නුහුරු හබල අරන් නදීෂා ඔරු පදියි

ආදරියේ දර්ශන තලයේ රස මුසු කතන්දර

කැස්බෑව බණ්ඩාරගම පාරේ කිලෝ මීටර් හතක් පමණ ගොස් හමුවන වැල්මිල්ල ගල්කඩේ හන්දියත් එක්කම දකුණ ඇති මාවත දිගේ කෙරවළට ගමන් කළ පසු බොල්ගොඩ ගෙඟහි එක් ඉවුරක් හමු වෙයි.

අතිශය ගම්බද සිරියක් උසුලන ඒ පෙදෙස වැඩි දෙනාගේ ඇස නොගැටී ඇති බව සැකයකින් තොරව පැවසිය හැක්කේ වටපිටාව පරිසර දුෂණයට හසු වී නොමැති බැවිනි.

උණුවේ කෝපි කෝප්පයක් තොලගාමින් වේවැල් හාන්සි පුටුවක දිගා වී හිරු නින්දට යන අන්දම නරඹා නිවී සැනසිල්ලේ සිටීමට එය කදිම ස්ථානයකි.

බොල්ගොඩ ගඟ දැන් මට පෙනෙන්නේ මිහිකත මත තිරස් අතට තබා ඇති සුවිශාල කැඩපතක් පරිද්දෙනි. තැනින් තැන පිපී ඇති කෙකටියා මල් ඒ කැඩපතෙහි සටහන් වූ පැල්ලම් බඳුය. ඒ මල් අතරින් නිසොල්මනේ ඇදෙන කුඩා ඔරු දෙකක් හා කොට තැනූ පහුරකි. එහි තරුණියක් සහ තරුණයෙක් සිටී. ඒ ඔවුහු මට බෙහෙවින් හුරු පුරුදුය. මම වඩාත් විමසිල්ලෙන් බැලූ කල ඒ ධනංජය සිරිවර්ධන සහ නදීෂා හේමමාලි දෙදෙනාය. හබල ඇත්තේ නදීෂාගේ අතෙහිය. එය ඇයට හුරුපුරුදු වූ ආම්පන්නයක් නොවන වග නම් පැහැදිලියි. ඒ ඇය හබල් ගසන්නේ අලවංගුවකින් පොළව හාරන පරිද්දෙනි.

හබලේ බලයෙන් නොව සුළඟ නිසා ගඟෙහි ඇති වූ කුඩා රළ තරංගවල බලයෙන් ඔරුව ඉවුර වෙතට සමීප වන බව පෙනේ. දෙදෙනා කතා කරන හඬ පවා මට ඇසෙයි.

මේ ඔරුව හරිම දඩබ්බරයි. හරියට ඔයා වගේ.

නදීෂා පවසන්නීය.

ඔරුව දඩබ්බර නැහැ. ඉස්සෙල්ලම හබල අතට හුරු කර ගන්න. එතකොට ඉබේම ඔරුව මෙල්ල වෙයි.

ධනංජය ඇයට පිළිතුරු බඳියි.

අර මල හරිම ලස්සනයි. ඉන්නකෝ මං කඩා ගන්නකම්

හබල ධනංජයගේ අතට ලබාදී නදීෂා නෙළුම් මලක් නෙලන්නට හැදුවා පමණි. ඇය යම් කිසි දෙයකට බිය වී පළාතම දෙවනත් වන්නට කෑ ගැසුවාය. ගං ඉවුරේ සිල් රකිමින් සිටි කොකුන් විශාල ප්‍රමාණයක් අහසට නැගුණේ ඇගේ හඬට බියපත් වෙමිනි.

මේ සිදුවීමත් සමඟම තවත් පිරිසක් මෙතැනට පැමිණියහ. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තිෂූල දීප තඹවිට ද ඒ පිරිසට ඇතුළත්ය. මල්සර අකුණ, කපනස්නා සමය, සඳ නුඹ නම්, වන්දනා යනාදී ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක අධ්‍යක්ෂවරයා වූ හෙතෙම බඹර වළල්ල සිනමාපටයේ සම්මානනීය කැමරා අධ්‍යක්ෂවරයා ද වේ. මේ ඔහුගේ නවතම ටෙලි සිතුවම වූ ආදරියේ හැදෙන තැනයි.

මොකද නදීෂා එක පාරටම වුණේ.

ඒ ත්‍රීෂූලය.

නෙළුම් කොළේ උඩ දියබරියෙක් හිටියා අයියේ.

හරි හරි දැන් ගොඩට එන්නකෝ.

නදීෂාත් ධනංජයත් ඔරු පැදිල්ල අහවර කොට ගොඩට පැමිණියහ.

ඇත්තටම මං මීට කලින් ඔරු පැදලා නැහැ. ආදරියේ හින්දමයි මේ වගේ චාන්ස් එකක් ලැබුණේ.

දියබරියත් ‘ආදරියේ’ නාට්‍යයේ නළුවෙක්ද?

නදීෂාගේ අදහස් දැක්වීමට අකුල් හෙළමින් ධනංජය හරස් ප්‍රශ්නයක් එබුවේය.

ඒක ඉතින් දියබරියගෙන්ම තමයි අහගන්න වෙන්නේ.

රූගත කිරීම් නැරැඹීමට පුංචි එවුන් දෙදෙනෙකු පැමිණ සිටියි. ඉන් එක් අයකු ධනංජය ළඟට ආවේය.

අංකල්ව අපි ටී. වී. එකේ දැකලා තියනවා.

සුරතල් සිනහවක දැවටුනු ඒ වචනවලින් ධනංජයගේ මුහුණ වෙනස් විය.

අංකල් නෙවෙයි පුතේ මට අයියෙ කියලා කතා කරන්න.

මා ඒ අසල සිටින වග දැනගත් ධනංජය,

මේක එහෙම පත්තරයට ලියන්න එපා යනුවෙන් ද ඉල්ලීමක් කළේය.

හරි අපි දැන් ධනංජය ඇක්සිඩන්ට් වෙන සීන් එක ගනිමු. ඒකට අපිට මාලබේ හන්දියට යන්න වෙනවා. අනර් එතනට ඇවිල්ලා ඇති. ‘අනර්’ යනුවෙන් හැඳින්නුයේ අනර්කලී ආකර්ෂාය. ධනංජය නිර්මාල් සහ නදීෂා අප්සාරි වන ආදරියේ හි අනර් අහිංසා වේ. අහිංසාගේ රියට නිර්මාල් යට වෙයි.

නිෂ්පාදන කණ්ඩායමේ සියල්ලෝම කැමරා ආම්පන්න ද රැගෙන මාලබේ බලා පිටත් විණ. අනර් දැන් රථය සූදානම් කරගෙන සිටින්නේ ධනංජයව රිය අනතුරකට පත් කිරීමටයි. තිෂූලගේ ඇක්ෂන් හඬින් අනර් වාහනය පදවාගෙන ඉදිරියට ආවාය. ඒත් ධනංජය සූදානම් නැත.

මං මේ වගේ සීන්වලට හරිම බයයි. මට මොකක් හරි ආපදාවක් වෙනවාමයි මේ වගේ ෂූට් එකකදී.

කැමරා දෘෂ්‍ය ප්‍රයෝග පාවිච්චි කරමින් ඒ දර්ශනය රූගත කරන ලදී. අනර්කලීගේ දක්ෂ රිය පැදවීීම් මධ්‍යයේ ඒ රූපගත කිරීම අවසන් වෙද්දී ධනංජයගේ දකුණතෙහි වැලමිට හොඳටම තුවාල වී තිබිණි.

ආදරියෙහි සෙසු නළු නිළියන්:

ශ්‍රීමාල් වෙඩිසිංහ, බුද්ධික ජයරත්න, බියංකා ෆොන්සේකා, ගුණවර්ධන හෙට්ටිආරච්චි, කුසුම් පෙරේරා, රෙබෙකා නිර්මලී, රෝහිත් මාන්නගේ, සීතා කුමාරි.

සහාය අධ්‍යක්ෂණය - රිහාන් රවීන්ද්‍ර, ප්‍රසන්න ප්‍රදීප් කුමාර

කලා අධ්‍යක්ෂණය - චන්දන ප්‍රියංකර

අංග රචනය – ප්‍රියංක තිලක් රත්නායක

සංගීතය – ප්‍රදීප් ජයතිලක

නිෂ්පාදන කළමනාකරණය - උදයශාන්ත ලියනගේ

සංස්කරණය - ශාන් රංග සුදසිංහ

කැමරාව - තිෂූල දීප තඹවිට

තිර රචනය – රිහාන් රවීන්ද්‍ර

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව