වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙදර එන්න බැරි විත්තිය ප්‍රවෘත්තිවලින් කී හැටි

ගෙදර එන්න බැරි විත්තිය ප්‍රවෘත්තිවලින් කී හැටි

Dushantha Darshana

ඇත්තම කිව්වොත් මාව නමින් බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ඒත් මාව දැකලා මං ප්‍රවෘත්ති නිවේදකයකු කියලා බොහෝ දෙනකු හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් පිට පළාත්වලදී ඒ හඳුනා ගැනීමට මං ආසයි.

එකල ප්‍රකට ගුවන් විදුලි ශිල්පියකු ගුවන් විදුලියේ විකාශය නිමාවත් සමඟ සියලුම උදවිය ඉන් පසු ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බැව් දැනගෙන තම නිවසට පණිවිඩ දුන්නේය. ඒ මොහොතේදී ඔහු නිවැසියන්ට උපදෙස් දෙනු ලැබුවේ ගුවන් විදුලි සේවයේ විකාශය නිමා වුණ බව තමන් විසින් දැන්වුවද නිවසෙහි ගුවන් විදුලිය ක්‍රියා විරහිත නොකරන හැටියට දන්වාය. ඒ උපක්‍රමය භාවිත කරමින් පණිවුඩ යැවූ අයකු මේ වකවානුවේදී හමු විය. ඔහු නමින් දුෂාන්ත දර්ශන වේ. ජාතික නාලිකාවේ සේවය කරන දුෂාන්ත රූපමාධ්‍ය හරහා නිවසට පණිවිඩ යැව්වේ උපක්‍රමශිලීවය. එතැනින්ම ඔහු මේ කතාබහ ඇරැඹීය.

ඔය වැඩේ මං කළේ කාලෙකට ඉස්සර. දැන් ඒක හෙළි කළාට කමක් නැහැ. මේ සිද්ධිය වෙනකොට ජංගම දුරකතන පහසුකම වැඩිය තිබුණේ නැහැ. හවස පුවත් විකාශය මං ඉවර කරලා ගෙදරට එනකම් මගේ අම්මා මඟ බලාගෙන ඉන්නවා. සමහර දවස්වලට මට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් ක්‍රීඩා ප්‍රවෘත්ති ටික ඉදිරිපත් කරන්නට වුණා. මං ගෙදර එන්න රෑවෙනවා කියලා පළමු දවසේ අම්මට පණිවුඩය කියාගන්න ඕන වුණා. ඒත් බැරි වුණා. මං ගෙදර එනකම් අම්මා මඟ බලාගෙන ඉඳලා. මේකට විසඳුමක් මං හොයා ගත්තා. මං අම්මට කිව්වා හවස ප්‍රවෘත්ති ඉවර වෙලා මං ගෙදර එනවා නම් 'හෙටත් නැවත මේ වේලාවට හමුවෙමු' යන වාක්‍ය කියලා මං ප්‍රවෘත්ති නිම කරනවා කියලා. හවස ප්‍රවෘත්ති කියලා රෑ ප්‍රවෘත්තිවලටත් මං ඉන්නවා නම් මං හවස ප්‍රවෘත්ති නිමා කරන්නේ 'හමුවෙමු අප රාත්‍රී අට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්' යන වාක්‍යයෙන්. ඒ විදිහට තමයි ඒ කාලේ නිවසට පණිවුඩය යැව්වේ.

දුෂාන්ත රූපවාහිනියට එන්නේ කොහොමද?

දෙදහස් හත වසරේ පැවැති පළමු දැයට කිරුළ ප්‍රදර්ශනයේදී තිබුණා රූපවාහිනි මාධ්‍ය කුටි කිහිපයක්. ඒවාහි එම නාලිකාවලට ආධුනිකයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පැවතුණා. ජාතික නාලිකාවේ කුටියේ තිබුණු සම්මුඛ පරීක්ෂණයට මං සහභාගි වුණා. ඉන් තේරුණා. මාත් එක්ක දහනව දෙනෙකු ජාතික නාලිකාවට ආවා. ඒත් මං විතරයි අද එහි රැඳිලා ඉන්නේ.

එදා පටන් අද වනතෙක්ම ප්‍රවෘත්තිම තමයි නේද?

ඔව්. ප්‍රවෘත්තිම කියනවා.

ලයිෆ් එක බෝරිං නැද්ද?

මේ වන විට මගේ ජීවිතයම ප්‍රවෘත්තිම තමයි. ගෙදර ගියත් සින්දුවක් අහන්නෙ නැහැ, ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් බලන්නෙ නැහැ. කරන්නෙම ප්‍රවෘත්ති බලන එකම තමයි. හැබැයි මගේ මේ වෘත්තියට මං ආසයි. ඉන් ලැබෙන ආත්ම තෘප්තිය කියා නිම කරන්නට බැහැ.

ප්‍රධාන ප්‍රවෘත්ති කියන්න කොපමණ කල් බලාගෙන හිටියද?

අවුරුදු අටක් හිටියා. මමම හිටියා මිසක් වෙන කෙනෙක් නම් මෙලහකට දාලා ගිහිල්ලා.

ජාතික නාලිකාව හැර නොගියේ?

රටකට තියෙන්නේ ජාතික කොඩි එකයි. ජාතික ගී එකයි. ජාතික වාක්ෂ, ජාතික පුෂ්ප, ජාතික ක්‍රීඩාව එකයි. ඒ වගේම තමයි ජාතික නාලිකාත් එකයි. ඒ නිසා මං මෙතැන දාලා යන්නේ නැහැ.

ජාතික නාලිකාවෙන් පිටස්තර ලොකයේ ඔබ ජනප්‍රිය චරිතයක්ද?

ඇත්තම කිව්වොත් මාව නමින් බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ඒත් මාව දැකලා මං ප්‍රවෘත්ති නිවේදකයකු කියලා බොහෝ දෙනකු හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් පිට පළාත්වලදී ඒ හඳුනා ගැනීමට මං ආසයි.

නිවුස් කියද්දී වෙච්ච අමතක නොවන අත්දැකීමක් මතක් කළොත්?

කැබතිගොල්ලෑවේ බෝම්බය ගැන කියද්දී සහ එහි දර්ශන දකිද්දී මං හුඟක් සංවේදී වුණා. ඒත් ඒ දුක යටපත් කරගෙන එදා ප්‍රවෘත්ති කිව්වා. ඒ මොහොත කවදාවත් මට අමතක නම් වෙන්නේ නැහැ.

මොනවද පෞද්ගලික ජීවිතයේ විස්තර?

මං තවම අවිවාහකයි. පදිංචිය ඉංගිරියේ. ගොඩගම සුභාරති සහ කොළඹ නාලන්ද විදුහල්වලින් තමයි මං අධ්‍යාපනය හැදෑරුවේ.