චරිතයක් වෙනුවෙන් ජීවිතය පරදුවට

අර්නස්ට් වඩුගේ රස ආවර්ජනයක

සැඳෑ හිරු බැස යමින් පවතින්නේය. එහෙත් හිරු හැර ගිය ද සොඳුරු සඳ සැඳෑ අහසේ මෝදු වෙමින් පවතියි. සඳ වටා පුංචි පුංචි තරු කැට පායා ඇත. ඒ අතර ඈත අහසේ සුන්දර තරුවක් මෝදු වීමට වළා අතරින් එබිකම් කරයි.

කොල්ලුපිටියේ ගාලු පාර අසල සොඳුරු මුහුදු තීරය වෙනදාට වඩා සුන්දර ස්වභාවයක් උසුලයි. කිරි මුහුද ඈත සඳ එළියෙන් චමත්කාරයට පත්ව ඇත.

වෙනදා නොමැති අමුතු ආනන්දයකින් පරිසරය කාන්තිමත්ව ඇත.

කොළඹ කොල්ලුපිටියේ ගාලු පාර අද්දර පිහිටි එකල සුපිරි අවන්හලක්වූ ‘සී වීව්’ හෝටලය සැණකෙළි වෙස් ගෙන ඇත. තාරකාවෝ බැබළෙති. සිනමාවේ සුපිරි ශිල්පීන් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන පසු වෙති.

විරාගය සනත් දයා අල්විස් සමඟ

සිංහල සිනමාවට තවත් චිත්‍රපටයක් බිහි කිරීමේ තිඹිරි ගෙය ලක ලෑස්ති වෙමින් පවතී. අලුත් චිත්‍රපටයක්, අලුත් නිර්මාණ ශිල්පියෙක්, අලුත් සිනමා සමාගමක්, අලුත් නිෂ්පාදකවරු කැලක්.

මේ සියල්ලටම වඩා සිංහල සිනමාවට පායන නැවුම්ම නැවුම් කෝඩුකාර තරු කුමරෙක් ඉතාම අවිහිංසකව, එනමුදු නෙත් පිනවන කඩවසම් රූප ස්වභාවයෙන් ආකර්ෂණීයව සැවොම සමඟ සිනහමුසුව පසුවෙයි. ඒ දෑස දීප්තිමත්ය. ඒ මුහුණෙහි අප්‍රමාණ පැතුම් මල් පිබිදී ඇත. ඒ මුහුණ අනේක ඉරියව් මවන අපූරුම මුහුණකි.

‘ආදරණීය මිත්‍රවරුණි, මිතුරියනි,, මේ සැඳෑ අහසේ අනාගත දිදුළන තාරකාවක් පායා ඒමේ මහා මංගල්‍යයයි. මේ රිදී තිරයට කන්ද උඩරටින් රන් තරුවක්.’

එයාගේ නම සනත් ගුණතිලක ලෙස අපි හඳුනා ගමු.

එක දිගට නොනවතින අත්පොලසන් නාදයකි. සනත් නමැත්තාට සියලු දෙනාගේ උණුසුම් මිහිරි සුබපැතුම්. යුවතියන්ගෙන් රස හාදු.

විජය ධර්මශ්‍රී නිර්මාණය කළ ‘සිටු කුමරියෝ’ මුහුරත් මංගල්‍යයයි ඒ. මුහුරත් උළෙලට වඩා සිනමාවට තාරකාවක් හඳුන්වා දෙන ‘කොටහළු මංගල්‍යය’ ලෙස මෙය හැඳින් වුවද නිවැරදිය.

චමින්ද පෙරේරා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමක් නිපද වූ ‘සිටු කුමරියෝ’ නිෂ්පාදන සම්බන්ධීකාරක ලෙස කටයුතු මෙහෙය වූයේ චින්තන ජයසේනය. චින්තන ජයසේන යනු දක්ෂ මාධ්‍යවේදියෙකි. ජන සිත්ගත් පත්‍ර කීපයක කර්තෘවරයා වූ චින්තන ජයසේනගේ ‘සිත්තර’ චිත්‍ර කතා පත්‍රයේ අලෙවිය කලක් දෙලක්ෂය ද ඉක්මවා පැවතියේය.

චින්තන, සනත් ගුණතිලක ද සමඟ මා අසලට පැමිණියේය. සනත් සිය දෝතින්ම මාව වැළඳ ගත්තේය.

‘කොහොමද වඩූ අලුත් නළුවා, අවංකව කියන්න කොහොමද?’

මම එම දෙදෙනා දෙස මොහොතකට දෑස් යොමු කළෙමි.

‘චින්තන අපේ සිනමාවට පිරිමි නළුවෙක් ඉදිරිපත් කරල තියෙනවා. විජය ධර්ශ්‍රී ඇතුළු කාටත් ඒ ගැන අපි ප්‍රශංසා කළ යුතුයි.’

මම පැවසූවෙමි. එය සැබෑවකි. කාන්තා ස්වභාවයෙන් යුතු නළුවන් ද හිඟ නොමැතිව තිබූ සමයක වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහා පෞරුෂයකින් යුතු ආකර්ශණීය තරුණයා දැකීමෙන් පැහැදීමට පත් මම පැවසූවෙමි.

ඒ 1978 පෙබරවාරි මුල දිනයකි.

එදාටත් අදටත් පුරා වසර තිස් හතරක කාලයක් ගෙවී ගොස් ඇත.

ඒ, එදා මා ඒ පැවසූ ‘පිිරිමි නළුවා’ අද සිංහල සිනමාව පුරාම දක්ෂතාවයේ, කුසලතාවයේ, කැපවීමේ, උත්සාහයේ, මිනිසත්කමේ කීර්තිධර මහා පුරුෂයකු බවට පත්ව අවසන්ය.

සනත් ගුණතිලක යනු කවුද කියා අද වැනි දිනක හඳුන්වාදීමට ‘සී වීව්’ වැනි උත්සව කුමටද, රටක් ජයගත් ඒ කලාකරුවා, ඒ ලෙන්ගතු මිතුරා අද අපේ සම්පතකි.

එදා ‘සී වීව්’ හෝටලයේදී තමා ගැන මා පැවසූ ප්‍රකාශය සනත් අදත් නිතර නිතර රූපවාහිනී සහ පුවත්පත් සාකච්ඡාවලදී පවා පවසනු මා කීප වතාවක්ම අසා දැක ඇත.

ජෝ අබේවික්‍රම යනු තමාටම ආවේනික වූ ගති ලක්ෂණවලින් හෙබි අපේ රටේ පහළ වූ එකම කලාකරුවාත්, පුද්ගලයාත් ජෝ අබේවික්‍රම ම පමණක් බව මම පැවසූවෙමි.

සනත් ගුණතිලක පිළිබඳව ද අපට එසේම පැවසිය හැක. සනත් ගුණතිලක යනු සනත් ගුණතිලකම පමණි.

එහෙත් මෙම මිත්‍රයාගේ මහ නරක පුරුද්දක් පිළිබඳව මුලින්ම සඳහන් කළ යුතු යැයි සිතමි.

බල්ල පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට කන්න දෙන්නෙත් නැහැ’

මෙවන් කියමනක් අප අසා ඇත.

එයාට නින්ද යන්නෙත් නැහැ, නිදා ගත්ත අයට නිදියන්න දෙන්නෙත් නැහැ.

සනත් සම්බන්ධයෙන් එම කියමන වඩාත් සැසෙඳනවා විය යුතුය.

කුකුළා අතින් අරගෙන මිතුරු මිතුරියන්ගේ නිවස අභියසටම පැමිණ, එළිය වැටී නැති හිමිදිරි උදැසනම දොරට තට්ටු කොට ගෙදර අය පමණක් නොව යාබද නිවෙස්වල අයද ‘කූද්දන’ නළුවකු ගැන ඔබ අසා තිබේද. එවන් අපූරු විරල ගණයේ කරදරකාර මිතුරු නළුවකු අප අතර ඇත්නම් ඒ සනත් පමණක් විය හැකියි.

වඩු . . . වඩු . . . වඩු . . .

වරක් දෙවරක් නොව කීප වතාවක්ම අපේ ගෙදර දොර අරිනතුරු හිමිදිරියේ දොරට තට්ටු කරන ‘වේදනා බර’ හඬක් එකල අප මාලිගාවත්ත මහල් නිවාසවල පදිංචිව සිටි සමයේ හොඳට හුරු පුරුදුය.

‘ඒයි . . . සංගෙ . . . සංගා . . . මොනාද හලෝ දේශපාලඥයෝ උදේ 3 ට නැගිටින්න එපායැ. බලනවකො ප්‍රේමදාස මහත්තයා’

උදේ පාන්දර සෙත් පිරිත් මෙන් තමන්ගේ දොරට තට්ටු කරමින් පවසන සනත්ගේ හඬ හොඳට හුරු යයි ටී. ඇම්. සංඝදාස අභාවප්‍රාප්ත වීමට ආසන්න දිනකදී මට පැවැසුවේය.

ජීවිතයේ බිහිසුුණු මහා අභියෝගයකට පණ පිටින් මුහුණ දුන් නළුවන් අතර ලංකාවේ සිටින එකම නළුවා සනත් ගුණතිලක පමණක්ම විය යුතුය. අන් රටකවත් කිසිදු නළුවකු මල් පිපෙන අති සුන්දර වියේ පසු වෙද්දී ‘රූප සොබාව’ පමණක් නොව ජීවිතය පිළිබඳව පවා මේසා අවදානම් සහිත වූ අභියෝගයක් මහත් ආසාවෙන් පිළිගත්තකු සිටින්නේ එක් අයකු හෝ දෙදෙනෙකි.

යමකුට වඩාත් වටින්නේ තමා නියුතු වෘත්තියද, නැතහොත් තමා රැකගත යුතු තම පෞද්ගලික ජීවිතයද?

1985 වසරේදී එවකට අති ආකර්ශණීය රූප ස්වභාවයකින් පිරිපුන්ව සිටි, නව යෞවනයේ කඩවසම් නළුවකු වූ සනත් ගුණතිලක මුහුණ දුන් භයානක අභියෝගය එයයි. තම වෘත්තියට ඉතා ඉහළින්ම භක්තිමත් ශිල්පියකු වූ සනත්ට මුහුණ දීමට සිදු වූ දරුණු උභතෝකෝටික ගැටලුව මෙයයි.

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ අති සම්භාව්‍ය කෘතියක් වූ ‘විරාගය’ නවකතාව ඇසුරෙන් නිර්මාණය වීමට යන සිනමා පටයකි.

එය අධ්‍යක්ෂණය කරනුයේ අති දක්ෂ සිනමාවේදියකු වූ තිස්ස අබේසේකරය. එහි තිර රචනය ද තිස්ස ගෙනි. සිනමාගත කිරීමට පෙරාතුව වුවද තිස්ස අබේසේකරගේ හදවතින් බිහිවන තිර කතාවක් සැබැවින්ම සිනමා කාව්‍යයක් බඳුය.

චන්ද්‍රා මල්ලවආරච්චි ‘විරාගය’ නිෂ්පාදනය කිරීමට යයි. තිස්ස අබේසේකර යනු සනත් මහත්සේ භක්තිමත්ව ආදරය කරන සිනමාවේදියකු මෙන්ම පෞද්ගලිකවම ද සමීප ලෙන්ගතු මිතුරෙකි.

මෙම මහා සිනමාකරුවාගේ ‘විරාගයේ’ අරවින්දගේ චරිතය නිරූපණය සදහා තමාට තිස්ස ආරාධනා කළ අසිරිමත් මොහොත පවා සනත්ට හැඟුණේ තම සිනමා දිවියේ විශිෂ්ටතම සිනමා පටයේ ප්‍රධාන චරිතයට කරන්නා වූ අති විරල භාග්‍යමත් ආරාධනාවක් ලෙසිනි.

