වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිනාරා පුංචිහේවා තිරයට හඳුන්වා දෙන සජිත අනුත්තර ප්‍රධාන චරිතය මවන ප්‍රසන්නගේ ගාඩි ඔක්තෝබර් 5 වැඩ ඇරැඹේ

ඩිනාරා පුංචිහේවා තිරයට හඳුන්වා දෙන සජිත අනුත්තර ප්‍රධාන චරිතය මවන ප්‍රසන්නගේ ගාඩි ඔක්තෝබර් 5 වැඩ ඇරැඹේ

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සිය දස වැනි සිනමා නිර්මාණය ගාඩි පස් මසක පූර්ව නිෂ්පාදන සමයකින් පසු එළඹෙන ඔක්තෝබර් මස 05 වැනිදා සිට රූපගත කිරීම් ආරම්භ කෙරේ.

සජිත අනුත්තර සමඟ තිරයට හඳුන්වා දෙන ඩිනාරා පුංචිහේවා ප්‍රධාන චරිත මවන ගාඩි චිත්‍රපටයේ ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර සමඟ පන්සියයක අධික නළු නිළියන් පිරිසක් රඟපෑමට නියමිතය. ෆිල්ම් අයිලන්ඩ් සමාගම සමඟ බොල්වුඩ් නිෂ්පාදන සමාගමක් වන ජා පික්චර්ස් නිෂ්පාදනයක් වන ගාඩි ඉන්දීය සහ ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ දායකත්වයෙන් නිම වේ.


 

රිකී 2 සිනමා ශාලාව විවෘත වෙයි

එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ මුදා හැරීම් සිනමා ශාලාව වශයෙන් නව තාක්ෂණයත් සමඟ අති නවීන සිනමා ශාලාවක් ලෙස පසුගිය දින රිකී 2 සිනමා ශාලාව විවෘත කරන ලදී. සිනමා නළු නිෂ්පාදක සහ එම්. පී. අයි. මණ්ඩලයේ අධ්‍යක්ෂ අර්ජුන කමලනාත්ගේ 5 වැනි සිනමා ශාලාව වන මෙය ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ සිනමා මණ්ඩල අධ්‍යක්ෂවරුන් ඇතුළු කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් සමාරම්භ විය.

මේ වන විට ගාල්ල, අම්බලන්ගොඩ ඇතුළු ප්‍රධාන නගර ගණනාවක එම්. පී. අයි. සිනමා මණ්ඩලය යටතේ නව සිනමා ශාලා ඉදි වෙමින් පවතී. මේ ඔස්සේ ඉදිරි වසර තුළ දේශීය සිනමාව නඟා සිටුවීම සහ උසස් තලයකට ගෙන ඒම ඔවුන්ගේ අරමුණ බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කළේය.

ඩබ්ලිව්. ප්‍රේමරත්න මියයයි

පැරැණි ගායනවේදියකු වූ ඩබ්ලිව්. ප්‍රේමරත්න ඉකුත් දා අප අතරින් සදහටම සමු ගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ පහකි. ඩබ්ලිව්. ප්‍රේමරත්න මිරිඟුව චිත්‍රපටයට ගැයූ මිහිලියගේ තුණු සපුව පුරා ගීතය එදා මෙදාතුර සංගීත ක්ෂෙත්‍රයේ අමරණීයය. එමෙන්ම අමකර කුරවි සරින්, සඳ පවා, සාගර මත සඳ කිරණ වැටී (ජී. එස්. බී. රාණි පෙරේරා සමඟ) ඔහුගේ ජනප්‍රිය ගී අතර වේ.

මං කෙළින් මිනිහෙක් 19 දා

අසංක සායක්කාරගේ නාට්‍ය නිර්මාණය ‘මං කෙළින් මිනිහෙක්’ මෙම මස 19 වැනිදා දෙහිවල එස්. ද එස්. ජයසිංහ රඟහලේදී රංගගත වේ. වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම නාට්‍යයෙහි සුමිත සුධීෂ්වර සහ කැලුම් ගම්ලත් රංගනයේ යෙදෙති.


මොහාන් රාජ් මඩවලගෙන් 'COLOMBO'

ලොවීනා, මාගම්සෝලිය, ආදරණීය වික්ටෝරියා සහ රැජින යන නවකතා රචනා කළ මොහාන් රාජ් මඩවලගේ අලුත්ම නවකතාව 'COLOMBO' (කලම්බො) නමින් දැන් නිකුත් වී තිබේ.

1942 වර්ෂයේ දෙවන ලෝක යුද්ධයට සමගාමීව ජපන් ගුවන් හමුදාව කොළඹට බෝම්බ දැමූ කාලයේ සිදු වූ සත්‍ය සිදුවීම් කීපයක් 'COLOMBO' නවකතාවට පාදක වී තිබේ.

වර්තමාන කලබලාකාරී, ජනාකීර්ණ කොළඹ නගරයට සාපේක්ෂව, මින් සියවසකට පෙර බර කරත්ත, ට්‍රෑම් කාර් එහා මෙහා ගිය 'හද්දා පිටිසර ගැමියන්' විසූ කොළඹ නගරය 'COLOMBO' නවකතාවෙන් දැකගත හැකිය. එසේම 1948 නිදහසත් සමඟ 'හද්දා පිටිසර ගැමියන්', 'නාගරිකයන්' බවට පරිවර්තනය වූ ඓතිහාසික සංක්‍රාන්ති මොහොත 'COLOMBO' නවකතාව හරහා හඳුනාගත හැකිය.