ඒක් දිවානා තා සමඟ අලුත් තරුවක්

ආදරවන්තයන්ගේ මාසයේදී කෝඩුකාර ආදරවන්තයන් වූ ඇමී ජැක්සන් සහ ප්‍රතීක් බාබර් රසිකයන් ඉදිරියට කැඳවාගෙන ආවේ ගෞතම් මෙනන් අධ්‍යක්ෂවරයායි. පෙබරවාරි 17 දින සිට ‘ඒක් දීවානා තා’ සිනමාපටය තිරගත වෙන්නේ මේ පෙම්වතුන්ගේ නැවුම් සෙනෙහස ප්‍රේක්ෂකයන්ට විඳීන්නට සලස්වමිනි.

මේ උමතු වූ ආදරවන්තයාගේ කතාව ගෞතම් මෙනන්ම දමිළ බසින් මෙන්ම තෙළිගු බසින් ද මීට පෙර සිනමාවට රැගෙන ආවේය.

‘විනයිතන්ඩි වරුවායා’, ‘ඒක් දීවානා තා’ හි දමිළ සිනමා පටයයි. ‘යේ මායා චෙසාවේ’ තෙළිඟු සිනමාපටයයි. ප්‍රති නිර්මාණයක් වුව ද සිනමාපට දෙකටම වඩා වෙනස් අත්දැකීමක් ‘ඒක් දීවානා තා’ ප්‍රේක්ෂකයන්ට ගෙන එයි.

මුලින්ම ගෞතම් සිනමාපටය නම් කර තිබුණේ ‘ප්‍රේම් කතා’ ලෙසයි. එයටත් වඩා සිත් ගන්නා ‘ඒක් දීවානා තා’ (ප්‍රේමයෙන් උමතු වූවක්) පසුව යෙදුවේය. ප්‍රතීක් සහ ඇමී බොලිවුඩ් සිනමාපටයක ප්‍රධාන පෙම්වතුන් වන්නේ පළමු වතාවටය.

මෙහි තෙළිඟු සිනමාපටය රූගත කෙරුණු තැන් බොහොමයක්ම හින්දි සිනමාපටය රූගත කිරීමේදීත් මෙනන් යොදා ගත්තේය. චෙන්නායි හි ජනප්‍රිය වෙරළබඩ ආපන ශාලාව කතාවට සරිලන ස්ථානය බව ඔහුගේ අදහසයි.

ඇමී ‘විනායිතන්ඩි වරුවායා’ තෙළිගු සිනමාපටය පහළොස් වරක් බැලූ මෙනන්ගේ රසිකාවකි. ගෞතම්ගේ සිනමාපටයකින් බොලිවුඩයට දොරට වඩින්නට හැකි වීම සැබෑ වාසනාවක් බව ඇමීගේ අදහසයි.

ඒ. ආර්. රහමන්ගේ සංගීතයෙන් රස ගැන්වුණු, අග්‍රාහි, ටජ් මහල් වැනි සොඳුරු ස්ථානවල රූගත කෙරුණු ‘ඒක් දීවානා තා’ රසික සිත් ආදරයෙන් උමතු කළ සිනමාපට අතරට එක් වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කරති.

බ්‍රිතාන්‍ය මෝස්තර ශිල්පිනියක් ලෙස බොලිවුඩයට එක්වන ඇමී, බ්‍රිතාන්‍යයෙන් පැමිණි කත්‍රිනා කායිෆ් මෙන්ම සරාගී සුරූපිනියන් අතර කැපී පෙනෙන තාරකාවක් වනු ඇත. 2008 නව යෙවුන් ලෝක රූමතිය වූ ඇමී 2010 දී හාහා පුරා රංගනයට අවතීර්ණ වූවාය.

ඒ 2010 දී සාර්ථක ලෙස තිරගත වූ ‘මද්‍ර සපතිනම්’ (1947:Love Story) දමිළ සිනමාපටයට රංගනයෙන් දායක වීමෙනි. තවමත් විසි එක් හැවිරිදි ඇමී ලුවිස් ජැක්සන් ‘ඒක් දීවානා තා’ හි ප්‍රතීක් බාබර් සමඟ පෙමින් බැඳී සිටින බවට රාවයක් පවතී. එහෙත් ඒ දෙදෙනා නම් පවසන්නේ ඔවුන් හොඳ මිතුරන් පමණක් බවයි.

මෝස්තර නිරූපණ වෙබ් අඩවියකින් මේ සුරූපිනිය දුටු ඉන්දීය සිනමාකරුවෝ තරු ගුණය උතුරා යන ඇමී සැනකින් හඳුනා ගත්හ.

ඇලන් සහ මාගරිටා යුවළගේ බාල දියණිය ලෙස බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ඇමී, බොලිවුඩය උමතු කරවන්නට පටන් ගත්තා පමණි.

‘ඒක් දීවානා තා’ ඇයගේ පළමු පියවරයි.

ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘තාන්ඩවම්’, ‘යේවාඩු’ දමිළ සහ තෙළිගු සිනමාපටවල ප්‍රධාන නිළිය ද ඇමීය.


 

අලුත් අවුරුද්දේ අලුත් මංගල්‍යයක්

බො ලිවුඩයට නව වසර උදා වූයේ ජෙනේලියා ඩී සූසා, රිතිෂ් දේශ්මුක් තරු යුවළ සැබෑ ජීවිතයේ අඹු සැමියන් බවට පත් කරවමිනි.

‘ෂා! මොන තරම් කැපෙන ජෝඩුවක් ද? අල්ලා දෙවියන් ඔවුන් සදා සතුටින් තබත්වා!’ ෂාරුක් මේ දෙදෙනාට එසේ සුබ පැතුවේය. ක්ෂේත්‍රයේ වැඩි දෙනකුගේ පැතුම වූයේ ද එයමයි.

ජෙනේලියා සහ රිතිෂ් ආදරවන්තයන් බවට පත් වූයේ ‘මස්ති’ (2004) සිනමාපටයේ රඟපෑමෙන් පසුවය. දෙදෙනා සිනමා ජීවිතය ඇරැඹුවේ ද එකම චිත්‍රපටියෙනි.

ඒ ‘තුජේ මේරි කසම්’ (2003) සිනමාපටයෙනි. මහා රාෂට චාරිත්‍රාණුකූලව විවාහය පැවැත්වුණු අතර නළු නිළියෝ රැසක් මංගල උත්සවයට සහභාගි වූහ.

සල්මන් ඛාන්ට උත්සවයට සහභාගිවීමට නොලැබුණත් ඔහු දෙදෙනාට සොඳුරු චාරිකාවකට විශේෂ පැකේජ තිළිණයක් පිරිනැමුවේය. විවාහයෙන් පසු ජෙනේලියා හා රිතිෂ් ක්‍රිකට් ලීගයේ වැඩ කටයුතු නිසාත් කාර්යබහුල වී සිටිති. දෙදෙනා මධුසමය ගත කිරීමට සිතා සිටින්නේ මාර්තු මාසයට පසුවයි.


බච්චන්ට සැත්කම් දෙකක්

තිරයේදී ඔවුන් මවා පාන්නේ බොරුවක් නොවෙයි. ඔවුන් අපේ හදවතට මෙතරම් සමීප වෙන්නේ සැබැවින්ම රඟන චරිතවල ජීවත් වෙන නිසයි. ඒ නිසාම මේ අයට භයානක අත්දැකීම්වලට පවා මුහුණ පෑමට සිදු වෙයි. ඒවා බොහොමයක්ම ප්‍රේක්ෂකයන්ට හොර රහසේ සිදුවන දේයි. එහෙත් මීට තිස් වසරකට පෙර ‘කුලී’ රූගත කිරීමේදී අමිතාබ් බච්චන් මුහුණ දුන් මාරාන්තික අනතුර නම් කොයි කවුරුත් දන්නා හද පාරවන අත්දැකීමකි.

‘කුලී’ (1982) අනතුර වරින් වර ඔහුගේ ජීවිතයට වේදනාකාරී ලෙස බලපාන්නේ යළි යළිත් මතු වෙන රෝගාබාධ නිසයි. පසුගිය සෙනසුරාදා දිනයේදී, මූම්බායි සෙවන් හිල්ස් රෝහලේදී මේ මෙගා තරුව පැය පහක සැත්කමකට ලක් කරන ලදී. නැවත ඔහු බ‍්‍රහස්පතින්දා රාත්‍රියේ යළි සැත්කමකට ලක් කෙරුණේ මෙගා තරුවගේ ඉක්මණින් රෝහලෙන් පිටවීමේ සිහිනය බොඳ කරමිනි. බච්චන් හර්නියා තත්ත්වයෙන් පීඩා විඳි නිසා මෙසේ සැත්කමට ලක් කර ඇත.

2005 දීත්, 2008 දීත් ඔහුට ‘කුලී’ අනතුරින් ඇති වූ සංකූලතා හේතුවෙන් සැත්කම්වලට ලක්වීමට සිදු විය.

බිරිය ජයා සහ දියණිය ස්වේතා අමිතාබ්ට සත්කාර කරමින් ඔහු අසලම සිටිති. ඓශ්වර්යයා, බෙටී බී සමඟ බච්චන්ගේ සුව දුක් බැලීමට පැමිණියහ. පසුගිය වසරේ ඈෂ්, බෙටී බී ප්‍රසූත කළේත් මේ රෝහලේදීමය.

හැට නව හැවිරිදි වුවත් තවමත් රංගනය නිසා අවිවේකී බච්චන්ට සැත්කම නිසා සෑහෙන කාලයක් විවේකයෙන් සිටීමට සිදුවනු ඒකාන්තය. ෂාරුක් ඛාන්, දිලිප් කුමාර්, ප්‍රියංකා චොප්රා, ලාරා දත්තා ට්විටර් වෙබ් අඩවිය හරහා බච්චන්ට ඉක්මන් සුව පතා තිබේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව