභියෝගයක්.

හැබැයි මම කොයි මොහොතකවත් දින ආවරණය කරන්න දඟලන්නෙ නැහැ. නිර්මාණයේ සාර්ථකත්වය වෙනුවෙන් දින සටහන් පැත්තකට දාන්න වුණත් මම පසුබටවෙන්නෙ නැහැ. ඒ අනුව සහාය අධ්‍යක්ෂවරයා නොඉවසිලිමත් මිනිසුන් අතර ඉවසිලිමත් මිනිහෙක්.

* ඔබ වෙළෙඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක්. එයට සම්බන්ධ වුණේ මොන වගේ අරමුණක් හිතේ දරාගෙනද?

ඔව්, මට වෙළෙඳ දැන්වීම් විශාල සංඛ්‍යාවක් සඳහා සහාය අධ්‍යක්ෂවරයෙක්ව හිටියා. ඇත්තටම මූලික අරමුණ තමයි අපේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම.

සිනමාවට වැඩි කාලයක් ගත්තත් මූල්‍යමය වශයෙන් අඩු ප්‍රතිලාභයක් තමයි තිබෙන්නේ. නමුත් වෙළෙද දැන්වීම් ක්ෂේත්‍රය ඒකේ අනිත් පැත්ත.

* නමුත් වෙළඳ දැන්වීම්වල පැවැත්ම තාවකාලිකයි නේද?

ඔව් ඔබ හරි. පැවැත්ම අතින් ගතතොත් සිනමාවට සදාකාලික තත්ත්වයක් තිබෙනවා. නමුත් වෙළෙඳ දැන්වීම්වල නිිර්මාණශීලීත්වය නැතුවා නොවෙයි. මම දායක වෙච්ච, හිත ගත්ත නිර්මාණ අතර ‘බ්රේව් හාර්ට්ස්’ දැන්වීම් පෙළ, ජෝ අබේවික්‍රම මහත්මා සමඟ කළ ‘ඩී. එෆ්. සී. සී. දැන්වීම් මට සංවේදීයි. මොකද ඒවායේ නිර්මාණ ගුණය හින්දා. අනික මම වැඩ කළ පිරිස අතර සිටි සමින්ද රණවක, සුභාෂ් පින්නපොළ, දුලිත ලොකුබාලසූරිය, ප්‍රසන්න ජයකොඩි, සුදත් මහදිවුල්වැව යන අය නිර්මාණාත්මක පැත්තෙන් ඉදිරියටම ගිය අධ්‍යක්ෂවරු.

* ක්ෂේත්‍රයේ පරිණත සහාය අධ්‍යක්ෂවරයෙක් වෙච්ච ඔබට අධ්‍යක්ෂවරයෙක් ලෙසට අභිෂේක ලබන්න අදහසක් නැත්ද?

අදහසක් තිබෙනවා. ඒ සඳහා රජිත් ත්‍රිශාන්ත කියන මිත්‍රයත් එක්ක තිර පිටපතක් ලියමින් ඉන්නේ. චිත්‍රපටය සඳහා නිෂ්පාදන දායකත්වය දෙන්නේ රාවන් නිලන්ත, ඔන්ස්ටන් තිමතිනාත්, රුචිර ලියනආරච්චි හා ලිඳුල් විජේරත්න කියන අය . ඒ එක්කම චමින්ද කුමාර, ඉන්දික, ප්‍රභාත්, සුනිල් කියන මගේ මිත්‍රයනුත් පුදුම සහයෝගයක් දෙන්නෙ. ඔවුන් වැඩි දෙනා මගේ පාසල් මිතුරෝ.

* ඔබ සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට ජාත්‍යන්තර සිනමාව හොඳ හැටි අත්දකින්න අවස්ථාව ලැබුණා නේද?

ඇත්තෙන්ම ඒක ඇඟට දැනෙන වෙනසක්. මොකද මට නිතර ප්‍රධාන සම්මාන උළෙලවල් නියෝජනය කරන්න ලැබෙන නිසා. වරක් මම ප්‍රසන්න විතානගේ සමඟ කේරළ උළෙල නියෝජනය කළා. ඉන් පසුව විටින් විට කේරළ මෙන්ම ත්‍රිෂුරි අංගමාලි, බැංගලෝර්, මූම්බායි 3පඤ ඡ්රඥමෙන්ම කොරියාවේ බූසාන් උළෙල ද නියෝජනය කළා. මට එහිදී ලෝකයේ ඇතැම් සුප්‍රකට සිනමාකරුවන් හමුවුණා. විශේෂයෙන්ම මනි රත්නම්, අපිචාටිපොං වීරසෙතාකුල්, බහමන් ගොබාඩි, ගිරිෂ් කසාර වල්ලි වගේ දැවැන්ත සිනමාකරුවන් මුණ ගැසුණා.

* ඔබේ පෞද්ගලික වටපිටාව සැකසෙන්නේ කොයි විදිහටද?

මම ගොඩක් කාර්යබහුලයි. මං මගේ බිරිඳට ස්තුතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා මොකද මගේ අවිවේකී බව ඉවසගෙන ඉන්නවාට. ඒ වගේම නිෂ්පාදන සැලසුම්කරණය හා තාක්ෂණ උපකරණ සැපයීම සිදු කරන ආයතනයක් ලෙස අපි පිිරිසක් ‘ස්ටාර් මේකර්ස්’ ආයතනය පවත්වාගෙන යනවා. එයටත් මම බොහෝ කාර්යබහුල වෙනවා.

* අද ඔබ නියෝජනය කරන ක්ෂේත්‍රවලට තරුණ අයගේ පෙලඹවීම වැඩි බව පේනවා. අවසාන වශයෙන් ඔවුනට යමක් කියන්න ඇති ඔබටත්?

ඇත්තටම සමහරු හිතාගෙන ඉන්නවා තමන් සහය අධ්‍යක්ෂවරයෙක් වුණොතින් අධ්‍යක්ෂණයට එන්න බොහොම පහසු වෙයි කියලා. නමුත් මම කියන්නේ මේ ක්ෂේත්‍ර 2 ක හරියට අහසයි පොළොවයි වගේ.

අපි මේකට කැප වෙන්න ඕනෑ. ඒ නිසාම අපිට අපේ පෞද්ගලික ජීවිතය නැති වෙන්න පුළුවන්. අනිත් කාරණේ මේ ක්ෂේත්‍රයේදී ලෙහෙසියෙන් හොඳක් අහන්න බැහැ. ඒ නිසා මේක මුල සිට යන්න ඕනෑ ගමනක්. මම එහෙම කියන්නේ අවරුදු 20 ක් තුළ චිත්‍රපට 35 කට වැඩියෙන් ප්‍රධාන සහාය අධ්‍යක්ෂ වූ කෙනෙක් හැටියට.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව