කුස පබා ගැන රේණුකා බාලසූරිය සමග කතා බහක්

ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය ! ? !

රේණුකා බාලසූරිය පිළිබඳ මෑත කාලයේ වැඩිපුරම කතාබහට ලක් වුණේ කුස පබා සිනමාපටය හේතුවෙනි. එහි සම නිෂ්පාදක, රේඛීය නිෂ්පාදක සහ නිෂ්පාදන කළමනාකරණය යන ත්‍රිත්ව තනතුරු මනාව හෙබ වූ ඇය වර්තමානයේ සිටින කාර්යබහුලම නිෂ්පාදිකාව බව ක්ෂේත්‍රයේ කොයි කා අතරෙත් ප්‍රචලිත කරුණකි.

එපමණක් ද නොව ඇය ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදයේ සම ලේකම් ධූරත්වය ද දරන්නීය. කුස පබා එකී සංසදයේ එක් ව්‍යාපෘතියක් වන්නේය.

රේණුුකා සමඟ කෙරෙන මෙම සංවාදයෙන් සියයට ගණනෙන් වැඩි කොටසක් වෙන් වන්නේ එකී සංසදය මූලික කරගෙනය. ඒ මන්ද යත් ශ්‍රී ලංකාවේ දැනට සක්‍රියව සිටින සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් සහ නිෂ්පාදකවරුන්ගෙන් සැදුම් ලත් එය පිළිබඳ නාමයෙන් පමණක් වැඩි දෙනා දන්නා බැවිනි. ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය ඇරැඹීමට පෙරමුණ ගත් අය අතර රේණුකා ද සිටී. එහෙයින් එය පිළිබඳ තතු විත්ති දැන ගැනීමට ඇයම තෝරා ගැනීමට තවත් කාරණාවකි.

රේණුකා මා මුලින්ම දැනගන්නට ප්‍රිය කරන්නේ කුමක්ද මේ ශ්‍රී ලංකා නිර්මාණ සංසදය යන වග?

අප රටේ කලා ක්ෂේත්‍රයේ විවිධ සංගම් තියනවා. විශේෂයෙන් නළු නිළි, කාර්මික යන ක්ෂේත්‍රවල නියැලෙන්නන් ඒ ඒ අයගේ සුබසාධනය උදෙසා සංගම් පිහිටුවා ගෙන ඇති බව පෙනෙන්න තියෙන කරුණක්. එහෙත් නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරුන් එක් කොට තැනුණු සංසදයක් නැහැ. අධ්‍යක්ෂවරුන් පැත්තකින් තියමුකො. නිෂ්පාදකවරුන් තමයි නිර්මාණවලට මුදල් යොදවන්නේ.

නිර්මාණයක් අසාර්ථක වුණාම නිෂ්පාදකයි වන්දි ගෙවන්නේ. ඉතින් එක් නිෂ්පාදකවරයෙක් පළමු නිර්මාණයෙන් පසුව ක්ෂේත්‍රයේ පැත්ත පළාතෙවත් එන්නේ නැත්තේ ඒකයි. ක්ෂේත්‍රය රැකෙන්න නිර්මාණ තිබිය යුතුයි. නිර්මාණ හදන්න ඒවාට මුදල් යොදවන්න නිෂ්පාදකවරු ඉන්න ඕනේ. ඔවුන් නොසිටියොත් අපට කොහෙද නිර්මාණ.

අනික ක්ෂේත්‍රයේ කවුරු ආරක්ෂා කළත් වැඩක් නැහැ නිෂ්පාදකවරු සුරක්ෂිත නොකොට. ඉහත තත්ත්වයන් අපි දැක්කා. ඒ හින්දා ක්ෂේත්‍රය පිළිබඳ දැඩි කැක්කුමක් ඇති උදවිය එකතු කොට යම් සංසදයක් පිහිටුවා ගත්තොත් හොඳයි කියලා අපට හිතුණා. ඒ මීට වසරකට කලින්. එහෙම හිතලා මම, සෝමේ (ආචාර්ය සෝමරත්න දිසානායක) ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් මෙම සංසදය පිහිටුවා ගත්තා.

මෙහි මූලික අරමුණ වන්නේ දේශීය සිනමා කලාවේ යහ පැවැත්මත්, නන් විධ ගැටළු සාමුහිකව මුහුණ දී වඩාත් යහපත් යෝජනා, විසඳුම් ලබා ගැනීම සහ දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් සාමුහික තීරණ ගැනීම. දැනට ක්ෂේත්‍රයේ නියැලී සිටින ප්‍රමුඛ සිනමාකරුවන්ගෙන් 95% පමණ දැනටමත් මේ සංසදයේ සිටිනවා.

කවුද මෙහි සිටින සාමාජික සාමාජිකාවන්?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ප්‍රධාන අනුශාසක හැටියට ඉන්නවා. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ආචාර්ය ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර සහ සුමිත්‍රා පීරිස් සෙසු අනුශාසකවරු. සෝමේ තමයි සභාපති. ප්‍රසන්න විතානගෙ සහ මම ලේකම්වරු. ජස්ටින් බෙලගමගේ භාණ්ඩාගාරික.

මහාචාර්ය සුනිල් ආරියරත්න, ජැක්සන් ඇන්තනී, චන්ද්‍රන් රත්නම්, අසංක එදිරිසිංහ, උදයකාන්ත වර්ණසූරිය, බෙනට් රත්නායක, නීටා ප්‍රනාන්දු, ජයන්ත චන්ද්‍රසිරි, ආරියදාස පීරිස්, අශෝක හඳගම, සුනිල් ටී. ප්‍රනාන්දු, ධම්මික සිරිවර්ධන, ප්‍රසන්න ජයකොඩි, චන්න පෙරේරා, චන්න දේශප්‍රිය, එච්. ඩී. ප්‍රේමසිරි, විශ්වනාත් බුද්ධික කීර්තිසේන, විමුක්ති ජයසුන්දර, රසිත ජිනසේන, සුනිල් සෝම පීරිස්, ජනිත මාරසිංහ, සනත් ගුණතිලක සහ තිස්ස නාගොඩවිතාන විධායක සභාවට ඇතුළත්.

මේ අතරින් ධම්මික සිරිවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, උදයකාන්ත වර්ණසූරිය, තිස්ස නාගොඩවිතාන, සුනිල් ටී., ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ, රසිත ජිනසේන, ජස්ටින් බෙලගමගේ සමඟ මම ඉන්නවා කුස පබා නිෂ්පාදකවරුන් ලෙස.

මෙම සංසදයෙන් කුලුඳුලේ දියත් වන ව්‍යාපෘතිය වන්නේ කුස පබා. කොහොමද ඊට අඩිතාලම වැටෙන්නේ?

පන්සිය පනස් ජාතක පොතේ 525 වැනි ජාතකයයි කුස. ඒක හරිම ලස්සන ජාතක කතාවක්. ඒ ආශ්‍රයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කතාවක් හදලා එහි තිර පිටපත ලියන්න නැසීගිය ආචාර්ය තිස්ස අබේසේකරයන්ට දීලා තියනවා. ඔහු එය මනාව සකස් කොට දුන් පසු සුනිල් සර් ඒ සඳහා 2008 සිට නිෂ්පාදකවරයකු සොයමින් සිටියලු අපේ සෝමෙගෙ සහ සුනිල් සර්ගේ දැඩි මිත්‍රත්වයක් තිබෙනවා. සෝමෙ නිර්මාණයක් කරන්න කලින් තිර පිටපත ලියලා එහි අඩුපාඩු සකසන්න සුනිල් සර්ට දෙනවා .

සුනිල් සර්ත් එහෙමයි. ඒක නිසා කුස පබා පිටපත සෝමෙට එව්වා ගුණදොස් විචාරන්න. සෝමෙ එය දකින්නට පෙර හොරෙන් මම කියෙව්වා. ඒක පුදුුම ලස්සන පිටපතක්. මං සෝමෙට පැවසුවා මේ චිත්‍රපටය කරනවා නම් ලෝ බජට් කරන්නේ නැතිව හොඳට වියදම් කරලා කරනවා නම් විතරක් කරමු කියලා. සැබවින්ම ඒ දැවැන්ත සිනමා කාර්යයට අපි ගාව මුදල් තිබුණෙත් නැහැ. පසුකාලීනව අපේ සංසදය පිහිටුවා ගත් පසු එක්තරා සැසි වාරයකදී පිටපත ඉදිරිපත් කොට මමත්, සෝමෙත් සංසදයේ පළමු ව්‍යාපෘතිය හැටියට කුස පබා කරමුයි යන්න යෝජනා කළා.

කවුද කැමැති වුණේ? කවුද විරුද්ධ වුණේ?

කියන්න සන්තෝසයි. ඒ පිටපතට කවුරු කවුරුත් දැඩි ප්‍රසංසාව පෙන්නුවා මිසක අකැමැත්තක් ප්‍රකාශ වූයේ නැහැ. මා ඉහත සඳහන් කළ නිෂ්පාදක පිරිස මුදල් යොදන්නට තීරණය කළා.

සංසදයේ සාමාජිකයෝ මෙවැනි චිත්‍රපටයක් කරන්නටද බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ?

නැහැ. සමහරෙක් අපි මුල්ම වැඩසටහන හැටියට ළමා චිත්‍රපටයක් කරමු යැයි ද, තවත් අයෙක් විකට එකක් හදමු යැයි අදහස් ඉදිරිපත් කෙරුවා. ඒත් කුස පබා ආ හැටියේ ඒ සියල්ල යටපත් වුණා.

කුස පබාහී රූගත කිරීම් ඇරැඹීමෙන් අනතුරුව සංසදයේ පිරිසගෙන් මොන වගේ උනන්දුවක් ද තිබුණේ?

ඔවුන් වරින්වර දර්ශන තලයට පැමිණියා. අපි කිසිම කෙනෙකුට දින වෙන් කරලා තිබුණේ නැහැ. මේ මේ දිනවලදී රූගත කිරීම් නිරීක්ෂණය කරන්නට පැමිණෙන්නටයි කියලා. ඒත් හිතන්නේ නැති මොහොතවල්වලදී ඔවුන් පැමිණ මානසිකව අපව දිරිමත් කළා.

ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදයේ ඉදිරි වැඩසටහන් මොනවාද?

වසරකට වරක් එක් සිනමාපටයක් නිෂ්පාදනය කිරීමටත්, සිනමා අධ්‍යාපනය අවැසි තැන්වලට එය ලොබ නැතිව ලබාදීමටත්, සිනමා සඟරාවක්, සිනමා වෙබ් අඩවියක් ආරම්භ කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ ලැයිස්තුවේ ඉදිරියෙන්ම තියෙන්නේ අන්තර් ජාතික සිනමා උළෙලක් මෙරටදී පැවැත්වීම.

හෙළ සිනමාව හෙලට නොවැටී යළි නියම මඟට ගෙන ඒමට ඉමහත් වූ තල්ලුවක් ඔබලාගේ මේ සංසදයෙන් ලබා දෙන බවට ඉඟියක් ඔබ මෙතෙක් කළ කතාවෙන් වැටහෙනවා. එහෙත් කුස පබා වෙනුවෙන්, විශේෂයෙන් අංග රචනය සඳහා ඉන්දියාවෙන් පිරිසක් මෙරටට පැමිණි බව ප්‍රසිද්ධ රහසක්?

බොහෝ දෙනෙක් නොයෙකුත් දේ කිව්වට පූජා ලංකාවේ කෙනෙක්. ඇයගේ මව ශ්‍රී ලාංකිකයෙක්. ඒක නිසා ඇය ඉහත පැනයෙන් නිදහස්. අනික පබාවතීට සුදුසුකම් තිබුණේ ඇයට පමණයි. ඊළඟට මං මේකප් ආර්ටිස්ලා ගැන කතා කරන්නම්. ඉන්දියාවෙන් අපි උපදෙස් විතරයි ගත්තේ. ලංකාවේ අයයි අංග රචනා භාරව කටයුතු කලේ. අපි ලංකාවේ හිටපු මේකප් ආර්ටිස්ලට අවස්ථාවක් දුන්නා කුසගෙ නහය හදන්න. ඒත් සියල්ලන්ම ෆේල්. අපි මේ කළේ කුස පබා චිත්‍රපටය මිසක කුස පබා වෙසක් නාට්‍ය නෙවෙයි.

තව දෙයක්, කුස කතාවට පාදක වී ඇති ප්‍රදේශය ඉන්දියාවේ බරනැසනේ. ඉතින් අපි කොහොමද ඉන්දියාවෙන් මිදී කුස පබා කරන්නේ.

කොහොමද කුස පබාට ලැබෙන ප්‍රේක්ෂක පිළිගැනීම?

සතුටුදායකයි. කුස පබා දැනටමත් ආදායම් වාර්තා කිහිපයක්ම බිඳලා හමාරයි. එක් දිනක් තුළදී රුපියල් 5651720 හොයලා ලංකාවේ චිත්‍රපටයක් එක් දිනක් තුළදී ඉපයූ වැඩිම මුදලට හිමිකම් කියන චිත්‍රපටය වීම තමයි කුස පබාට අයිති වූ අලුත්ම වාර්තාව. ප්‍රේක්ෂකයෝ හොඳයි කියනවා. හොඳයි කියපු අය නොදැනුවත්ව හෝ කටින් කට කියලා චිත්‍රපටයට තවත් ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ ප්‍රචාරණයයි අපට වැදගත්.

ඔබලාගේ සංසදයේ නොසිටින චිත්‍රපට නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු තවත් ගොඩ දෙනෙක් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අයට මීට සම්බන්ධවීමට හැකියාවක් තිබෙනවාද?

පුළුවන්. ගුණාත්මක සිනමාවේදීන් අපට තවත් ඕනේ. ඒ පුරප්පාඩු වෙනුවෙන් අපගේ ගොන්නට නැති අය එනවා නම් කොච්චර හොඳද?

ඒ වගේම මේ කතාවත් කියන්න ඕනේ. අප සංසදය, නිතර රැස්වෙන සුබසාධක සංගමයක් නම් නෙවෙයි.

කුස පබා නිෂ්පාදනයේ කොපමණ පිරිසක් වැඩ කළාද?

ම්ම්ම් . . . එකසිය පණස් හයක් විතර.

කාන්තාවක් විදිහට කොහොමද මෙපමණ පිරිසක් ආම්බාං කළේ?

මං හිතනවා කාන්තාවක් වීම නිසාම තමයි මෙපමණ පිරිසක් හසුරුවන්න මට පුළුවන් වුණේ. මං හැම කෙනෙක්ම කෑවද බිව්ව ද කියන එක හොයලා බැලුවා. මමයි අපේ කලා අධ්‍යක්ෂ හීනටිගල ප්‍රේමදාස, අපි දෙන්න තමයි සෙට් එකේ අයගෙන් අඩුවෙන්ම නිදා ගත්තේ. විනාඩියකට හරි ඇස් පියා ගත්තේ බිත්තියකට හේත්තු වෙලා. බොහොම ඉවසීමෙන් මං කටයුතු කළේ. ඒ අයගෙනුත් මට ලැබුණේ අපමණ සහයක්. ඒක නිසයි දින හැටක ෂෙඩුල් එකක් දින හතළිහකින් නිම කළේ.

අවසන් වශයෙන් මං ඉහත කතා කළ දෑවලින් පරිබාහිරව දෙයක් අහන්නම්. රේණුකා බාලසූරිය නම් වූ නිෂ්පාදිකාව නිසා ඔබ තුළ සිටි රංගන ශිල්පිණිය, නිවේදිකාව නිද්‍රා සුවයෙන් පසු වෙයිද?

ඒක අපි අනාගතයට භාර කරමු නේද?

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව