වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




මීට වඩාදෙයක් මට කරන්න තිබුණා

මීට වඩාදෙයක් මට කරන්න තිබුණා

සංගීත අධ්‍යක්ෂ

Udara Samaraweera

ආදරණීය කතාවක් සිනමාපටයේ ආදරණිය සංගීත නිමැවුම්කරුවා ඔහුයි. ඒ මියුරු නද කොතරම් අනර්ඝ වේද කිවහොත් ඉකුත් සරසවිය සම්මාන උලෙළේ දී සම්මානයක් පවා ඒ වෙනුවෙන් ඔහුට හිමි විය. සිනමා සංගීතයට ලැදි හෙතෙම නමින් උදාර සමරවීරය. මියුරු ගීත රැසකට හිමිකම් කියූ ආදරණීය කතාවක් චිත්‍රපටය ඔහුගේ පළමුව සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වීම විශේෂත්වයකි.

උදාර, ආදරණීය කතාවක් ඔබගේ සංගීත ජිවිතයට ආදරණීය බලපෑමක් එල්ල කළා නේද?

ඒක නම් ඇත්ත. මං සිනමා සංගීතයට පිවිසුණේ ඒ හරහා. මාව ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණෙත් ආදරණීය කතාවක් හින්දාමයි. ඒ වගේම ලංකාවේ ප්‍රධානම සම්මාන උලෙළ දී මට සම්මානයක් හිමි වුණා. ඒක ගැන බෙහෙවින් සතුටු වෙනවා.

ආදරණිය කතාවක් සිනමාපටයට සංගීතය යොදන්නට ඔබට අවස්ථාවක් හිමි වන්නේ කොහොමද?

එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහත්මයාව මං හඳුනාගෙන හිටියා. ඔහුත් සමඟ වෙළෙඳ දැන්වීම්කරණයේ යෙදුණා. ඒ විශ්වාසය මත මේ අවස්ථාව ඔහු මට ලබා දුන්නා.

අද වනවිට ආදරණීය කතාවක් හි සංගීතය ගැන මොකද කියන්න තියෙන්නේ?

ඕනෑම නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණ ගැන පසු විමසුමක යෙදෙද්දී හිතෙනවා මීට වඩා දෙයක් කරන්න තිබුණනෙ කියලා. ඒ හැටි. මටත් එහෙම වුණා. අද වනවිට හිතෙනවා මං තව දේවල් ටිකක් එකතු කළා නම් හොඳයි කියලා.

ආදරණීය කතාවක් චිත්‍රපටයේ ඔබ වඩාත් ප්‍රිය කරන ගීතය මොකක්ද?

මේ ඔබට ඇහෙනවද. මං ඒකට හුඟක් ප්‍රියයි. ඒත් ජනප්‍රිය වුණේ අහසෙන් එන ගීතය.

මේ වන විට ඔබට නව රැකියාවක් හිමි වෙලා?

ඊ. ඒ. පී. ආයතනයේ සංගීත අධ්‍යක්ෂ හැටියට කටයුතු කිරීමට මට ඇරැයුමක් ලැබුණා. එම ආයතනවල සියලුම සංගීත නිමැවුම්වල තත්ත්ව පාලනය කොහොමද කියන වග පරීක්ෂා කිරීම තමයි මගේ වගකීම. සවුන්ඩ් කොලිටි එක ඉහළ මට්ටමට ගෙන ඒම තමයි මගේ වගකීම.

එහි ඔබේ රාජකාරි වේලාව ගැන කිව්වොත්?

ඇත්තටම ඔවුන් මට පූර්ණ නිදහස දීලා තියෙනවා වැඩ කරගෙන යන්න. ඒ නිසා නිශ්චිත සේවා කාලයක් නොමැතිව මං සේවය කරනවා. මොකද මට මගේ වැඩත් කරගන්න ඕනනෙ. ඒ වගේ නිදහසක් ඇති නිසා තමයි මේ රාජකාරිය මං බාර ගත්තේ.

මේ දිනවල ඔබ සංගීත අධ්‍යක්ෂණය කළ පළමු නාට්‍ය විකාශය වෙනවා?

ඔව්. ඒකෙ නම වෙස්. ස්වර්ණවාහිනී නාළිකාවේ තමයි විකාශය වන්නේ. එයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් එහි තේමා ගීතයට. ඉල්ලන් යං අපි ගේම ලෙසටයි එය නම් කොට ඇත්තේ. මිහිඳු ආරියරත්න විසින් එය ගයනවා. නිලාර් එන්. කාසිම් තමයි ගීතය ලිව්වේ. ඔහු ද ඒ අන්දමේ ගීතයක් ලිව්වම වෙන්න ඇති.

ඔබේ නිර්මාණ සඳහා ගායක ගායිකාවන් තෝරා ගැනීමේදී මොන වගේ කරුණු කාරණා ද සැලකිල්ලට ගන්නේ?

ගායන හැකියාව ගැන බලනවා. ඔහුට හෝ ඇයට හැඟීම්බරව ගීතයක් ගයන්නට පුළුවන් විය යුතුයි. එක් එක් ගීතවලට ලබාදෙන හැඟීම් වෙනස්. එහෙම ගයන්නට හැකියාව තිබෙන අය පමණයි මා තෝරා ගන්නේ.

ඔබේ ඒ තේරීම් නාමාවලියේ සිටින ගායක ගායිකාවන් කිහිප දෙනෙකු නම් කළොත්?

නව පරපුරේ සනුක, මිහිඳු, නදිමාල් වගේ අය ගායකයෝ වශයෙන් ගත්තොත්. නිරෝෂා, උරේෂා, ශෂිකා වගේ පිරිස ගායිකාවන්ගේ ගොන්නට

හඳුන්වා දෙන්න පුළුවන්. ඒත් නව පරපුර නියෝජනය කරන්න ගායකයින් හිටියත් ගායිකාවන්ගේ අඩුවක් මා දකිනවා. නිරෝෂා අක්කලාගෙන් පසුව බිහිවුණ ගායිකාවන් අඩුයි. විශේෂයෙන්ම චිත්‍රපට සඳහා.

නිර්මාණයන් සඳහා අධ්‍යක්ෂවරයාගේ බලපෑම් එහෙම ආවොත් මොකද කරන්නේ?

ඇත්තම කිව්වොත් මට තවම එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙලා නැහැ. මෙතෙක් මං වැඩ කළ අධ්‍යක්ෂවරුන් මට පූර්ණ නිදහස දීලා තියෙනවා නිර්මාණ කරගෙන යන්න. ඔවුන් දන්නවා මං ඒවාට උපරිම සාධාරණය ඉටු කරනවා කියලා. එහෙයින් මගේ නිදහසේ මං වැඩ කරනවා.

කාලයක් ඔබ විරහ ගීත රැල්ලට ගීත නිර්මාණ කළා. දැන් එයින් අත්මිදිලද?

නැහැ. මං විරහ ගීත කරනවා. ඒකත් වෙනම රසයක්නෙ. විරහ ගීත නොකර ඉන්නවා කියන මතයේ ඉන්න බැහැ. එහෙත් මං ඒකෙම ඇලී ගැලී ඉන්නේ නැහැ. විවිධ පරාසවල ගීත නිර්මාණකරණයේ යෙදෙනවා.