වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සිසිල්ගේ 'රැළිය' ටෙනී සමඟ රී-මික්ස් වෙයි

සිසිල්ගේ 'රැළිය' ටෙනී සමඟ රී-මික්ස් වෙයි

ආචාර්ය සිසිල් ගුණසේකර

ආචාර්ය සිසිල් ගුණසේකරගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය නිර්මාණයක් වන "රැලිය" මේ මස 31 වනදා සවස 3.30 ට අරලියගහ මන්දිරයේදී වේදිකා ගතවීමට නියමිතය. ප්‍රවීණ කලාකරු සිසිල් ගුණසේකර සහ රැළිය නාට්‍යයේ ප්‍රධාන චරිතය මවන ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ සමඟ පෙළ ගැසෙන මේ කතාබහ ඒ නිමිත්තෙනි.

රැලිය වේදිකා නාට්‍ය පිළිබඳව අප සමඟ මුලින් අදහස් දැක් වූයේ ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේයි.

'මම රැලිය නාට්‍යයට සම්බන්ධ වන්නේ දැනට අවු. 25 කට පමණ ඉහතදියි. එයට දිගු ඉතිහාසයක් තිබෙනවා. ඒ වෙනකොට මම සිනමා නළුවෙක්. මම දෙබස් තිර රචනය කළ පෙරළිකාරයෝ චිත්‍රපටය ගම්පොල ප්‍රදේශයේ රූගත කළා. එහිදී ප්‍රධාන රංගන ශිල්පියෙකු වූ විමල් කුමාර ද කොස්තා මට හමු වෙනවා. ඒ වෙනකොට මම ගමේ පල්ලිවල, වේදිකාවේ නාට්‍යවල රඟපාලා තිබුණත් ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් තිබුණේ නැහැ. නමුත් විමල් මේ වන විට ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රවීණයෙක්. ඔහු මට කියනවා 'ටෙනී 'ගුවන් කරනම්' කියලා වේදිකා නාට්‍යයක් සිසිල් ගුණසේකර කරනවා. උඹත් වරෙන් යන්න කියලා මාවත් එක්කගෙන ගියා. ඒ වෙනකොට මමත් ලොකු ආසාවකින් ඉන්නේ ප්‍රසිද්ධ වේදිකාවට එක්වෙන්න. හැමදාම මම දකිනවා 'පුදුම ලාම්පුව' වේදිකා නාට්‍යයේ ලොකු කටවුට් එකක් ගහලා තියෙනවා දෙහිවල. ඒ වේදිකා නාට්‍යයේ රඟපෑවේ ඒ වෙනකොට කලාවේ ප්‍රවීණයන් වුණු කලංසූරිය, කාන්ති ලංකා, විමල් වගේ අය. විමල් මගේ බයික් එකේමයි යන්න එන්නේ. දවසක් අපි දෙන්නා ගුවන් විදුලි සංස්ථාවට ගියා සෝමපාල රත්නායක හමු වෙන්න. එහිදී සිසිල්වත් අපිට මුණගැහුණා. විමල් සිසිල්ට මාව හඳුන්වා දුන්නා. 'මේ ඉන්නේ ටෙනිසන් කුරේ. පෙරළිකාරයෝ මෙයාගේ තිර රචනයක්' කියලා. පසුව සිසිල් මෙයාටත් සුළු චරිතයක් දෙන්න බලමු කියලා මට රිහසල් එන්න කිව්වා. බොහොම සුළු චරිතයක් මට ලැබුණා. ඒ 'ගුවන් කරණම්' වේදිකා නාට්‍යයේ. මට අද වගේ මතකයි. එය වේදිකා ගත වුණේ වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණ ශාලාවේ. හවුස්ෆුල්. අපි උදේ වරුවේ රිහසල් කරලා නාට්‍යය පුහුණු වුණා. ඒ නාට්‍යයේ හිටපු ප්‍රවීණයන් වුණු කලංසූරියට, කාන්ති ලංකාට එහෙම මම හරි බයයි. මොකද මම ආධුනික නිසා. කොහොම හරි නාට්‍යය තරමක් කොටයි. ඒ නිසා කලංසූරිය මට කියනවා 'මල්ලී නාට්‍යය කොට වැඩියි නේද? ඔයාට පුළුවන් ද සීන් එක ටිකක් දුරට අදින්න' කියලා. මම ඉතින් ලැබුණු අභියෝගය සතුටින් බාර අරගෙන විනාඩි 15 ක් විතර දුරට නාට්‍යය ඇදගෙන ගියා. එදා එය නරඹලා හෝල් එකේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය අදටත් අමතක වෙන්නේ නැහැ. නාට්‍යය ඉවර වුණාම හෝල් එක දෙවනත් වෙන්න අත්පුඩි ගහලා විසිල් ගහලා තමයි අපිට ප්‍රතිචාර දැක්වූවේ. ඉන් පස්සේ තමයි 'රැළිය'ට මම සහභාගි වෙන්නේ. මේ නාට්‍යය කොච්චරකට රට වටේ දුවනවද කිව්වොත් මාස දෙකට දවස් 55 ක් නාට්‍යය තිබුණා. ෂෝස් 110 ක් සමහර වෙලාවට. මම අනෙක් නාට්‍ය දවල් රඟපාලා හවසට රැලියට යනවා. මාරුවෙන් මාරුවට තමයි රඟපාන්න ගියේ. ඒතරම්ම ඉල්ලුමක් තිබුණා. පසු කාලෙක රැලිය නාට්‍යය අතරමඟ නතර වුණේ සිසිල් විදේශ ගත වුණාට පසුව. මේ වන විට යළිත් සිසිල් ලංකාවට පැමිණ තිබෙනවා. මීට මාස කිහිපයකට උඩදී දිනෙක ඔහු මා හමු වී මේ නාට්‍යය නැවත පටන් ගනිමු කියලා යෝජනා කරනවා. ඉන් පසුව තමයි මේ විදිහට යළිත් රැලිය නාට්‍යයට මගේ දායකත්වය ලැබෙන්නේ. රැලිය නාට්‍ය අලුත්ම මුහුණුවරකින් තමයි දැන් වේදිකා ගත වෙන්නේ. අද කාලෙට සමාජයට, යුගයට ගැළපෙන ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අලුත්ම වින්දනයක් රැලිය රීමික්ස් නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයාට ලැබෙනවා'. ටෙනිසන් රැලිය ගැන පවසන්නේ සතුටිනි.

'රැලිය' වේදිකා නාට්‍යයේ නවතම මුහුණුවර ගැන එහි නිර්මාණකරු ආචාර්ය සිසිල් ගුණසේකර පවසන්නේ මෙවැන්නකි.

'රැලිය' නාට්‍යය කියන්නේ ලංකවේ ජනප්‍රිය වූ වේදිකා නාට්‍යයක්. එදා රැලිය වේදිකා ගත වෙනකොට ප්‍රේක්ෂකාගාරයම පිරී ඉතිරිලා. අදටත් එහෙමයි. දැන් තියෙන තතත්වයත් ඒවගේමයි. දර්ශන වාර දීගන්නට විදිහක් නැතුවයි ඉන්නේ. මේ වනවිට ද දර්ශන වාර 30 ක් ඉවරයි. රැලිය නැවත පටන් ගන්න විශේෂ හේතුවක් තිබුණා. මං ලංකාවට ආපු වෙලාවේ පොඩි කලකිරීමක් ඇතිවෙලා මේ නාට්‍යය නවත්වන්න තිරණය කරලා හිටියේ. ඒත් මම අරලියගහ මන්දිරයට ගිය වෙලාවක මගේ හිතවත් මහත්මයෙක්ට මේ අදහස මගෙන් පිටවෙලා ඔහු ඉල්ලීමක් කළා නවත්වන්න එපා. මංගල දර්ශනය අපිට දෙන්න කියලා. ඉතින් ඒ අදහස මත තමයි රැලිය පටන් ගත්තේ. ඒ වුණත් රැලිය නැවත පටන් අරගෙන රට වටා දර්ශන වාර සෑහෙන ප්‍රමාණයක් තිබ්බාට පසුව තමයි මේ අගෝස්තු 31 වැනිදා අරලියගහ මන්දිරයේදී සවස 3.30 ට මෙය වේදිකා ගත වෙන්නේ. මෙය ප්‍රධාන වශයෙන්ම යුගයට ගැළපෙන දේශපාලන ප්‍රහසනයක් කියලා කියන්න පුළුවන්. මෙය නරඹන ප්‍රේක්ෂකයාට හිනා වෙලාම තමාගේ ලේ ටික පිරිසුදු කරගන්න පුළුවන්. ඒ වගේම දේශපාලනය වටා ගෙතෙන විවිධ කාලීන සංසිද්ධීන් මෙයට ප්‍රස්තුත වෙනවා. අද කාලයේ පරිගණකයට යොමු වෙලා ඉන්න සමාජයට, නිතරම පීඩනයෙන් පසුවන අයට මෙය ඉතා හොඳ ඖෂධයක් ලෙස මට හැඟෙනවා. හැම දෙනාටම මේ නාට්‍යය නරඹන්නට එක්වන ලෙස මම ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ නාට්‍යය අරලියගහ මන්දිරයේදී වේදිකා ගත වෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලීය සේවක සුභසාධක සංගමයට ආධාර පිණිසයි.