ක්‍රකට් නොගහා නළුවෙකු වූ කුමා

නමින් නොහඳුනනවා වුණත් ටෙලිවිශනයට හුරු ඔබේ නෙතු ඔහුගේ රුව හඳුනනවාට කිසිදු සැකයක් නැත. සිය රංගන දිවියට දශකයට ආසන්න කාලයකට හිමිකම් කීවද නිතර දකින නළුවන්ගේ සාම්පලයෙන් මිදුන හෙතෙම නිරූපණය කළ චරිත බොහොමයක් ප්‍රේක්ෂකයින් පිළිගත්තේ ඉතාම ආදරයෙනි.

මේ සරාහී වික්ටර් ද, ගෞතමි හි බැස්ටියන් අල්මේදා ද එසේත් නැතිනම් සෙනෙහසට ආදරෙන් හී ලයනල් ද, ඔබේ සිත විමසනු ඇත. ඒ ඔහු ටෙලිවිශනයේය. සැබැවින් ඔහු කුමා අත්තනායක වන්නේය.

කුමා, මේ ඔබේ පළමු පුවත්පත් සාකච්ඡාව නේද?

අනේ ඔව්. මං මෙච්චර කල් කිසිම මාධ්‍ය ආයතනයකින් ඉල්ලගෙන පබ්ලිසිටි අරගෙන නැහැ. ඉල්ලගෙන රඟපාන්න ගිහිල්ලත් නැහැ.

ඇයි ඒ? කාගෙන් හෝ හිතවතෙකුගෙන් උදව්වක් ඉල්ලන්න මැලිකමක් දක්වන්නේ? ආඩම්බරකමටද?

අයියෝ මම ආඩම්බර චරිතයක් නෙවෙයි. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයෙහි මාධ්‍ය ආයතනවලයි ඉන්නේ මගේ අතිශය සමීපතමයෝ. ඒ වුණත් ඒ අයට කරදර කරන්න මං ආස නැහැ. මට ලැබෙන්න දෙයක් තියනවා නම් ලැබෙයිනේ, නේද.

පාසල් යන කාලේ පුදුම විදිහට ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළාලු ?

මං ඉගෙන ගත්තේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයෙන්. ඉස්කෝලේ ඉගෙන ගන්න දවස්වල ඉගෙන ගන්න එක පැත්තකින් තියලා ක්‍රිකට් ගැහැව්වේ පිස්සුවෙන් වගේ එච්චරට ආසයි.

හීන මැව්වේ ක්‍රිකට් ක්‍රීඩකයකු වෙන්නද?

ඒ කාලේ ක්‍රිකට්වලට තිබුණු පිළිගැනීම අඩුයි. ඒක නිසා වැඩිහිටියන්ගේ පැත්තෙනුත් තරමක විරෝධයක් පැවතුණා. ඒත් පසුකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකේ මෙම්බර් කෙනෙකු ලෙස ක්‍රියා කළා.

එතකොට රංගනයට යොමු වුණේ?

ඒකත් නියම කතාවක්. ටිකක් දිග වැඩියි. කමක් නැද්ද?

ප්‍රශ්නයක් නැහැ කියමු?

පාසලෙන් අවුට් වෙලා මං අවුරුදු නවයක් හෝටල් ක්ෂේත්‍රයේ හිටියා. අනතුරුව මාර්කටිං ඩිප්ලෝමා එකක් කරලා ඒ පැත්තට යොමු වුණා. ඔහොම ඉද්දි මට සහය අධ්‍යක්ෂවරයකු මුණ ගැසුණා. ටික කාලයක් යන කොට ඔහු මගේ දැඩි හිතවතෙකු බවට පත් වුණා. ඔහුව හමු වී කතාබස් කරද්දී මං බොරුවට ‘උඹලා හදන්නේ නාට්‍යද, නළුවො ගණන් ගන්නේ කවුද? රඟපාන්න අපටත් පුළුවන්’ වැනි දෑ කියමින් බනිනවා.

දිනක් ඔහු මට ගමනක් යන්න කතා කළා. මාත් හා කියලා ආවා. කිසිදු ගමන් විස්තරයක් නොකියා ඔහු මාව රැගෙන ඇවිත් තිබෙන්නේ සුරේෂ් කුමාරසිංහගේ සංසාර ප්‍රාර්ථනා ටෙලි නාට්‍ය දර්ශන තලයට. මාව මේකප් කළා, පිටපතක් අතට දුන්නා. මිතුරු සහය අධ්‍යක්ෂ ළඟට ඇවිල්ලා ‘ඔයා දැන් නළුවන්ට බැන්නනේ, දැන් ඉතින් මේ දෙබස් ටික රඟපාලා පෙන්නන එකයි ඇත්තේ’ කියලා කිව්වා. මොනවා කරන්නද වටපිටාවේ කට්ටියත් බලාගෙන ඉන්නවා. ලැජ්ජාව වහගන්න මං දෙබස් ටික කිව්වා. ඒක ලෝයර් කෙනෙකුගේ චරිතයක්.

එදා ලැබුණු ප්‍රතිචාර එහෙම කොහෙමද?

කියලා වැඩක් නැහැ. බොහෝ දෙනෙකු ඇහැව්වා කලින් රඟපාලා තියනවා නේද යනුවෙන් ඇහැව්වා. මං හිතන්නේ මං එදා තරමක් හෝ හොඳට රඟපාන්න ඇති.

ඊට පස්සේ?

ලෝයර්ගේ රංගනය දැකලා මට නාට්‍ය සඳහා ආරාධනා ගලා ආවා. සුජාතා, සෙනෙහසට ආදරෙන්, හිතට වහල්වීමි, ගෞතමී, වසූදා, ප්‍රථම හිරු, වහින්න මුතු වැස්සක්, සරා, මං රඟපෑ නාට්‍ය. මේ වෙලාවේ වී. සිවදාසන්, නාලන් මෙන්ඩිස්, දමයන්ති ෆොන්සේකා යන අයව මතක් කරන්න ඕනේ.

සුජාතා නිසා පාරක තොටක යන්න බැරි වුණා කියන්නේ ඇත්තද?

සුජාතා ටෙලි නාට්‍යයේ මං කළේ රස්තියාදු කාරයකුගේ චරිතයක්. ඒක විකාශය වෙද්දී මිනිස්සු මඟදී මුණ ගැසුණාම මූණ බලන්නේ නැහැ මගේ. කෙලින්ම ඇවිත් බැනලා ගිය අවස්ථා ද එමටයි.

දැන් ඔබේ ව්‍යාපාර කටයුතු නැද්ද?

ව්‍යාපාර, රංගනය නිසා අත හැරියා. දැන් තනි පුද්ගලයකු වශයෙන් උත්සව අවස්ථාවන් සංවිධානය කරනවා. ඒකයි දැන් මගේ වෘත්තිය.

ඔබේ ප්‍රිය බිරිය, ලංකාවේ ජනකාන්ත නිළියකගේ දියණියක් ? ඒ ගැන සහ පවුලේ විස්තර කතා කරන්න දැන් වෙලාව?

මගේ බිරිය ප්‍රියන්ති අත්තනායක. ඇයගේ මව විජිත මල්ලිකා. අපිට පුතෙකු ඉන්නවා. ඔහු ජිත්මා අත්තනායක. අපි තුන්දෙනා බොහොම සන්තෝසෙන් කාලය ගෙවනවා.

මොනවද ඔබව දකින්නට හැකි ඉදිරි නිර්මාණ?

කාලෙකින් ටෙලි නාට්‍ය රංගනයේ යෙදුණේ නැහැ.

ඇයි ඒ?

පසුගිය කාලයේ මං තරමක් අසනීප වුණා. කට්ටිය හිතුවේ මං ක්ෂේත්‍රයෙන් අයින් වෙලා කියලා. ඒත් දැන් ක්‍රමයෙන් යළි ආරාධනා එනවා. මං දායක වූ චිත්‍රපට දෙකක් තිරගතවීමට නියමිතයි. ඒ සංජය නිර්මාල්ගේ ස්වර සහ ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩ්‍රෙල්ලා.


රුහුණු රටින් අලුත් ගායකයෙක් චමිල්

දේශයේ අභිමානය රකින්න

ගිනි අවි දරා

දිනූ දේශය යළි රකින්නට

සාමයේ මල් පුබුදු වන්නට

යමු යමු පෙරටම, දිරිය පාමින් සොයුරනේ

පසුගිය කාලයේ මේ ගීය නිතර ප්‍රචාරය වුණා. මෙහි පද ගලපමින් සංගීතය මුසු කොට ගායනා කළේ චමිල් කොඩිකාරයි. හක්මන තෝංගල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ තිහගොඩ ජාතික පාසලෙන් සිප් සතර හැදෑරූ චමිල් පාසලේදී විෂයක් ලෙස සංගීතය ඉගෙන ගත්තා. පසුව සුපර් ඩ්‍රීම්ස් සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් වාදකයා ලෙස කටයුතු කරමින් සිටින අතරතුර හෙතෙම ස්වතන්ත්‍ර ගීත කිහිපයකට හඬ මුසු කළා. ‘දේශයේ අභිමානය’ ඉන් වඩාත් ජනතාව අතරට ගිය ගීතයයි.

චමිල් මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යද්දී ඔහු ටවර් හෝල් පදනමට සම්බන්ධ වී වේදිකා නාට්‍ය කිහිපයකට සංගීතය මුසු කළා.

තවත් ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න බලාපොරොත්තු වන චමිල්ට සංගිත දිවියේ සාර්ථක වන්නට ‘සරසවිය’ සුබපැතුම් එක් කරන්නේ හදපිරි සෙම්නසිනි.


ගාල්ලෙන් රංගනයට පිවිසි මොහමඩ් රොෂාන්

කරු දිසානායකගේ උදව්වෙන් ජය අපටයි චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මොහමඩ් රොෂාන් ගාල්ලේ ඉපැදුනෙකි.

දෙහිවල පළාතේ තම ඥාතිවරයකුගේ සාප්පුවක සේවයේ යෙදී සිටියදී එලෙස සිනමාවට එක්වන හෙතෙම පසුව මමයි රජා, බඹසර බිසව්, ගිනි අවි සහ ගිනි කෙළි, රෑ දනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩොක්ටර්, අලි සුරතල් වැනි චිත්‍රපට තිහක පමණ මෙන්ම සඳරු අරණ ටෙලි නාට්‍යයෙත්, සාමයේ කැඩපත ඒකාංගික ටෙලි නාට්‍යවලත් රඟපෑවේය.

රඟපෑමට පමණක් නොව ගී ගයන්නත් හැකි මොහමඩ් රොෂාන් පවසන පරිදි නිර්මාණවල රඟපෑවත් සමහර අවස්ථාවලදී අපට ලැබෙන්න තියෙන මුදලවත් දෙන්නේ නැති අවස්ථාවන් ඕන තරම් යයි පවසමින් කණගාටු වෙයි. ඔහුගේ ස්ථිර රැකියාව බවට පත් වී තිබෙන්නේ රඟපෑමයි.

‘පසුගියදා ගාල්ල කොටුවේදී වේදිකා ගත වුණු සඳගිරි යාය වේදිකා නාට්‍යයේ මම කළේ විකට චරිතයක්. මනතුංග ඇතුළු කණ්ඩායම සංවිධානය කළ මේ වේදිකා නාට්‍යයේ මම රඟපෑ චරිතයට ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ඒකට මට ගොඩක් සතුටුයි.

රංගනයෙන් බොහෝ දුර යන්නට පෙරුම් පුරාගෙන සිටින මොහමඩ් රොෂාන්ට ඒපැතුම් ඉටු වෙන්න යැයි අපි සුබපැතුම් ගෙන එන්නෙමු.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව