වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




‘සමත්’ චරිතයට සම්මානයක් ලැබෙයි කියලා හිතුණා

‘සමත්’ චරිතයට සම්මානයක් ලැබෙයි කියලා හිතුණා

‘5 සමත්’ චිත්‍රපටයේ ‘සමත්’ අමිරු කෝරලගේ

ඒ කාලය තරමක් දුෂ්කරයි. ඒත් හරිම සතුටුයි. එහෙ කුඩා මදුරුවෝ හිටියා. උන් මට දෂ්ට කරලා විස වුණා. උණ අරගෙන තුවාලත් හැදුණා. රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන්නත් සිදු වුණා. ඒ වගේම එක ගීතයක දර්ශනයක් රූගත කරන්න තිබුණා පුංචි ලෝකාන්තයේ.

සිනමා රංගනයේ 'අ' යනු 'ආ' යනු කියැ වූ නවක ළමා නළු නිළියන් කිහිප දෙනෙක්ම මෙවර සරසවිය සම්මාන උලෙළේ දී සම්මානනීය වන්නට වාසනාව ලදහ. ඒ අතර '5 සමත්' චිත්‍රපටයේ 'සමත්' ලෙස අපූරු රංගනයක නියැලුණු අමිරු කෝරලගේට ද සරසවිය කුසලතා සම්මානයක් හිමි විය. අමිරු තමා ලද කුළුඳුල් සිනමා සම්මානයේ සතුට සරසවිය සමඟ බෙදා හදා ගත්තේ මේ අයුරුනි.

ලැබුණු සම්මානයේ සතුට තවමත් ඔබ විඳිනවා?

ඔව්. හුඟක් ලොකු සතුටක් දැනෙනවා. 'සමත්' වගේම මමත් ඉන්නේ සතුටෙන්.

සම්මානයක් ලැබෙයි කියලා ඔබට හිතුණද?

පුංචි බලාපොරොත්තුවක් තිබුණා 'සමත්' චරිතයට සම්මානයක් ලැබේවි කියලා. මොකද '5 සමත්' චිත්‍රපටයේ අධ්‍යක්ෂක සිවගුරුනාදන් මාමා වගේම මාත් එක්ක රඟපාපු උද්දික මාමාත් මම ඒ චරිතය හොඳින් රඟපෑවා කියලා මට කිව්වා. ඒ නිසා ඒ චරිතයට අගය කිරීමක් ලැබෙයි කියලා මම හිතුවා.

පුතාගේ පාසල් අධ්‍යාපන කටයුතු ගැනත් කතා කරමු?

මම පාසල් අධ්‍යාපනය ලබන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අටවන ශ්‍රේණියේ.

ඔබ රංගනය හදාරනවාද?

ඔව්. මම නාට්‍ය හා රංග කලාව පාසලේදී විෂයක් ලෙස හදාරනවා.

'5 සමත්' ඔබේ පළමු චිත්‍රපටයද?

ඔව්. පුංචි කාලේ ඉඳලම රංගනයට පිවිසෙන්න ආසාවෙන් හිටියේ. හැමදාම මම අම්මාට කියනවා රඟපාන්න ආසයි කියලා. ඒ ආශාව නොහිතපු විදිහට ඉටු වුණා.

ඒ කොහොමද?

'පහ සමත්' චිත්‍රපටයේ තිර රචනය කළේ රසික සුරවීරආරච්චි මාමා. දවසක් මමයි මගේ යාළුවොයි සෙල්ලම් කර කර ඉන්න කොට මගේ බෝලය රසික මාමාගේ කාර් එකේ වැදුණා. එතැනදි තමයි රසික මාමාට මාව 'සමත්'ගේ චරිතෙට හොඳයි කියලා හිතිලා තියෙන්නේ. කෙහොම හරි ඒ අයත් හරියට හොයලා තියෙනවා මේ චරිතයට ළමයෙක්. මට තවත් මගේ වයසේ ළමයින් හතළිහක් එක්ක සම්මුඛ පරීක්ෂණ තියලා ඒ අතරින් මාව තේරුණා මේ චරිතයට. සතියක් විතර එධපඬඵඩධන වලට මම සහභාගි වුණා.

කොහොමද 'සමත්' චරිතය ඔබට දැනුණේ?

'සමත්' ගේ චරිතය රංගනයට මට ශිවා අංකල්ගෙන් උපදෙස් ලැබුණා. ඔහු මට ගොඩක් නිදහස දුන්නා රඟපාන්න. ඒ වගේම මාත් එක්ක රඟපාපු අනෙක් අයත් හුඟක් උදව් කළා. උද්දික අංකල් දිල්හානි ඇන්ටි මේ මොහොතේ මතක් කළ යුතුයි.

සැබෑ ජීවිතයේත් ඔබ සමත් වගේද? (අමිරු සිනාසෙයි)

සමත් කියන්නේ දුෂ්කර ගම්මානයක ධෛර්යවන්තව කටයුතු කළ විශේෂ හැකියාවක්, දක්ෂතා රැසක් ඇති ඉංජිනේරු ඥාණයක් තියෙන ළමයෙක්. ඔහු අලුත් අලුත් දේ ගැන හිතලා නිර්මාණ කරන කෙනෙක්.

ඔබත් ඉගෙනුමට දක්ෂයි නේද?

ඔව්. මම මේ චිත්‍රපටයට දායක වන විටත් පන්තියේ පළමුවෙනියා. හැම විභාගයකදීම පස්වෙනියාට ඉදිරියෙන් ඉන්නවා.

මොනවද සමත් හදපු නිර්මාණ?

දොළකින් කුඹුරට වතුර යන ජල රෝදයක් වගේම අප්පච්චිට කිතුල් රා මදින්න බොලොක්කයකුත් නිර්මාණය කළා. අන්තිමේදී සමත් ටර්බයිනයක් නිර්මාණය කරලා මුළු ගමටම විදුලි ආලෝකය ලබා දෙනවා. සමත් වගේ චරිතයක් රඟපාන්න ලැබීමත් මට සතුටක්.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වුණේ කොහේද?

කිතුල්ගල වගේම රිවස්ටන් ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදු වුුණේ. මාසයයකට ආසන්න කාලයක් රූගත කිරීම් වෙනුවෙන් මේ ප්‍රදේශවල නතර වෙලා හිටියා.

ඒ කාලය ඔබට අමතක නොවන අත්දැකීම් රැසකුත් ගෙන එන්න ඇති?

ඒ කාලය තරමක් දුෂ්කරයි. ඒත් හරිම සතුටුයි. එහෙ කුඩා මදුරුවෝ හිටියා. උන් මට දෂ්ට කරලා විස වුණා. උණ අරගෙන තුවාලත් හැදුණා. රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන්නත් සිදු වුණා. ඒ වගේම එක ගීතයක දර්ශනයක් රූගත කරන්න තිබුණා පුංචි ලෝකාන්තයේ. මට පුංචි ලෝකාන්තයෙන් පහළට එබිලා ඉන්නත් සිදු වුණා. මේ වගේ අමතක නොවන අත්දැකීම් රැසකට මුහුණ දුන්නා.

කිතුල්ගහකටත් නැග්ගා නේද?

ඔව්. ජීවිතේ පළවෙනි වතාවට තමයි කිතුල් ගහකට නැග්ගේ. ඒකත් හරි ජොලි.

බය හිතුණෙ නැද්ද?

බය හිතුණෙම නැහැ.

කොහොමද ඔබට ලැබුණු ප්‍රතිචාර?

හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ දහම් පාසලෙන් අගය කිරිමකුත් මේ චරිතය වෙනුවෙන් කළා. ඒ ගැන හුඟක් සතුටුයි.

මොනවද ඔබේ නවතම කලා තොරතුරු?

මම වෙළෙඳ දැන්වීමකට දායක වුණා. ඒ වගේම පෝය නාට්‍යයකට දායක වුණා. හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් ආසාවෙන් දායක වෙනවා. ඕනෑම චරිතයක් අභියෝගයක් බාර ගන්න මම සූදානම්. ඒ ශක්තිය සරසවිය සම්මානයෙන් තව තවත් දියුණු වුණා.

නිවෙසින් ඔබට ලැබෙන සහයෝගය මොන වාගේද?

මගේ අම්මා ගුරුවරියක්. ඇය දිනිති කෝරලගේ. පියා ව්ච්ඕ බැංකුවේ කළමනාකාරවරයෙක්. ඔහු අමිත් කෝරලගේ. එකම අයියා අපූර්ව කෝරලගේ. දැන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. ගෙදරින් ලැබෙන සහයෝගයට ඒ හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පාසලේ විදුහල්පති පියතුමා ඇතුළු මට උගන්වන ගුරුවරුන්ට පන්තියේ යහළුවන්ට හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා.