මලී සරසවිය රසිකයන් හමුවට එක් වූදා

අද සිත් හතරක් නොඉවසිලිමත්ය. උදෑසන පටන් සරසවිය ඡායාරූපාගාරයට වී සිටි ඔවුන්ගේ දෑස් බලාපාරොත්තු වූ තාරකාව පැමිණෙන තෙක් බලා සිටී.

මරදානේ සිට පැමිණි තිලාන් වෙත්තසිංහ, දෙහිඕවිට ශාන්තිලතා ජයසේකර සහ පාරමී භාග්‍ය චූටි දියණිය සහ ඇල්පිටියේ අජිත් ප්‍රියංකර ඒ අපේ ආදරණීය පාඨකයන් සිවු දෙනාය.නාත්තන්ඩියේ හර්ෂණී අනුෂිකා නොවැළැක් විය හැකි හේතුවක් මත අද නොආවාය.

ඔවුනොවුන් ආගිය තොරතුරු කතාබහ කරමින් සිටින අතරතුරදී වරින්වර ප්‍රධාන පිවිසුම දෙස නෙත් යොමුවේ. මෙවර තරු මිහිර සඳහා පැමිණෙන්නිය සමාධි අරුණි ඡායායි.

එහෙම කියනවාට වඩා මලී යන අකුරු දෙකෙන් ඔබ වඩාත් හොඳින් ඇයව දනියි. තවත් සුළු මොහොතක් ගතවීමට මත්තෙන් ඈ නිර්ව්‍යාජ සිනහවක් මුව මඬලෙහි සරසාගෙන සරසවිය ඡායාරූපාගාරයට පායා ආවේ සිවු රසිකයන්ගේ සිත් අමන්දානන්දයට පත් කරමිනි. මලී පැමිණි විගස ඇගේ දැතෙහි එල්ලීමට පාරමී චූටි දියණිය උනන්දු වූයේ කිසිදු පැකිලීමකින් තොරවය.

සැමටම පෙර මරදානේ තිලාන් සියල්ලන්ටම තමාව හඳුන්වා දුන්නේය. පාරමී තවමත් මලීගේ තුරුලේ පසුවෙයි.

මලී . . . නැහැ සමාවෙන්න සමාධි ඔබ ප්‍රථමයෙන්ම රංගන දායකත්වය සැපයූ නාට්‍ය මොකක්ද? නිහඬතාවය බිඳිමින් ඒ හඬ අවදිය ඇල්පිටියේ අජිත්ගෙනි.

සවීණා ටෙලි නාට්‍යයෙයි මං ප්‍රථම රංගනය ඉදිරිපත් කළේ. ඒ චරිතෙ තමා ‘මලී’.

එහෙනම් ‘මලී’ කියන නම ඔබට වාසනාව ගෙනාව කියලයි මං හිතන්නේ? ඒ ශාන්ති ලතාය.

මමත් ඒක විශ්වාස කරනවා.

සමාධි කොහෙ කෙනෙක්ද? කොළඹද?

නැවතත් තිලාන්ගෙන් පැනයක්.

නැහැ. මම තිස්සමහාරාමයේ කෙනෙක්. රංගන කටයුතු හින්දා දැන් කොළඹ නැවතිලා ඉන්නේ.

ඔබ මලීගේ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා ඔබ හිතනවාද?

ඔව්. මලී මට ඇත්තටම වාසනාව ගෙන ආවා. මලීව මිනිසුන් හොඳින් වැළඳ ගත්තා. ඒ මම ඒ චරිතයට සාධාරණයක් ඉටු කළ හින්දා.

ඔබ මලී වුණා නම්?

මේ සියල්ල දෙස අවධානයෙන් සිටි තිලාන් ඇසීය.

මේක රඟපෑමක් පමණයි. සත්‍ය ජීවිතයේදී මෙවැනි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණොත් මං මලීට වඩා වෙනස් විදිහක තීරණයන් ගනීවි.

දැන් සභාව තරමක නිහඬතාවයකින් පසු වෙයි.

කාටද සිංදුවක් කියන්න පුළුවන්?

සමාධි වට පිට බැලුවාය.

මං කියන්නම්. ඇල්පිටියේ අජිත් පෙරමුණ ගත්තේය.

‘දුක හාදු දෙන රැයේ

සිත පතුළටම වෙලා . . .’

ගුණදාස කපුගේ ගැයූ ඒ ගීතය අජිත්ගේ හඬින් ඡායාරූපාගාරය සිසාරා පැතිරෙයි. පිරිස දෑත් එක් කොට තාලයට අත්පොඩි ගසමින් අජිත්ට අනගි සහයක් ලබා දුන්නෝය.

මොහොතක් සමාධි දෙස බලා සිටි පාරමී දියණිය ඇගෙන් සමරු සටහනක් ලබා ගැනීමට සමරු පොත දිගු කළාය. සමාධිගේ මුතුවන් අකුරින් දියණියගේ අනාගතය සුබ වේවා යැයි ඉත සිතින් පැතුමක් සටහන් කෙරුවාය. සැවොම ඉන්පසු පාරමීව අනුකරණය කළෝය.

අනතුරුව එළඹියේ තවත් සුවිශේෂී අවස්ථාවකටය. ඒ ‘තරු මිහිරේ’ ත්‍යාග සඳහා සාදර අනුග්‍රහය සපයන ලක්සළු සල ආයතනයේ තිළිණ හුවමාරුවය. සමාධිගේ පින්බර දෑතින් පාඨකයන් සිවු දෙනා සළුසලේ තිළිණ ලබා ගත්තේ හදපිරි සොම්නසිනි.

කාලය නික්ම ගියේ කාටත් රහසිනි. ඒ වෙලාව අතරතුරදී තවත් බොහෝ විහිළු තහලු කතා, අලුත් විස්තර එහා මෙහා දෝලනය විය. දැන් සමු ගැනිමේ මොහොතය.

සිහින තරු හැබැහින් දැකගත් ‘තරු මිහිරක’ මිහිරි මතක රැගෙන අප පාඨකයන් සිවුදෙනා සරසවිය ඡායාරූපාගාරයෙන් පිටව ගියේ තවත් සරසවිය පුවත්පතෙහි මතක සටහන් රැසක් සටහන් කරමිනි.

මලී සමරු සටහන් තබයි  
  ශාන්තිලතා
තිලාන් අජිත්
 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව