වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




කලා අධ්‍යක්ෂණය ආප්ප බානවා වගේ කරන්න පුළුවන් දෙයක් නොවෙයි

කලා අධ්‍යක්ෂණය ආප්ප බානවා වගේ කරන්න පුළුවන් දෙයක් නොවෙයි

කලා අධ්‍යක්ෂ සුනිල් විජේරත්න

කලා අධ්‍යක්ෂවරයකු ලෙසින් චිත්‍රපටය වෙනුවෙන් කළ හැකි දායකත්වය තීරණය වන්නේ ඒ චිත්‍රපටයේ ඒ වෙනුවෙන් වැය කරන මුදලත් සමඟ මම මගේ උපරිම කැප කිරීම තුළ.

කලා ක්ෂේත්‍රයේ නම් දැරූවන් ද නවකයන් ද සම්මානනීය වූ සොඳුරු රාත්‍රියක් වූ සරසවිය සම්මාන උලෙළ පසුගියදා නිමාව දුටුවේ අපේ සම්මාන වංශ කතාවේ නව පරිච්ඡේදයක් පෙරළමිනි. තිස් හතර වන සරසවිය සම්මාන උලෙළේ දී මෙලෙස සම්මානනීය වූවන් අතරේ පිට පිටම සරසවිය සම්මානයෙන් ඇගැයීමේ භාග්‍ය ලැබූවන් ද සිටීම විශේෂත්වයක් විය. 2016 හා 2017 වර්ෂයන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම මෙවර සරසවිය සම්මාන උලෙළේ දී සිදු කෙරුණු අතර එහිදී වර්ෂ දෙක වෙනුවෙන්ම සම්මාන ලැබීමේ විරල අවස්ථාවක් ද දක්නට ලැබිණි. ඒ හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් එකම පුද්ගලයකු සම්මාන හිමිකර ගැනීමයි. සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයකු වූ සුනිල් විජේරත්න මෙහිදී දෙවර්ෂය වෙනුවෙන්ම හොඳම කලා අධ්‍යක්ෂවරයා ලෙසින් සරසවිය සම්මානයෙන් පුදනු ලැබීය. (2016 වසරේ ඔහුත් සමඟ අසංක නීලවතුර කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානනීය විය). මේ ඒ නිමිත්තෙන් ඔහු හා කෙරෙන කතාබහකි.

සුනිල් මෙවර සරසවිය සම්මාන උලෙළ ඔබට සුවිශේෂයි?

ඔව්. වර්ෂ දෙකේම හොඳම කලා අධ්‍යක්ෂවරයා මම. 2016 වසරේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරිගම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් මමත් අසංක නීලවතුරත් සම්මානනීය වුණා. 2017 වසරේ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙනුත් මට සරසවිය සම්මානය හිමි වුණා.

එකවර සම්මාන දෙකකින් හොඳම කලා අධ්‍යක්ෂවරයා ලෙසින් සම්මාන ලැබීම ගැන ඔබට හැඟෙන්නේ?

කළ කැප කිරීමට අගය කිරීමක් ලැබුණා. මට සංතෝසයි. මේ නිර්මාණවලට විශාල කැප කිරිමක් කළා. වෙච්ච මහන්සියේ ප්‍රතිඵලය මට සම්මානත් එක්ක දෝතට ලැබුණා.

මේ වෙනකොට ඔබ කලා ක්ෂේත්‍ර්යේ අත්දැකීම් බහුල ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙක්?

දැන් මගේ කලා ජීවිතයට අවුරුදු හතළිස් හතක්. මේ හතළිස් හත ගෙවල දැම්මේ ගොඩක් කටු කාලා මහන්සි වෙලා. අත්දැකීම් සම්භාරයක් මම මට කියලා එකතු කරගෙන. එහෙම ගමනක් ආපු මාව දැන් තමයි ඇගැයීමට ලක් වෙන්න පටන් අරන් තියෙන්නේ.

කතාවේ හැටියට නම් ඔබ මේ ක්ෂේත්‍රයේ කළ කැප කිරීම සුළුපටු නැති හැඩයි?

අපි මේ ක්ෂේත්‍රයේ කළ කැප කිරීම අද මේ ක්ෂේත්‍රයට එන අය තුළ තියෙනවාද කියලත් සැකයි. කලා අධ්‍යක්ෂණය කියන දේ ආප්ප බානවා වගේ කරන්න පුළුවන් දෙයක් නොවෙයි. නවකයෝ එහෙම තමයි හිතාගෙන එන්නේ. ඒත් දවසෙන් දෙකෙන් මේක එපා වෙලා දාලා යනවා. රැයක් දවාලත් නෑ. පිටපතට ඕනෑ පසුබිම මවන්න ඥානයක් අපි තුළ ඇති වෙන්න ඕනේ. ඒ ඥාණය ලැබෙන්නේ ක්ෂේත්‍රයේ අත්දැකීමෙන් මිසක් ඕපපාතිකව නොවෙයි.

මීට පෙරත් ඔබ සම්මානනීය වුණා ද කලා අධ්‍යක්ෂණය වෙනුවෙන්?

මීට පෙර සරසවිය සම්මානය මම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් 2010 සංඛාරා චිත්‍රපටය වෙනුවෙන් ලබාගෙන තියෙනවා. ඊට අමතරව ඕසීඅයිසී සිනමා සම්මාන උලෙළේදී හතර වතාවකුත්, හිරු සිනමා සම්මාන උලෙළේදී දෙවතාවකුත්, දෙරණ සිනමා සම්මාන උලෙළේදී දෙවතාවකුත් මම හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලබා තියෙනවා.

සිනමාවට විතරද ඔබේ කැප කිරීම?

අද වෙනකොට සිනමාවට විතරයි. ටෙලි නාට්‍යවලට ඕනෑ තරම් කතා කරනවා. ඒත් මම යන්නේ නැහැ. මගේ පළවෙනි ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය වුණේ බර්ට්‍රම් නිහාල්ගේ ගම්පෙරළිය. ඒක ඇත්තෙන්ම මගේ කලා ජීවිතයේ සුවිශේෂී නිර්මාණ දායකත්වයක්. මට මතක හැටියට මාස එකොළහක් විතර අපි ඒ වෙනුවෙන් කැප වුණා. වෙළෙඳ දැන්වීම් කළා. අද වෙන කොට මම ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ සිනමා නිර්මාණ වෙනුවෙන්.

මේ දවස්වල සම්මානනීයවීමේ සතුටත් සමඟ දැවැන්ත සිනමා නිර්මාණයක් වෙනුවෙන් වෙහෙසෙනවා කියලා ආරංචියි?

සෝමරත්න දිසානායකගේ අලුත්ම චිත්‍රපටය වූ සුනාමි හි මේ දවස්වල වැඩ කරමින් ඉන්නේ. මේ චිත්‍රපටයත් මෙගා ගණයේ මූවීස් එකක්. මේ ටික කාලයටත් පුදුම කැප කිරීමක් තමයි ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ. චිත්‍රපටය වෙනුවෙන් කල්පිටිය ප්‍රදේශයේ ඉස්සො කොටුවක් සුනාමි රළ වෙනුවෙන් නිර්මාණය කරනවා. වාහන පවා ගහගෙන යන ආකාරයට චිත්‍රපටය තිරගත වෙනදාට කාටත් පුදුමයක් එක් කරයි මේ දැවැන්ත කාර්්‍යයය කොහොමද කළේ කියලා.

මෙවැනි දැවැන්ත නිර්මාණ වෙනුවෙන් ඔබේ හැකියාවන් එළිදක්වන්න ඔබට මාර්ගය විවර වුණේ කොහොමද?

මම මුලින්ම සිලෝන් ස්ටුඩියෝවේ රැකියාව කරන කාලයේ ජේ. ඒ. වින්සන් මහතා යටතේ පසුතල නිර්මාණය ගැන ඉගෙන ගත්තා. මට චිත්‍ර ඇදීමේ හැකියාවත් තියෙන නිසා මේ කාර්ය කෙනකුට ගැටලු සහගත වුණත් මට චිත්‍ර හැකියාව නිසාම වඩාත් පහසු වුණා. ජේ. ඒ. වින්සන් මට සහතිකයක් දුන්නා දැන් සුනිල් එළියට යන්න ඔයාට තනියෙන් වැඩ කරන්න දැන් පුළුවන් කියලා. අන්න ඒ වචනයේ හයිය අරන් තමයි මම මේ ගමන ආවේ. ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනයත් සමඟ වැඩ කරන කොට මට ලෝකයේ නම් දැරූ චිත්‍රපට රැසක වැඩ කරන්න ලැබුණා. මට තනියෙන් ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසය සමඟ තමයි ගාමිණී ෆොන්සේකාගේ කොටි වලිගය චිත්‍රපටයට මම කලා අධ්‍යක්ෂණයෙන් එක් වුණේ. මදර් තෙර්සා, වෝටර්, පයිලට් ප්‍රේමනාත්, රැම්පේජ්, සර් බෙන් කිංසම්, කොමන් මෑන් ආදී චිත්‍රපට රැසක් වෙනුවෙන් මම දායක වී අත්දැකීම් සම්භාරයක් ලැබුවේ දීර්ඝ ගමනකට හොඳ පදනමක් එක් කර ගනිමින්.

ඔබ අතින් නිර්මාණය වූ චිත්‍රපට නිර්මාණ ගැන ආපසු හැරිල බලන කොට මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ?

කලා අධ්‍යක්ෂවරයකු ලෙසින් චිත්‍රපටය වෙනුවෙන් කළ හැකි දායකත්වය තීරණය වන්නේ ඒ චිත්‍රපටයේ ඒ වෙනුවෙන් වැය කරන මුදලත් සමඟ මම මගේ උපරිම කැප කිරීම තුළ. මට දෙන බජට් එකට මම උපරිමයක් කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්. ඒත් සමහර නිර්මාණවලදී නම් ඇත්තෙන්ම දුකක් ඇති වෙනවා. පසුතල නිර්මාණයේදී ඒ සඳහා මට මීට වඩා යමක් තව කරන්න තිබුණානේ ඒ සඳහා නිෂ්පාදනයෙන් මට සහයෝගයක් දුන්නා නම් කියලා. මම කළ වැඩක අසතුටක් මට ඇති වෙලා තියෙන්නේ මට කළ හැකි දේට අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා මිසක් මගේ වැඩක දුර්වලකමක් නිසා නොවෙයි.

ඇත්තද මේ චිත්‍රපට නැතුව ගෙදර ඉන්නත් බැරි අමාරුවක් දැන් ඔබට හැදිලා කියන්නේ?

ඒක නම් ඇත්ත. චිත්‍රපටයක වැඩක් නැත්නම් මට ගෙදර ඉන්න එකත් මහ වදයක්. හරියට නිකන් පිස්සු වගේ. ඒ තරමට මට මේ ජීවිතය බද්ධ වෙලා.