‘හැබැයි පුතෝ මට සනත් ගුණතිලක නම් මෙහි ප්‍රධාන චරිතයට එපා. මට අවශ්‍ය අරවින්ද ජයසේන. පුළුවන් ද ලස්සන ඉලන්දාරියට කෙසඟ සිරුරක් ඇති තරමක වියපත් පෙනුමක් ඇති අරවින්ද වෙන්න. යාළුකම් වෙනමයි, මෙන්න පිටපත, පුළුවන් නම් පමණක් මට හැකි ඉක්මනට වචනයක් දෙන්න. ඒත් මේක වචන කෝටියකින් විග්‍රහ කළ නොහැකි තරමේ භයානක අභියෝගයක් බව මං නොදන්නවා නොවේ’ මන්දා තීරණය ඉලන්දාරියාගෙ . . .’

තිස්ස අබේසේකර සනත්ට කළේ එක අතකින් නළුවකුට දිය හැකි අති විශිෂ්ට තිළිණයකි. ශ්‍රේෂ්ඨතම චිත්‍රපටයක් විය හැකි සිනමා පටයක අරවින්ද නමැති විරල පුද්ගලයාගේ චරිතයය. ඒ වන විට ‘විරාගය’ ගැන මෙන්ම අරවින්ද ගැන ද නිර්මාතෘ මාර්ටින් වික්‍රමසිංහට අප්‍රමාණ කිත් පැසසුම් ලැබී තිබුණි.

තිස්ස සනත්ට අනිත් අතින් කළේ බිහිසුණු අභයෝගයකි. පෙනුම වෙනස් කරගත හැකි නම් අරවින්ද ජයසේන චරිතයට සුදුසුම නළුවා සනත් බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් පැවතුණි.

එහෙත් ඒ වන විට පෙම්වතියන් පොකුරු පිටින් සිහින මැවී සුරඟන පෙම් කුමරාට හැකිද වැහැරුණු ස්වරූපයක් ලෙස තමා විනාශ කර ගන්නට.

‘පිස්සු, සනත් වගේ ලස්සනම තරුණ කොල්ලෙක් ගැළපෙනවද විරාගයේ අරවින්දට’ අප වුවද එකල කල්පනා කළේ එලෙසමය.

‘එපා සනත් . . . එපා . . . ඔය චිත්‍රපටය වෙනුවෙන් ඔයාගේ රූපය විනාශ කරගන්න එපා. හිතමු නොකා නොබී ඉඳල කෙට්ටු වෙලා ජරාවට පත් වුණැයි කියල. හරි ඊට පස්සෙ? කවදාවත් ආපහු මේ පෙනුම එයිද? එක එක්කෙනා කියන ඒවා නෙවි, ඔයා හොදට බුද්ධිමත්ව හිතල තීරණයක් ගන්න.’

සනත්ට පෞද්ගලිකව ආදරය කරන අය පැවසූහ.

සනත් හිතුමතේට කොයි දෙයක් පිළිබඳව හෝ තීරණ ගත්තකු නොවන බව මම පෞද්ගලිකවම දනිමි. ඔහු වෛද්‍යවරු කීප දෙනෙක්ම මුණ ගැසීමට ගියේ. ඔවුන් සමඟ විධිමත්ව කතාබහ කළේය. විද්‍යාත්මක කරුණු පිළිබඳව උපදෙස් ලබා ගත්තේය.

‘මොකද ඉලන්දාරියා, රූපයට ආදරෙයිනේ. ඒක ස්වභාවිකයි. කාරි නෑ. අකමැතිනම් මට අද හෙටම වචනයක් දෙන්න.’

තිස්ස අබේසේකර යළි යළිත් මතක් කළේය.

මුල් යුගයේ බොළඳ පෙම්වතාගේ චරිත වාණිජ චිත්‍රපට කීපයකම නිරූපණය කළේ වී නමුදු, උසස් චරිත නිරූපණය සඳහා අවතීර්ණ වීමේ දැඩි පිපාසයක් සනත්ට තිබුණි.

ඇත්තෙන්ම ඔහු රඟපෑ වාණිජ චිත්‍රපට තුළින් වුවද ඔහු වෙතින් රංග ප්‍රතිභාවක් පිළිබිඹු නොවූවා නොවේ.

වෛද්‍යවරු හමුවීමෙන් අනතුරුව සනත් සමීපතම මිතුරන් සමඟ යළිත් මේ ගැන සාකච්ඡා කළේය.

‘ඇයි තරුණයෙක් ඔය තරම් දරුණු අවදානමකට මුහුණ දෙන්නේ. හොදයි, අපි හිතමු ආපහු ඔයාගේ කඩවසම් පෙනුම ගන්න බැරි වුණාය කියලා. ඉවරයි නේද එතකොට මුළු අනාගතයම. කසාදයක්වත් බඳින්න පුළුවන් වෙයිද එතකොට?’

මිතුරන්ගෙන් ලත් ප්‍රතිචාර එසේය. ඒ ඔවුන් හෘදයාංගමව සනත්ට ආදරේ කළ බැවිනි.

මෙහිදී පුංචි රහසක් හෙළිදරව් කිරීමට මට සිතේ. ඒ වන වට ඔහුට ඉතාම සමීපවම සිටි එක්තරා රූමත් යුවතියක් පමණක් ඔහුව දිරිමත් කළාය. එවන් සම්භාව්‍ය චිත්‍රපටයක් සඳහා ලැබෙන ආරාධනයේ මහා වටිනාකම ඇය පෙන්වා දුන්නාය.

මම නොදනිමි. රූපය වෙනස් වුණ ද තමා සනත් හා ඇති බැඳීම වෙනස් නොවන බව ඇය පැවසුවා විය හැකිය. කෙසේ හෝ වේවා සනත් ගුණතිලක තම වෘත්තිය සඳහා අපමණ පරිත්‍යාග කිරීමට වුව සූදානම් වූ වෘත්තීය ගරුත්වය රැක ගනිමින්. තම වෘත්තියේ සත් අභිවෘද්ධිය සඳහා අභියෝගවලට මුහුණදීමට, කැපවීම්වලට එළඹීමට සූදානම් වූ ආදර්ශමත් නළුවකු බව මම පෞද්ගලිකව ම දනිමි.

එය එසේමය. එසේම සනාථ විය.

තිස්ස අයියා . . . පටන් ගමු වැඩ. මට තව මාස කීපයක් විතරක් දෙන්න. සනත් ගුණතිලක නෙවි මම. ‘මම විරාගයට අරවින්ද ජයසේනව දෙන්නම්, මං එකඟයි.’

තිස්ස ඉහවහා ගිය මහා සොම්නසින් ඉපිළ ගියේය. සනත්ගේ ඇති අභීත තීරණ ගැනීමේ හැකියාව ඔහු කවදත් දැන සිටියේය.

‘හරි කල් දෙන්නම්, මං ආඩම්බර වෙනවා සනත් ඔයා ගැන’

දහසකුත් අදහස් ඔහු එම වචන කීපයට ගොනු කර පැවැසීය.

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් දෙකක් පමණක් මෙම කඩවසම් යෞවනයාගේ දෛනික ආහාර වේලට එක් විය. දවසක් දෙකක් නොව මාස තුනක් පමණ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් දෙක තුනකින් තම දෛනික ආහාරය සඳහා ගනිමින් බතීගේ - සරෝජිනීගේ අව්‍යාජ ආදරයට ලක් වූ අරවින්ද ජයසේන ලෙස සනත් තම ආදරණීය යෞවන රූපය සහමුලින්ම වෙනස් කර ගත්තේය.

‘විරාගය, අරවින්ද චරිතය යළිත් අති උත්කෘෂ්ට ලෙස ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන්, වසරේ විශිෂ්ටතම රංගනය වෙනුවෙන් පිදෙන උත්තරීතර සම්මානය’

සනත් ගුණතිලක වෙත . . .

ශාලාව දෙදරුම් කන අන්දමින් එසේ ඔල්වරසන් හඬ නැගුණේ එක සම්මාන උළෙලකින් පමණක් නොවේ. සරසවිය සම්මානය සමඟම වසරේ හොඳම නළුවාට පිදෙන සියලුම සම්මාන හිමි වූයේ සනත් ගුණතිලකටය.

විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ‘විරාගය’ නමින් බිහි විය. සනත් ගුණතිලක නමින් සිංහල සිනමාවට විශිෂ්ටතම නළුවකු බිහි විය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව