ලින්කන් ඝාතන කුමන්ත්‍රණය

සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය කෙරෙන ලිපි මාලාව - 47

සැකකරුවන් අතර කාන්තාවක්

එල්ලුම් ගසට ගිය මේරි නිවැරදිකාරියක්ද?

මේරි ගේ නේවාසිකාගාර ගොඩනැඟිල්ල

මේරි හා අනෙක් කුමන්ත්‍රණකරුවන් එල්ලා මරා දැමුණ අයුරු
මේරි සුරට්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්, හිටපු උප ජනාධිපති හා හිටපු රාජ්‍ය ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලින්කන් ඝාතනයෙන් පසු අට දෙනකු අත් අඩංගුවට ගැනිණි.

ඒ අට දෙනා අතරට මේරි සුරට් නමැති කාන්තාවක ද එක්ව සිටියාය. ජෝන් විල්ක්ස් බූත් නමැති ඝාතකයාත් අනෙක් අයත් එක්ව ඝාතනය පිළිබඳ කුමන්ත්‍රණය කර තිබුණේ මේරිට අයත් නේවාසිකාගාරයේ සිටය.

මේරි එලිසබෙත් ජෙන්කින්ස් සුරාට් දකුණු දිග මේරිලන්ඩ්හි වෝටර්ලු නගරාසන්නයේ පිහිටි දුම්කොළ ගොවිපොළකදී උපත ලැබුවේ 1823 මැයි මාසයේ දිනෙකය. ඇගේ උපන් දිනය පිළිබඳ ද විවිධ මත තිබේ. සමහර අය පවසන්නේ ඇය උපන්නේ 1820 දී කියාය. සොයුරන් දෙදෙනකු ද ඇයට සිටි අතර 1925 දී ඇගේ පියා මිය යන විට ඇයගේ වයස අවුරුදු දෙකක් හෝ පහක් වන්නට ඇත. රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයක නේවාසිකව උගත් මේරි පාසලෙන් ඉවත් වූයේ 1839 දීය.

එම වසරේදීම ඇයට ජෝන් හැරිසන් මුණ ගැසිණි. ඒ් වන විට ජෝන්ගේ වයස අවුරුදු 26 ක් විය. මව්පියන් නොමැති අනාථ දරුවකු වූ ඔහු හැදුණේ වැඩුණේ වොෂිංටනයේ ධනවත් යුවළකගේ සෙවණේය. ඔවුහු ඔහුට ගොවි පොළක් උරුම කර දී තිබිණි. 1840 දී ජෝන් හා මේරි විවාහ වූහ. ඊළඟ වසර පහ ඇතුළත මේරි දරුවන් තිදෙනකුගේ මවක වූවාය. ඉසාත්, එලිසබෙත් හා ජෝන් (කනිෂ්ට) එම දරු තිදෙනා වූහ.

මේරි ආගමික කටයුතුවලට දැඩිව නැඹුරුව සිටි අතර ජෝන් බීමත්කමට ඇබ්බැහිව සිටියේය. බීමත් වූ පසු ඔහුගේ හැසිරීම ඉතා ප්‍රචණ්ඩකාරී විය.

තම දේපොළ විකුණා දැමූ ජෝන් ඒ මුදල්වලින් වොෂිංටනයේ මහල් නිවසක් මිලට ගෙන එහි මත්පැන් හලක් හා හෝටලයක් පවත්වාගෙන ගියේය. 1861 අප්‍රේල් 2 දා අමෙරිකාවේ සිවිල් යුද්ධය ආරම්භ විය. අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඒබ්‍රහම් ලින්කන් දිවුරුම් දුන්නේ ඊට මසකට පමණ පෙර මාර්තු 4 දාය.

1862 අගෝස්තු 26 දා ජෝන් මිය ගියේ හෘදයාබාධයකට ලක්වීමෙනි. මේරි මහත් අඟ හිඟකම්වලට මුහුණ පෑවාය. ඉතිරිව තිබූ ජෝන් ගේ දේපොළ විකුණා දැමූ ඇය 1864 දී වොෂිංටනයෙන් මහල් නිවසට පැමිණියේ නේවාසිකාගාරයක් පවත්වා ගෙන යන බලාපොරොත්තුවෙනි.

ඒ සඳහා ඇයට බාල පුතු ජෝන් ගේ ද සහාය ලැබිණි. 1864 දෙසැම්බර් 22 දා සැමුවෙල් මඩ් නමැති වෛද්‍යවරයා ජෝන්ට හඳුන්වා දුන්නේ ජෝන් විල්ක්ස් බූත් නමැත්තෙකි. මේ වන විට අමෙරිකාවේ ඔත්තු සේවා මේරි හා පවුලේ අය හඳුනාගෙන සිටියේ පවතින රජයට විරුද්ධ මත දරන අය ලෙසිනි.

බූත් ජෝන්ට පැවසූයේ ජනාධිපති ලින්කන් පැහැර ගෙන යාමේ කුමන්ත්‍රණයක් පිළිබඳය. ඊළඟ මාස කිහිපය ඇතුළත බූත් හා තවත් අය නේවාසිකාගාරයට පැමිණ කුමන්ත්‍රණ කටයුතුවල යෙදුණාහ. මේ සියල්ල මේරිට රහසක් වූයේ නැත.

සමහර අවස්ථාවන් හි දී බූත් නේවාසිකාගාරයට පැමිණියේ මේරි ගේ ඇරැයුම් පරිදිය. කුමන්ත්‍රණයට හවුල් වූවන්ගෙන් දෙදෙනෙක් කෙටි කලක් නේවාසිකාගාරයේ ලැගුම් ගෙන සිටියහ.

ලින්කන් ඝාතනය සිදුවීමෙන් පසු පොලීසිය නේවාසිකාගාරයට පළමුව පැමිණියේ මේරි ගේ පුතු ජෝන් හා විල්ක්ස් බූත් සොයාය. පසු අවස්ථාවකදී පැමිණ නේවාසිකාගාරය පිරික්සද්දී පොලීසියට මේරි ගේ කාමරයේ තිබී බූත්ගේ සේයාරුවක් හමු විය.

එපමණක් නොව අනෙක් කුමන්ත්‍රණකරුවන්ගේ සේයාරූ ද, පිස්තෝලයක් ද පොලීසිය සොයා ගත්තේය. ලින්කන් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ සැකකාරියක ලෙස මේරි අත් අඩංගුවට ගැනුණේ ඉන් පසුවය.

කුමන්ත්‍රණකරුවන්ට එරෙහි නඩු විභාගය 1865 මැයි 9 දා ඇරඹිණි. එය අවසන් කෙරුණේ ජූනි 28 දාය. මේරි සුරට් 1865 ජූලි 7 දා ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තීන්දු කෙරිණි. මේරි ගේ දියණිය එලිසබෙත් තම මවට සමාව දෙන ලෙස ඉල්ලා ඇන්ඩෲ ක්ලෙමන්සි ජනාධිපතිවරයාට අභියාචනා ඉදිරිපත් කළාය.

නීතිවේදීන් හා විනිසුරුවන් ඉල්ලා සිටියේ මේරි ගේ මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් කරන්නට කියාය. බන්ධනාගාරයේ සිට මේරි සැමට කීවේ තමා නිවැරදි කාරියක බවය.

කෙසේ වෙතත් දඬුවමේ වෙනසක් සිදු නොවූ අතර තීන්දුවට අනුව මේරි සහ අනෙකුත් කුමන්ත්‍රණ කරුවන් වූ ලුවිස් පොවෙල්, ඩේවිඩ් හෙරල්ඩ් හා ජෝර්ජ් ඇට්සර්ඩොට් එල්ලා මරා දැමිණි.

මේරි මරා දැමීමෙන් කලක් ගත වූ පසු පවා බොහෝ දෙනා විශ්වාස කළේ ලින්කන් ඝාතනය සම්බන්ධයෙන් ඇය නිවැරදි කාරියක බවය. මේරි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆෙ‍්‍රඩ්‍රික් අයිකෙන් යුද විරුවකු ද වූ අතර ඔහු සාක්ෂි සොයා ගත්තේ මේරි නිවැරදිකාරිය බව හැඟවෙන පරිදිය.

ඔහු උසාවියේදී කියා සිටියේ නියම අපරාධකරුවන් මේරි සහ ඇගේ පුතු ජෝන් ඇමවල් ලෙස භාවිත කර ඇති බවය. පසුව අත් අඩංගුවට ගැනුණ ජෝන් චෝදනාවලින් නිදහස ලැබුවේය. ජෝන් පසු කලෙක වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කර්තෘ ධූරය ද දැරුවේය.

මේ ඓතිහාසික නඩු විභාගයට අදාළව එලිසා ඈන් ඩුපුයි ලියූ ‘කොන්ස්පිරේටර්’ නවකතාව ඇසුරෙන් රොබට් රෙඩ්ෆෝඩ් නිර්මාණය කළ එනමින්ම යුත් චිත්‍රපටය 2010 වසරේදී තිරගත වූයේය.

නීතිඥ අයිකෙන් ලෙස ජේම්ස් මැකවොයි ද, මේරි ලෙස රොබින් රයිට් ද රඟපෑ එහි ජස්ටින් ලෝන්ග්, නෝර්මන් රීඩස්, කෙවින් ක්ලයින්, ස්ටීවන් රූට් වැනි අය ද චරිත නිරූපණය කළහ.

ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ‘කොන්ස්පිරේටර්’ චිත්‍රපටය වෙත ලැබුණේ මිශ්‍ර ආකාරයටය. ඩොලර් ලක්ෂ 250 ක වියදමින් තැනූ චිත්‍රපටය ලැබූ ආදායම ඩොලර් ලක්ෂ 110 ඉක්ම වූයේ නැත.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව