සුසුදු සරා සඳ හෙට 9 ට සිරසින්

දස දහස් ගණනක රෝගීන්ට ජීවකයකු ලෙසින් නීරෝගී බව නම් පරම ලාභය අත්කර දුන් ඔහු කොළඹ ජාතික රෝහලේ උදර ආන්ත්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර රනිල් ජයසේන.

‘සඳ කිරන ගලා තුරුලිය අතරින්

තණ නිල්ල පුරා ඇඳි සෙවණැල්ල යට

අපි සැඟවෙන කොට ලොවට හොරෙන්’

එදා මේ ගීතය බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ රැව් පිළිරැව් දුන්නේ වෛද්‍ය රනිල් ජයසේනගේ ළගන්නා සුළු හඬිනි. වෛද්‍ය රනිල් ජයසේනගේත්, බිරිඳ මාධනී ජයසේනගේත්, දියණිය හිරුෂි ජයසේනගේත් ගී රාවයෙන් හැඩවුණු ‘සුසුදු සරා සඳ’ සංගිත සැන්දෑවේ මිහිරියාව විඳගන්න මේ මස 24 සිකුරාදා රාත්‍රී 9.00 සිරස නරඹන්න. නවරත්න ගමගේ ගේ සංගීත රිද්මයෙන් හැඩවෙන සුසුදු සරා සඳ ගී ප්‍රසංගය සඳහා නිරෝෂා විරාජිනි, ජගත් වික්‍රමසිංහ, මරියෝ ආනන්ද, නෙලූ අධිකාරි, කිත්සිරි ජයසේකර, දයාන් විතාරණ හා කසුන් කල්හාර සිය ගායනයෙන් ගී හඬ මුසු කළා. ගී හඬින් ඔබ මුසපත් වෙද්දී ඔබේ නෙත් පිනවන්නේ සුරාජ් මාපා, උපේකා ගංගොඩවිල, හිමාලි සයුරංගි, නුවන් ගුණසේකර සහ වත්සලා දියලගොඩ ගේ රංගන රටාවෙන්.


දෙරණ සඳුදා සිට හිරු දහසක් යට

සම්භාවනීය දීර්ඝ ටෙලි නාට්‍ය කලාවේ ආරම්භය පෙබරවාරි 27 වන සඳුදා රාත්‍රී 8.30 ට ටී. වී. දෙරණ ඔස්සේ ‘හිරු දහසක් යට’ ටෙලි වෘත්තාන්තය සනිටුහන් කරන්න සූදානම්.

‘හිරු දහසක් යට’ ලක්ෂ්මන් පුෂ්පකුමාර ගේ තිර රචනයක් සහ නිෂ්පාදනයක්.

නිල්මිණි තෙන්නකෝන්, ජනක කුඹුකගේ, චින්තක කුලතුංග, ජී. ආර්. පෙරේරා, උපාලි කීර්තිසේන, මියුරි සමරසිංහ, සමදරා ආරියවංශ, දයාසිරි හෙට්ටිආරච්චි, හැරී විමලසේන, රහල් බුලත්සිංහල, ශ්‍රියානි මහවත්ත, විමල් සිරිමාන්න, චමින්ද වික්‍රමසිංහ, අජිත් නිශාන්ත, රාජරත්නම් කිංස්ලි සහ ළමා නළු සෙනිත් සත්විරු රංගනයෙන් දායක වන ‘හිරු දහසක් යට’ නිශාන්ත ප්‍රදීප්ගේ කැමරාකරණයක්. සහය අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාර, සංස්කරණයෙන් චන්දන ලියනගේ, කලා අධ්‍යක්ණයෙන් හසින්ත ප්‍රියලාල්, වේශ නිරූපණයෙන් නාරද ධනංජය තොටගමුව, සංගීත නිර්මාණයෙන් ශාන්ත ජයලත් තිසේරා සහ ගීත රචනයෙන් කුලරත්න ආරියවංශ සිය කාර්යභාරය නොපිරිහෙළා ඉටු කළේ වඩාත් සාර්ථක ටෙලි නිර්මාණයක් ඔබ හමුවට ගෙන ඒමේ අරමුණින්. ‘හිරු දහසක් යට’ ජයලත් පීරිස්ගේ නිෂ්පාදනයක්.


මෙවර ටෙලිනිස බුහුමන්

ටෙලි නිර්මාණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙහෙවරක යෙදෙන ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සිය දහ අට වෙනි සංවත්සර උළෙල ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. බී. ගනේගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.

එදින මහාචාර්ය තිස්ස කාරියවසම්, ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනී සහ ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය රංගධර සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන් ගරු සාමාජික සම්මානයෙන් පිදුම් ලැබුවෝය.


රොජර් ගේ පියා මිය යයි

රොජර් සෙනෙවිරත්නගේ දයාබර පියාණන් වූ රියෙන්සි ස්ටීවන්වොල් සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 84 වැනි වියෙහි පසු වූ ඒ මහතා වරාය අධිකාරියේ විශ්‍රාමික නිලධාරියකි. ඔහුගේ අවසන් කටයුතු ඉකුත්දා බොරැල්ල කනත්තේ දී සිදු විය.


සුනිල් සරත් බිරිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීනතම ගීත රචකයකු මෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ, ලේඛකයකු ද වූ සුනිල් සරත් පෙරේරාගේ ආදරණීය බිරිය, සරෝජනී හේමලතා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට වයස අවුරුදු 64 ක් වූ ඇය සිව් දරු මවකි.

ඇයගේ අවසන් කටයුතු ඉකුත් දා බොරැල්ල කනත්තේදී සිදු විය.


හින්දි ගී ප්‍රසංගයක් ඉරිදා

පැරැණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයට වසර දහයක් පිරීම නිමිත්තෙන් පැරැණි හින්දි ගීත ඇතුළත් ප්‍රසංගයක් සහ වටිනා පැරැණි ග්‍රැමෆෝන් තැටි, ගීත පොත් ප්‍රදර්ශනයක් එළඹෙන ඉරු දින උදෑසන 9.00 ට කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේද පැවැත්වෙයි. සංගීතය සරත් ද අල්විස් මෙහෙයවයි.


කවරයේ කතාව

මෙවර සරසවිය කවරය හැඩ වන්නේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පිනියක වන දිල්හානි අශෝකමාලා ගේ රුවිනි. දේදුන්නෙන් සමනළියක් සිනමා පටයෙන් රංගනයට පිවිසි ඕ මේ වන විට රිදී තිරය පමණක් නොව පුංචි තිරය ද සිය රංගන ප්‍රතිභාවෙන් හැඩ කරන්නීය.

භාර්යාවෝ ටෙලි සිතුවමෙන් සතියේ දිනවල ඔබ හමුවට එන දිල්හානිගේ රංගනයන් ගාමනී, තෑන්ක් යූ බර්ටි සිනමාපට ඔස්සේ ද ඔබට දැකගත හැකියි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව