මුලින් මඩොල් දූවට පසුව කැනඩාවට

කො ළඹ ආනන්දයේ තාප්පයෙන් පැන මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අමරණීය ළමා නවකතාව මඩොල්දූව ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් තැනූ සිනමාපටයෙහි ‘උපාලි ගිනිවැල්ලේ’ නම් ප්‍රධාන චරිතය මවමින් රංගනයට අවතීර්ණ වූ අජිත් ජිනදාස සිය මුල්ම චිත්‍රපටයෙන්ම කැපී පෙනුණු අයකු බවට පත් විය.

අනතුරුව අප සිනමා කිවිඳිය වන සුමිත්‍රා පීරිස් නිර්මාණය කල මුල්ම චිත්‍රපටය වූ ගැහැනු ළමයි හි නිමල් හතුරුසිංහ වීමට භාග්‍ය ලද්දේය.

මඩොල්දූවේ දර්ශනයක්

රෝසි, ජය සිකුරු, යුක්තිය ද ශක්තිය ද, ඡායා මායා ඇතුළු යසපාලිත නානායක්කාරගේ චිත්‍රපට ගණනාවකම චරිත මැවූ අජිත් ඉරට හඬන මල්, වෙස් තට්ටුව, බොල් පොළව, හිම කුණාටුුව වැනි ටෙලි සිතුවම් රැසක සිය හැකියාව විකසිත කරමින් පුංචි තිරයට එක් විය.

වේදිකාවෙහි වැනීසියේ වෙළෙන්දා, දොළොස් වැනි රාත්‍රිය, තට්ටු ගෙවල්, සිහින සාප්පුව, මායා දේවි, පුත්‍ර සමාගම යනාදී රසික මනසින් කිසි දිනෙක අමතක නොවන වේදිකා නාට්‍ය ගණනාවක ද සිටිමින් රංගනය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තේය.

වෘත්තීමය රංගන ශිල්පියකු ලෙස කාලය ගත කරමින් ජනප්‍රියත්වයේ ද ඉහළ මට්ටමක සිටිය දී අජිත් හදිසියේම විදේශ ගත වුණේය. වසර 17 ක් කැනඩාවේ පදිංචිව සිිටි ඔහු කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ සිටින බවට සරසවියට දැනගන්නට ලැබිණ. ඒ අප හිතවත් නළු ප්‍රභාත් වීරසිංහ හරහාය. ඔහු සමඟ කළ සාකච්ඡාවක සටහනක් මෙලෙස සරසවිය පිටු අතරේ දිග හැරෙයි.

ඔබ හදිසියේම විදෙස් ගතවීම කාටත් කුතුහලයක්?

මං විදෙස් ගත වෙන්න හේතු කිහිපයක් බලපෑවා. අප රටේ පැවති යුද වාතාවරණය එකක්. අනූව දශකයේ අග භාගය වන විට ටෙලි නාට්‍ය ටිකක් වැඩිපුර හැදෙන්න පටන් ගත්තා. සමහරක් ෆිල්ම් කළෙත් ටෙලි නාට්‍ය මොඩල් එකට. ෆිල්ම්වල කොලිටිය අඩු වුණා. ඒත් සමඟම වෘත්තීය රංගන ශිල්පීන්ගේ හැකියාවන්ද මොට වෙන්නට පටන් ගත්තා. මං හම්බ කලේ රඟපාලා.

මේ තත්ත්වයන් මත මටත් රංගන ශිල්පියකු වශයෙන් නොකළ යුතු දේවල් කරන්න සිදු වුණා. ආශ්‍රය නොකළ යුතු පුද්ගලයින් ඇසුරු කරන්නට හුරු වුණා. ටික කලක් ඔහොම ගත වෙද්දී මටම තේරුණා මටම මම කර ගන්නා බොරුව. මං රංගනය පිළිබඳ හැදෑරුව කෙනෙක්. එහෙයින් කැමරාව ඉදිරියේ බොරු කරන්න මට බැරි වුණා. අපේ ගණන් හිලව් අඩු වෙන්න පටන් ගත්තා.

ඉතින් මට හිතුණා මේවායින් මිදෙන්න. මට ආලෝකයක් සපයපු රංගනයෙන් අකැමැත්තෙන් ඉවත් වෙලා සාමාන්‍ය මිනිසෙකුª පරිදි මගේ නෑ හිතවතුන් ඉන්න කැනඩාවට ගියේ ඒකයි. මගේ ඒ හදිසි ගමන මගේ සමීපතම අයට පවා දන්වන්න මට බැරි වුණා.

කැනඩාවේදී කොහොමද ඔබේ ජීවිතය ගෙවුණේ?

ලංකාවට රංගන ශිල්පියකු වුණත් කැනඩාවේදී මං සාමාන්‍ය කෙනෙක්. මං මුලින්ම මගේ මානසිකත්වය එයට ගැළපෙන්න හදා ගත්තා. බොහොම සාමාන්‍ය රැකියාවක් කළා.

රංගන කටයුතුවල යෙදුණේ නැහැ වගෙයි?

එහෙදි මං රංගන කාර්යයන්ට සහභාගී වුණේම නැති තරම්. ඒත් පරාක්‍රම නිරිඇල්ල එහෙ ආපු වෙලාවක මට කෙටි නාට්‍යක් හදලා දෙන්න කිව්වා එහෙ තිබුණු උත්සවයකට.

මෙහෙ ගත කරපු ජීවිතය ගැන එහෙදි දුකක් එහෙම හිතුණේ නැද්ද?

මං කලින් කිව්වේ හිත හදාගෙන මං ගියේ කියලා.

අපි නැවතත් ගිහින් එමුද මඩොල් දූවට?

අනේ මට ආයේ ආයේ මතක් කරලා බොහොමත් ප්‍රීති වෙන්න පුළුවන් චිත්‍රපටයක් ඒක. සරසවිය පුවත්පතේ ලෙස්ටර් සර් අලුත් ළමයි හොයලා දාපු දැන්වීමකට නිකමට ලිපියක් යොමු කරලයි මට ඒ අවස්ථාව ලැබුණේ.

එතකොට මට රඟපාන අදහස තුන් හිතකවත් තිබුණේ නැහැ. මඩොල් දූව ග්‍රන්ථය මං විසි තිස් වතාවක් කියවලා ඇති. ඒත් එය කවදා හරි චිත්‍රපටයකට නැගුවොත් මං එහි උපාලි ගිණිවැල්ල වේවි යැයි හීනෙකින්වත් හිතන්න අවස්ථාවක් තිබුණේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් මං ලෙස්ටර් සර්ට ලියුම දැම්ම තැන ඉඳලා චිත්‍රපටය රූගත කිරීම නිමා වන තැන දක්වා සොඳුරුම සිහිනයක්.

මං කොළඹ කෙනෙක් නෙවෙයි. රත්නපුර ඇළපාත කියන බොහොම දුර බැහැර පෙදෙසක ඉඳලා ශිෂ්‍යත්වයකට ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන්න ලැබුණේ. ඉන් පසුව මෙවැනි චිත්‍රපටයකට රඟපාන්න අවස්ථාවක් හිමි වීම අපේ හත්මුතු පරම්පරාවටම ආඩම්බරයක් හැටියට මං සලකනවා.

ඒ වගේම මං ලෙස්ටර් සර්ට ලියමන යවලා ඔහු මට එවපු පිළිතුරු ලිපිය ටයිප් කරපු එකක්. ඒ කාලයේ ටයිප් කරපු ලිපියක් හොයා ගන්නවත් අමාරුයි. මං ඒක කාටවත් පේන්නේ නැති තැනක හංගලා දැම්මා. මන්දයත් එවැනි උත්තමයකු එවපු ලියුමක් මං ළඟ තියනවා දැක්කොත් ඒක බොරුවක් කියලා කවුරු හරි කොලොප්පං කරයි කියලා.

කොහොමද පළමු රූගත කිරීමේ අත්දැකීම?

ලෙස්ටර් සර් අපිට මුකුත්ම කියලා දුන්නේ නැහැ. නිකම් ඔහේ රඟපාන්න කැමරාව ඉස්සරහට දැම්මා. අපිත් නොදන්නකමට රඟපෑවා.

පසුකාලිනව ඔබ තවත් ප්‍රබල භූමිකාවක් රඟපානවා. ඒ ගැහැනු ළමයි හි නිමල්?

එහි රඟපානවා දැකලා ලෙස්ටර් සර් මරු කතාවක් කිව්වා. ‘අජිත් ඔබ මඩොල් දූවෙ උපාලි ගිනිවැල්ලේ ලෙස රඟපෑවා වගේ කවදාවත් රඟපාන්නේ නැහැ. මොකද ඔයා එතකොට ඇක්ටිං දන්නේ නැහැ. ඒත් දැන් ඇක්ටිං දන්නවා. ඔයා කැමරාව ඉදිරියේ දැන් රඟපානවා කියලා.

අපි නැවතත් වර්තමානයට එමු. දැන් යුදමය වාතාවරණය නැහැ. රට සංවර්ධනයෙන් ඉදිරියට යනවා. ආයේ ලංකාවට ස්ථිර පදිංචියට එන්න අදසක් තිබෙනවාද?

තවම නැහැ. මනෝරත්නලා ඇතුළු 80 දශකයේ විරාජමාන වුණු අය එකතු කොට තැනූ 80 වේ කණ්ඩායමේ මං ඉන්නවා. ඒ වේදිකා නාට්‍ය ටික යළි කරමු යැයි ඒ අය යෝජනා කරමින් ඉන්නවා. ඒ සමඟම නාලන් මෙන්ඩිස්ගේ දූවරු නාට්‍යයට ඇරැයුම් ලැබුණා. අද හෙට රට යන නිසා ඒකත් භාර ගත්තේ නැහැ. එවැනි ඇරැයුම් මාව මෙරට තියාගන්න හැදුවත් තවම එහෙ සෙට්ල් කරලා ආවෙ නැති නිසා ඉක්මනින් යන්න ඕනේ.

ඔබ මෙරට නොසිටි කාලය තුළ තවත් පරපුරක පැමිණීම සිදු වුණා. ඒ අය ගැන මොනවද කියන්න තියෙන්නේ?

පහුගිය කාලේ පුරාම මං නාට්‍ය බැලුවේ නැහැ. ඒ නිසා ඔවුන් පිළිබඳ යමක් කියන්න අමාරුයි.

ඔබව කවුරු හෝ සම්බන්ධ කර ගැනිමට අවශ්‍යතාවයක් ඇති වුණොත්?

33 Noranda Dr
Northyork on M6M2x8
ලිපිනයෙන් හෝ [email protected] යන විද්ත් ලිපිනයෙන් පුළුවන්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව