වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




මෙහෙමත් අසාධාරණයක්

මෙහෙමත් අසාධාරණයක්

ධම්මික පතිරත්න කියන නම ඔබ වැඩිය අහලා නැතුව ඇති. ඒ වගේම ඔහුගේ රුව ද එතරම්ම ඔබට හුරුපුුරුදු නැහැ. එනමුත් ධම්මිකගේ තෙවැනි ඇසෙන් ගත් ඡායාරූප නම් ඔබ කිසිසේත්ම නොදැක ඉන්න විදිහක් නැහැ. ඉකුත් කාලයේ තිරගත වූ චිත්‍රපටවලින් සියයට පනහක විතර නිශ්චල ඡායාරූප ගත්තේ ඔහු. 'මහරජ ගැමුණු', 'ධර්ම යුද්ධය', 'ගෝල්', 'පහ සමත්', 'මේ වගේ ආදරයක්' ආදී චිත්‍රපට පෙළක්ම තියෙනවා ඔහු සේයාරූ ගත්. එම ඡායාරුප තමයි කටවුට් පෝස්ටර්වල තියෙන්නේ. දශක තුනකට ආසන්න කාලයක් චිත්‍රපට ක්ෂේත්‍රය තුළ සිටින ධම්මිකට මහත් වූ අසාධාරණයක් වෙලා. කලාකරුවකුට එහෙම දෙයක් වුණාම සරසවිය අප නිරන්තරයෙන්ම පෙනී සිටිනවා. ධම්මිකගේ වචනවලින්ම සඳහන් කළොත් මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

චිත්‍රපටයක් ආරම්භ කරපු බොහෝ දෙනකු නිශ්චල ඡායාරූප ගැන තැකීමක් කරන්නේ නැහැ. ඒත් ඒවා ඕන වෙන්නේ චිත්‍රපටයේ ප්‍රචාරයට. නිශ්චල ඡායාරූපයක් නැතිනම් කටවුට් එකක්වත් ගහන්න බැරි වෙනවා. මේකත් චිත්‍රපටයකට අත්‍යවශ්‍ය අංගයක්. එහෙම තියෙද්දී අප කරන වගකීමට අඩුම තරමේ චිත්‍රපටයේ නාමාවලියේ අපේ නම සඳහන් කරන්නේ නැහැ. චිත්‍රපටයත් ඉවර වෙලා පොඩියට නම දානවා. ඇයි එහෙම කරන්නේ. මට හරියට දුක හිතුණා එහෙම දේවල් වෙනකොට. අපේ වටිනාකම දන්න අධ්‍යක්ෂවරු ඉන්නවා. නමුත් අතළොස්සක් දෙනා අපට කරන්නෙම අසාධාරණ වැඩ. මින් ඉදිරියේදිත් එහෙම නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.