සිංහලෙන් දෙමළෙන් ඔබ නැතිව ඔබ සමඟ ප්‍රසන්න විතානගේ නවතම නිර්මාණය

සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ අලුත්ම සිනමා කෘතියේ රූ ගැන්වීම් පසුගියදා ඇරැඹිණි. මෙහි ඇති සුවිශේෂීතාවය වනුයේ සිංහල බසින් මෙන්ම දෙමළ භාෂාවෙන් ද (ද්විභාෂික ) එය නිර්මාණය වීමයි.

ඔබ නැතිව ඔබ සමඟ ලෙස සිංහල නමින් ද ‘උන්නුදායි උන්නයි තිරන්ඩු’ යනුවෙන් දෙමළ බසින් ද රූ ගැන්වෙන මෙම සිනමා සිත්තම සඳහා නව පරපුරේ ඉන්දීය සුරූපී නිළි අංජලී පතෙල් ප්‍රධාන චරිතය සඳහා එක්ව ඇත. ඇය සමඟ ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් ඔබ නැතිව ඔබ සමඟ සඳහා එක් වෙති.

කැමරාව එම්. ඩී. මහින්දපාල මෙහෙයවයි. පුරහඳ කළුවර, ඉර මැදියම ආදී ප්‍රසන්නගේ සිනමාපට සංස්කරණය කළ ශ්‍රීකර් ප්‍රසාද් ඔබ නැතිව ඔබ සමඟ සංස්කරණය කරයි. ලක්ෂ්මන් ජෝසප් ද සේරම් සංගීතයෙන් හැඩ කරයි. ප්‍රවීණ අංග රචනා ශිල්පී ඊබට් විජේසිංහගේ දායකත්වයෙන් පොහොසත් වන මෙහි කලා අධ්‍යක්ෂණය රොබ් නේවියස්ගෙනි. දමින්ද මඩවල සහය අධ්‍යක්ෂවරයාය. කල්ප ආරියවංශ සහ වින්දන ආරියවංශ රේඛීය නිෂ්පාදකවරුන්වේ. විධායක නිෂ්පාදනයට ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා, නදීර ඇඩම්අලි සිටිති.

ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම්අලී

ශ්‍රී ලංකාවෙන් ද, අකාර් නිෂ්පාදන ආයතනය වෙනුවෙන් රාහුල් රෝයි ඉන්දියාවෙන්ද නිෂ්පාදනයට එක්වෙති. ඔබ නැතිව ඔබ සමඟ හි තිර රචනය සහ අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ ගෙනි.


ලේක්හවුස් නිර්මාතෘ ගුණ සැමරේ

ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන මැතිතුමන්ගේ එකසිය විසි හය වැනි ජන්ම දින සැමරුම හේතු කොට ගෙන මෙම මස 23 – 24 එනම් අද සහ හෙට යන දිනයන්හි පින්කම් මාලාවක් පැවැත්වේ.

ඒ අනුව 23 දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද, 24 දා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද සංවිධානය කිරීමට ලේක්හවුස් බෞද්ධ සංගමය කටයුතු යොදා තිබේ.

ලේක්හවුස් ආයතනයේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ අනුශාසකත්වයෙන් සේවක සේවිකාවන්ගේ දායකත්වය ඇතුව මෙම පිංකම පැවැත්වීමට නියමිතය.


ඉරාන සිනමා උළෙල හෙට ඇරැඹේ

ඉස්ලාමීය විප්ලවයේ තිස් තුන්වැනි සංවත්සරය කේන්ද්‍ර කර ගනිමින් ඉරාන තානාපති කාර්යාලයත්, ජාතික චිත්‍රපට සංස්ථාවක් එකමුතුවෙන් සංවිධානය කරනු ලබන සිනමා උළෙලක් මෙම මස 24 දා සිට 28 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

ඒ අනුව පිළිවෙලින් අබ්බාස් රෆෙයිගේ එලික් සිර් ඇන්ඩ් ඩස්ට් සහ ද ස්ට්‍රේන්ජර්ස්, අලිරේසා රයිසියන්ගේ ෆෝත් ඉයර් ඕල්ඩ්, හෝමායේසුන් අසඩියන්ගේ ගෝල්ඩ් ඇන්ඩ් කොපර්, මෞසුඩ් නග්හාෂ්සාඩේගේ චයිල්ඩ් ඇන්ඩ් ඒන්ජල් යන චිත්‍රපට තිරගත වනු ඇත. උළෙල දිනපතා 5.30 ට ඇරැඹේ.


විජය කුවේණි අන්තර් ජාලයට

සුගත් සමරකෝන් ‘රුපුන් චිත්‍රපට’ සමාගම වෙනුවෙන් රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘විජය කුවේණි’ චිත්‍රපටයේ වෙබ් අඩවිය ඹඹඹ.මඪණචරචඬභඹඥදඪ.ජධථ ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේදී අන්තර් ජාලයට මුදා හැරිණ.

එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ, විජය කුවේණි නිෂ්පාදක ගයාන් රණධීර, අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, නිවේදක සුසන්ත ප්‍රියදර්ශන යන මහත්වරුන් සේයාරූ ගත වූ අන්දමයි.

රොජර් සෙනෙවිරත්න, දුලානි අනුරාධා ඇතුළු නළු නිළියන් රැසක් රඟපෑ විජය කුවේණි ලබන අප්‍රේල් මස සිට තිරගත වීම ඇරැඹේ.


ආරාධනා ගෙදරට එයි

අසූව දශකයේ මුල භාගයේ තිරගත වූ ආරාධනා සිනමාපටයෙහි ඩී. වී. ඩී. තැටිය තරංගා ලේබලය යටතේ දැන් නිකුත් වී තිබේ. විජය ධර්මශ්‍රීගේ අධ්‍යක්ෂණයෙන් තැනුණ ආරාධනා විජය රාමනායකගේ නිෂ්පාදනයකි.

රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, ඩේවිඩ් ධර්මකීර්ති, අනෝජා වීරසිංහ, රත්නාවලී කැකුණවෙල, තරංගා රාමනායක ඇතුළු පිරිසගේ රංගනයෙන් හැඩ වූ ආරාධනා හි කතාව සහ තිර රචනය සෝමවීර සේනානායකගෙනි.

සුමිත්ත අමරසිංහ කැමරා අධ්‍යක්ෂණයක් වූ මෙහි රෝහණ වීරසිංහ සමඟ එච්. එම්. ජයවර්ධන සංගීතයෙන් ඔපවත් කර තිබේ.

1982 වර්ෂයේ සරසවිය සම්මාන උළෙලේ හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම සංගීතය, හොඳම ගීත රචනය සහ හොඳම ගායනයට ඇතුළු සම්මාන රැසක් වෙන් වුයේ ආරාධනා සිනමාපටයටයි.


කෝ මාක් - නෝ මාක්ට සුනිල් ගී ගයයි

සුනිල් පෙරේරා මේ ගයන්නේ කෝ මාක් නෝ මාක් වෙනුවෙනි. කෝ මාක් නෝ මාක් ඊ. ඒ. පී. සමාගමේ නවතම චිත්‍රපටයයි. සංගීතවේදී මහේෂ් දෙණිපිටියගේ ශබ්දාගාරයේදී මේ පටිගත කිරීම සිදු විණ.

ගීත රචක කැළුම් ශ්‍රීීමාල් තනුව සහ සංගීතය නිම කළ මහේෂ් දෙණිපිිටිය, ඊ. ඒ. පී. ආයතනයේ නිෂ්පාදන කළනාකරු නිහාල් සංජය යන අය ද සේයාරුවෙහි වෙති.


වස්සානේ සෙනෙහස මාර්තුවේ

දක්ෂ සංස්කරණ ශිල්පියෙකු වූ ඩෙන්සිල් ජයවීර කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ ‘වස්සානේ සෙනෙහස’ එළඹෙන මාර්තුවේ තිරගතවීමට නියමිතය.

විජේරත්න වරකාගොඩ, ජනක් ප්‍රේමලාල්, වීණා ජයකොඩි, රොඩ්නි වර්ණකුල, චන්දික නානායක්කාර, උමයංගනා වික්‍රමසිංහ, මනෝහාරී විමලතුංග, සඳනි සුලක්නා, උදිත් අබේරත්න, ගුණවර්ධන හෙට්ටිආරච්, මිහිර සිරිතිලක, ගාමිණී ජයලත්, රාජසිංහ ලෝලුවාගොඩ, චාමි සේනානායක, උදාර ලක්සරණි, ශ්‍රියාණි මහවත්ත ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙයි.

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය ඩෙන්සිල් ජයවීරගෙනි. සුදත් ධර්මප්‍රිය සහ උපුල් ප්‍රියන්ත වස්සානේ සෙනෙහස නිෂ්පාදනය කරති.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව