ලංකාවේ ජනප්‍රියම නළුවා වෙන්නට සිහින මවන තිහාරියේ සඳරුවන්ට උපේක්සාගෙන් කදිම උපදෙසක්

‘ආදරණීය උපේක්ෂා’

ජීවිතය රෝස මල් යහනාවක් නොවේ. එය කාටත් පොදු කරුණක් වන්නේය. රෝස මලක් වුව ද සුපුෂ්පිතව දසත සුවඳ විහිදුවා ලන්නේ කටු පිරි නටු අග බව අමතක නොකළ යුතුය.

දුක් කම්කටොළු, වැරැදීම් මතින් ගොඩ නැගෙන බොහෝ ජීවිත ස්ථිරසාර අනාගතයකට පාදම සකසා ගන්නේ ජීවිත තක්සලාවෙන් ලද නොයෙකුත් අත්දැකීම් නිසාමය. ‘ආදරණීය උපේක්ෂා’ තුළින් ඔබ හමුවට එන උපේක්ෂා ජීවිත අභියෝගයන්ට අභියෝගයක් වූ යෞවනියකි. තමා ලද වේදනාබර අත්දැකීම් හමුවේ ඇගේ නෙතින් ගිලිහුණු කඳුළු පිසින්නට තනියට සිටියේ ඇගේ මව පමණි. එහෙත් ඇය කෙදිනකවත් පසු බැස්සේ නැත. ඔබේ දැවෙන හිතට සිහිල් දිය පොදක් ඉසින්නට සරසවිය ඔස්සේ ඇය එක් වන්නේ එහෙයිනි. මෙවරත් ඇය ඔබේ කඳුළු පිසලන්න ළෙන්ගතුව සූදානම්.

අක්කේ, මම හරිම සංවේදී කෙනෙක්. බොහෝ වෙලාවට මං ගැනත් නොසිතාම අනිත් අයට උදව් කරනවා. අනේ 1 ඒත් ගොඩාක් වෙලාවට කොච්චර උදව් කළත් අවසානයේ මට නොයෙකුත් කරදරවලට මුහුණ දෙන්න වෙනවා.

සොනාලි - බද්දෙගම

නංගි ගැන එක පැත්තකින් මට ගොඩාක් සතුටුයි. මොකද නංගි වගේ අය අද සමාජයේ ගොඩාක් නැති නිසා. බොහෝ දෙනෙක් කරදරයකදී මග ඇරලා යනවා. ඒත් නංගි එහෙම කෙනෙක් නෙවේ කියලා මට පෙනෙනවා. කොහොම වුණත් අපි උදව් කරන පුද්ගලයා ගැන අවබෝධයක් අපිට තිබිය යුතුයි. ඔයා යමක් කරන්නේ යහපත් සිතුවිල්ලකින්. ඒ නිසා ඒ ගැන හිතලා හිත හදා ගන්න. මේ ලෝකේ පින් පව් කියලා දෙයක් තියෙනවා. ඒ නිසා හිත ශක්තිමත් කරගෙන ජීවිතේට මුහුණ දෙන්න. ඔයාට කවදාවත් වරදින එකක් නෑ නංගෝ.

මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙක් අක්කේ, අපි ගොඩාක් දුප්පත්. ඒත් කොච්චර අඟ හිඟකම් තිබුණත් මම ඉගෙනීම් වැඩ කරන්නේ හරිම අසාවෙන්. ඒත් අක්කේ අපේ තාත්තා හැමදාම රෑට මත්පැන් බීලා ඇවිත් අම්මාටයි අක්කාටයි පහර දෙනවා. සමහර දවස්වලට මටත්. අනේ අක්කේ මට හිත හදාගෙන පාඩම් කරන්න බෑ.

කසුන් මධුශංක - හොරොව්පතාන

මොන ප්‍රශ්න තිබුණත් ඔයාගේ ඉගෙනීම නම් අතරමගදී කඩාකප්පල් කරගන්න එපා. අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යන්න. එය අනාගතයේදී ඔයාගේ ප්‍රශ්නවලට හොඳම විසඳුම් ලබා දේවි.

මම 2013 දී විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. නමුත් මම උසස් පෙළ සඳහා විද්‍යා විෂය තෝරා ගත්තේ වැඩිහිටියන්ගේ කැමැත්තට මිස මගේ කැමැත්තට නම් නොවේ. මගේ කැමැත්ත වුණේ කලා අංශයෙන් උසස් පෙළ කරන්න. ඇත්තම කිව්වොත් අක්කේ මට විද්‍යා විෂය ධාරාව වහ කදුරු වගේ. මට දැන් ඉගෙනීමත් එපා වෙලා.

තිසුරි මල්ෂිකා - මීරිගම

ඔයාගේ අනාගතය සාර්ථක කර ගන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඔයාට පුළුවන් නම් නංගි, පළමුවර විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න. විභාග ප්‍රතිඵල අනුව වැඩිහිටියන් එක්ක නැවතත් සාකච්ඡා කරලා කලා අංශයෙන් දෙවන වර විභාගය කරන්න. ඇත්තටම උසස් පෙළ විභාගයේදී ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ ශිෂ්‍යයා කැමැති විෂයන් තෝර ගන්න මිස මව්පියන් කැමැති දේට නෙවෙයි.

අපේ ප්‍රේම සබඳතාවයට දැනට වසරක් පමණ වෙනවා. ඇය රැකියාව කරන්නේ නුවර. මම සේවය කරන්නේ කොළඹ පෞද්ගලික සමාගමක. කාර්යාලයේ තරුණියක්ව මිතුරියක් ලෙසින් මම බොහෝම සමීපව ඇසුරු කළා. නමුත් අපටත් නොදැනීම අපේ මිතුදම ආදරයකට පෙරළිලා. මට මාවම තේරුම් ගන්න බෑ.

අසංක

කොට්ටහච්චි – කැස්බෑව

ඔබ බොහොම දුර්වල කෙනෙක්. ඔක්කෝටම කලින් අවංක වෙන්න. ඔයා නොකිව්වත් කවදා හරි ඇත්ත එළිවෙනවා. ඒක නිසැකයි. ඒ නිසා දෙන්නටම ඇත්ත කියන්න. පෙම්වතිය අහිමි වුණත් ඔයා ඇත්ත කිව්වා කියලා හිත හදා ගන්න පුළුවන්. මල්ලී, ඔයා තීරණය කරන්න ඕන කාටද අවංකවම ආදරේ කියලා. අපි කාටවත් එකවර දෙන්නෙක්ට ආදරය කරන්න බෑ. ඔයාගෙන් මම ඉල්ලන්නේ ගෑනු ළමයින්ට බොරු කරන්න නම් එපා කියලයි.

අක්කේ මම හරිම ආසයි රඟපාන්න. මම සමහර දවස්වල ක්ලාස් කට් කරලා ටෙලි නාට්‍ය රූගත කිරීම් බලන්න යනවා. මට කවදා හරි ලංකාවේ ජනප්‍රියම නළුවා වෙන්න ඕනෑ.

සඳරුවන් – තිහාරිය

ජනප්‍රියම රංගන ශිල්පියා වෙන්න නම් හැකියාව වගේම වාසනාවත් අත්‍යවශ්‍යයි. හැබැයි සඳරුවන්, ජීවිතයේ සියලුම දේවල් කැප කරලා නම් රඟපාන්න එපා. රංගනය විනෝදාංශයක් ලෙස හෝ පාර්ට් ටයිම් දෙයක් විදිහට කළාට කමක් නෑ. තමන් දායක වෙන පළමු නිර්මාණය ඔස්සේ තමන්ට ලැබෙන ප්‍රතිචාර අනුව ඔබ රංගනය සඳහා කාලය වෙන් කර ගන්න.

අක්කේ මගේ වයස අවුරුදු 28 යි. මගේ හොඳම මිතුරිය ප්‍රේම සබඳතාවක් මත විවාහ වුණා. එත් මේ වන විට ඇය පවුල් ජීවිතය තුළ නොයෙකුත් කරදරවලට මුහුණ දෙනවා. ඇය විවාහයට පෙර මා සමඟ කාලය ගත කළේ හරිම නිදහසේ. මම නම් තවමත් සමනළියක් වගේ ඉන්නවා. මගේ මිතුරිය ලබන අත්දැකීම නිසා මට විවාහ වෙන්න බයයි.

ඉනෝකා මධුරභාෂිණී - පානදුර

තවත් කෙනෙක්ගේ ජීවිතය ඇසුරින් අපේ ජීවිතේ අනාගතය අනුමාන කරන්න බෑ. නමුත් අපිට ඒ අයගේ ජීවිත ඇසුරෙන් අපේ ජීවිතය හදා ගන්න පුළුවන්. ඔබගේ මිතුරියගේ පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති වෙන්න හේතුව මඳක් විමසා බලා එවැන්නක් ඔබේ ජීවිතය තුළදී සිදු නොවන්න වග බලා ගන්න. එකිනෙකා හොඳින් තේරුම් ගෙන විවාහයට පෙරටත් වඩා සතුටින් ජීවත් වන අය ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා.

මම උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක්. අපේ වත්තේ මායිමට හැමදාම අපේ පවුලේ උදවිය හා අසල්වැසියන් අතර රණ්ඩු ඇති වෙනවා. ඒ අයගෙන් මටයි, නංගිටයි කරදරයක් වේවි කියලා අම්මත් හරිම බයෙන් ඉන්නේ. මේ සිද්ධිය මට මානසික වදයක්.

සුරනි සුල්තානාගොඩ -

දෙණියාය

අසල්වැසියන්ගෙන් ඔයාලට කරදරයක් වේවි කියලා හිතෙනවා නම් ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කරන්න. ඒ වගේම සුරනි, කෙටිකාලීනව හෝ නංගිටයි ඔයාටයි ආරක්ෂා සහිත වෙනත් ස්ථානයක නවතින්න පුළුවන් නම් වඩාත් හොඳයි. කොහොම නමුත් මේ අවස්ථාවේදී හිත දුර්වල කර ගන්න එපා. අපි හැමෝටම ජීවිත අවධානම පොදුයි. ජීවිතය කියන්නේ හරියට තණ අග පිණි බිඳුවක් වගේ කියලා කියන්නේ නිකන්ම නෙවෙයිනේ. කොහොම වුණත් හිත ශක්තිමක් කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව