සුසිල් වෙන්ව පස් වසරකි

හැම අවුරුද්දකටම නියමිත දවස් ගණනට මාර්තු 23 වැනිදා අයත්ය.අද ද මාර්තු 23 වැනිදාවකි. 2007 වසරේ ද එබඳු දවසක් විය.

සුපුරුදු ලෙස ඒ දවස ගෙවී ගියේය. එහෙත් එය වෙනත් දවසක් නොවී තිබිණ. එදා අපේ එකෙක් රුදුරු මරු විසින් යළි නොඑන ලෙස වෙන් කොට තිබිණ. ඔහු සුසිල් ගුණරත්න නම් විය. මිය යන විට ඔහු සරසවිය පුවත්පතේ උපදේශක කර්තෘ වූයේය. එයට පෙර කලක ඔහු කර්තෘධුරය ද ඉසිලුවේය. එහෙත් එයට වඩා එවකට සරසවිය කතු මඬුල්ලට ඔහු සමඟ නෑකමක් වූයේය. ඔහු මුළු කතු මඬුල්ලටම ලොකු අය්යා කෙනෙකු වූයේය. ඔහු සියල්ලටම ආදරය කළේය,සියල්ලන්ගේම දුක සැප සොයා බැලුවේය.ඉඳ හිට සැර වූයේය. අනතුරුව කාරුණික වූයේය. ඒ ආදරණීය අය්යලාගේ හැටිය.

සුසිල් අය්යා උරුමයෙන් පත්තර කලාවට ආවෙක් නොවීය.පොළොන්නරුවේ ඉපිද අනුරාධපුරයේ ඉගෙන කොළඔ ඇවිත් පත්තර කලාවට එන්න මහත් කට්ටක් කෑවේය.නාට්‍ය කරුවකුගේ අභිලාශෂය ද ඔහුට විය. එක් පැත්තකින් නළුවකු ලෙසද අනෙක් පසින් නාට්‍ය කරුවකු ලෙසින් ද ටෙලි නාට්‍ය කරුවකු ලෙසින් ද ඔහුට මහත් භූමිකාවන් තිබිණ.ඒ සියල්ල මැද පත්තර කලාවේදියකු ලෙස ද ඔහුට ජීවිතයක් තිබිණ.

23 වැනිදා උදේ ඔහු ලේක්හවුස් ආයතනයෙන් පිටත්ව ගියේ රාජකාරියකටය. ඒ තනිවම නොවේ. එවකට සරසවියේ සිටි දැන් දිනමිණ පුවත්පතේ කුමාර සිරිවර්ධන සමඟය. රාජකාරිය නිම කොට රාත්‍රිය එළැඹෙත්ම කුමාර නිවසට ඇරලූ සුසිල් ගෙදර ගියේය. එයින් පැයක් යන ්නට මත්තෙන් කුමාර අප හැඬවූයේය. ඒ සුසිල් අය්යා මිය ගිය පුවත පවසමිනි. සුසිල් ගෙදර ගොස් තිබිණ. වෙනදා මෙන්ම සිය බිරිය භද්‍රා නන්දනී සහ දියණිය උත්තරාගේ සෙනහසට විඳීන්නට එක් වූවා පමණී. එහෙත් ඒ සියල්ලම නිමේෂයකි. ජීවිතය යනු තණ අග පිණි බිඳක් යැයි අපට පසක් වෙයි. විශ්වාස නොකළ පුවතක් සමඟ මම රෝහලට පැමිණීයෙමි. එවකට සරසවියේ සිටි දැන් විදේශ ගතව සිටින දර්ශණ ගුණරත්න ද ඒ මොහොතේ එහි පැමිණියේය .තවමත් උණුසුම පහව නොගිය සුසිල් අය්යා නිසලව වැතිර උන්නේය. එයට මාස කිහිපයකට මත්තෙන් අප සියල්ල එක්ව ඔහුගේ පනස් වැනි ජන්ම දිනය සැමරූ අන්දම මට සිහිපත් විය. ගතින් යෝදයකු වුව දර්ශණ දරා ගත නොහැකිව හඬා වැටුණි.

නුඹ විතරක් තලඑළලුයි,මුහුණු දෙකක්,සිර කඳවුර, නාට්‍ය පෙළින් අනතුරුව ඔහු අපූරු නාට්‍යයක් නිර්මාණය කළේය.ඒ දෙනුවර දෙන්නෙක් යනුවෙනි.එය වේදිකා ගත වූයේ ඔහු මිය යන්නට සති කිහිපයකට කලිනි.එදා ඒ සඳහා සැකසුණ සමරු ග්‍රන්ථයෙහි ඔහු ලියූ සටහන නිම කොට තිබුණේ මෙපරිද්දෙනි.

“ මා මේ බරින් දැන් නිදහස්ය.ඒ බර බිම තියන්නට අවසරයි.” එහෙත් ඔහු පිළිබඳ මතකයේ බර මුළු ජීවිත කාලය පුරා අප සමගඟ ගමන් කරනු ඇත.

අද ගෙවී හෙට 24 වැනිදා එළැඹෙයි. එහෙත් බලා සිටිය ද පිය ගැට පෙළ නගමින් සුසිල් ආවා යැයි සිනාසෙමින් යළි ඔහු නොඑන වග විශ්වාස කරන්නට අපට සිදුව තිබේ. ඒ ජීවිතය පිළිබඳ කුඩා හෝ අල්පමාත්‍ර දැනීමක් ඇති බැවිනි. නො එසේ නම් සුසිල් අය්යා මිය ගිය වග සිතන්නට ගත වූ පස් වසර මුළුල්ලේම මා මෙන්ම සරසවියේ ඔහු සමඟ සිටි සගයන ද අපොහොසත්ය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව