|
මේ සම්මානයෙන් මම තවත් ධෛර්යයවත් වුණාඅලිකතාවෙන් සම්මාන දිනූ ඉරෝෂන් මධුෂංක
ඒ හඬ ලයාන්විතය... ඒ ගැයුම සංවේදීය. හැඟුම්බරය.සුවහසක් රසිකයන් වෙනුවෙන් ඔහු ගයයි... එය විදින අප දෙසවන් පමණක් නොව හදවත ද මොහොතකට සලිත වෙයි. හඬ, රුව, ජවය සියල්ල ඔහුට නොඅඩුව ලබා දෙන්නට දෙවියන් කාරුණික වී ඇත. එහෙත් පෙනීම ලබා දෙන්නට දෙවියන් අකාරුණික වූයේ මන්ද? එය ඔහු දකින කෙනෙකුගේ සිතේ ඇතිවන එකම හැඟුමයි. එක් අතෙකින් ඔහු වර්තමාන සමාජයටම ආඩම්බරයකි. එමෙන්ම ආදර්ශයකි. ඒ උපතින්ම දෑස් නොපෙනෙන මේ භද්‍ර යෞවනයාගේ දක්ෂතාවය නිසාය. දෛවය මොනතරම් සරදම් කළ ද ඒ සියල්ල පරයා ඔහු නැගී සිටින්නේ හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇඳී ඇත්තා සේය. ඉරෝෂන් මධුෂංක දා හත් හැවිරිදි මේ නව යෞවනයා පසුගිය දා පැවැති සරසවිය සම්මාන උලෙළේ දී කුසලතා සම්මානයක් හිමි කරගන්නට වාසනාවන්ත විය. ඔහු ගායන ලොවට ආගන්තුකයකු නොවූවද හෙළ සිනමාවේ මහා සිනමා මංගල්‍යය සරසවිය සම්මාන උළෙලක දී ඔහු සම්මානනීය වූ ප්‍රථම අවස්ථාව මෙය විය. හා හා පුරා කියා යෞවනයේ දීම තමා ලද ප්‍රථම සිනමා සම්මානය දෙනෝ දාහකගේ අත් පොළොසන් මැද වේදිකාවේ සිට දෝතින්ම වැළැඳ ගන්නට එදින ඔහුට නොහැකි විය. ඒ දෛවය එක් වරක් නොව දෙවන වරටද ඔහුට සරදම් කර තිබූ බැවිණි. නොහිතපු මොහොතක සිදු වූ අනතුරක් හේතුවෙන් මේ වන විටත් දෙපය බිඳී ඇවිදීමට නොහැකිව එක් තැන්ව සිටීමට ඉරෝෂන්ට සිදුව ඇත. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලැබුවද එය සුවවීමට කාලයක් ගත වන සෙයකි. තමාට හිමි සම්මාන තම දෝතින්ම හදවතට තුරුළුකොට කලා ජීවිතයේ ඒ සතුටු දායක මොහොත සම්මාන ලද කලාකරුවන් බොහෝ දෙනෙක් විඳගනිත් දී ඉරෝෂන් තමා ලැබූ ජයග්‍රහණය දුරකතන ඇමැතුමකින් අසා ඒ සතුට හදවතින් විඳ ගන්නට තරම් සිතුවිල්ලෙන් පොහොසත් වූයේය. මේ යොවුන් ගායකයා තමා ලද සම්මානයේ සතුට මෙන්ම ඔහුගේ කලා දිවියේ බොහෝ තොරතුරු බෙදා හදා ගන්නට අප සමඟ එක් වුයේ මෙලෙසයි. සරසවිය සම්මානයක් ලැබීම කලාකරුවෙක් ලබන සැබෑම වාසනාවක්. ඔබත් ඒ වාසනාව ලද කොටස්කරුවෙක්? ඇත්තටම. එය මගේ ගායන දිවියට ආලෝකයක් ලෙසයි මම දකින්නේ. මා ගැයූ පළමු චිත්‍රපට ගීතයට තමයි සරසවිය කුසලතා සම්මානයක් හිමි වුණේ. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ 'අලිකතාව' චිත්‍රපටයේ මා ගැයූ 'නිල් තණ කොළ බුදින්නයි.. හිතුණු තැනක ළඟින්නයි.. කැලේ අයිති අලින්ටයි...' ගීතය ගායනය වෙනුවෙන්. මේ සම්මානය ලැබීමෙන් මම තවත් ධෛර්යයවත් වුණා. එය ලොකු සතුටක්. පළමුවරට සිනමා නිර්මාණයකට දායක වී එයින්ම සම්මානයක් ලබන්නට හැකි වුණා කියන්නේ එය ගායකයෙක් විදිහට ගායන ලෝකයේ ඉදිරියටම යන්න මට ලැබුණු විශේෂ අවස්ථාවක් ලෙසයි මම දකින්නේ. ඔබ සරසවිය සම්මානයක් දිනාවි කියලා හිතුවද? ඇත්තටම මට හිතුණා. මට සම්මානයක් ඇති කියලා. මොකද මම අලිකතාවට ගැයූ ගීතය කා අතරත් ජනප්‍රිය වුණා. මම හිතූ ලෙසම සම්මානයක් හිමි වුණා. එය සැබෑම සතුටක්. ඔබට සම්මානය ගන්න එන්නට නොහැකි වුණා.? ඒ ගැන දුකක් හිතේ තිබෙනවා. ඒත් මගේ අයියා මට සම්මානයක් හිමි වු බවට දුරකතනයෙන් මට දැනුම් දුන්නා. ඒ මොහොතේ මගේ හිත සතුටින් ඉපිලී ගියා. මම මගේ මව්පියන්,නෑදෑයින්,ගුරුවරුන්, හිතවතුන්, යහළු යෙහෙළියන් සමඟ මගේ සතුට බෙදා ගත්තා. එදා දවසත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔබේ සංගීත දිවියේ ආරම්භය ගැනත් කතා කරමු? පුංචි කාළෙ ඉඳලම මම සංගීතයට ප්‍රියයි. නිතර ගීත අහනවා. ගීත ගයනවා. මම උපතින්ම ගායන හැකියාව උරුම කරගෙන ගිබුණා. එයින් යම් සේවයක් සමාජයට කරන්න පුළුවන් නම් එයයි මගේ සතුට. ඔබ තවමත් පාසල් ශිෂ්‍යයෙක්? මම තවමත් පාසල් අධ්‍යපනය හදාරනවා. උසස් පෙළට සූදානම් වෙනවා. මුල්ම කාලෙ ඉගෙනුම ලැබුවේ ගාල්ල පංචාලිය නෙත් සවන් සරණ විදුහලෙන්. එහි හය වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවා. ඉන්පසුව මගේ වැඩි දුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපේ පවුලේ හැම දෙනාම කොළඹ රත්මලානේ පදිංචියට ආවා. දැන් මම අධ්‍යාපනය ලබන්නේ රත්මලානේ අන්ධ විද්‍යාලයෙන්. ඔබ එහිදීත් සංගීත අංශයෙන් ජයග්‍රහණ ලබන්නට ඇති? ඔව්. ජනප්‍රිය වේදිකාවට එන්නට ප්‍රළුම මම සංගීත අංශයෙන් විවිධ ජයග්‍රහණ ලැබුවා. මගේ ගම් පළාත ගාල්ල. දකුණු පළාත් සංගීත තරඟ වගේම දිස්ත්‍රික් මට්ටමේ තරගවලින් මම ජයග්‍රහණය කළා. සමස්ත ලංකා තරගවලටත් සහභාගි වුණා. කොළඹ පළාත් ගායන, වාදන, ජනකවි තරගවලින් ජයග්‍රහණය ලැබුවා. හොඳම ශිෂ්‍යයා වුණා. ඔබ කලා ලොවට යොමු වුණේ කොහොමද? මම ඉගෙනුම ලබන මධ්‍යස්ථානයේ අපි වෙනුවෙන් සංවිධානයක් තිබෙනවා. එයට මුල්වෙලා කටයුතු කරන්නේ ඉන්දිකා මිස්. මගේ ගායන කුසලතාවය දැකලා ඉන්දිකා මිස් 'දෙරණ ලිට්ල් ස්ටාර්ස්' වැඩසටහනට අයදුම් පත්‍රයක් යොමු කළා. ඒ තරඟාවලියෙන් ඉදිරියටම යන්නට මට අවස්ථාව හිමි වුණා. 2012 වසරේ දී ජනප්‍රියම තරුව ලෙස කිරුළ දිනන්නට මට අවස්ථාව ලැබුණා. ඔබේ ගායනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඉතාම සතුටුදායක ප්‍රතිචාරයක් ලැබෙනවා. තේරී මේරී හින්දි ගීතය මම එදා ගායනා කළා. එයට පුදුම විදිහට ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර ඇස් දෙකෙන් දැකලා සතුටු වෙන්න පුළුවන් කමක් නැති වුණත් මට ඔවුන් දෙන අත්පොළසන් හඬින් ලොකු සතුටක් ඇති වුණා. මට දැනුණා රසිකයන් මට හුඟක් ආදරේ කරන බව.
ඔබට රට රටවල් රැසකම සංචාරය කරන්න හැකි වුණා.
ඔව්. මේ වන විට මම රටවල් තිහකට වැඩියෙන් සංචාරය කර තිබෙනවා. එය මම ලැබු ලොකු වාසනාවක්. ලිට්ල් ස්ටාර්ස් තරගය දිනලා සතියක් යන්නට පෙර කුවේට් ශ්‍රීලංකා තානාපතිතුමා කතා කරලා ආරාධනා කළා ඒ රටට එන්න කියලා. එහි ලොකු වැඩසටහනක් තිබුණා. මම මගේ හඬින්ම ගීත විසි ගණනකට වඩා ගායනා කළා. එය ජීවිතයේ මට අමතක නොවන අත්දැකීමක්. ඉන්පසු විවිධ රට රටවලින් මට ආරාධනා ලැබුණා. ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? සංගීත ගුරුවරයෙක් වෙන්නයි මම කැමැති. සංගීතයට දක්ෂ දරුවන්ට සංගීතය උගන්වලා රටට සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේම කියලා සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්නත් මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබේ සොයුරාගෙන් මව්පියන්ගෙන් ලැබෙන සහයෝගය මොනවගේද? ඒ ගැන කියන්න වචන මදි මට. ඔවුන් මගේ හැමදේම මටත් වඩා උවමනාවෙන් ඉටු කරනවා. ඒ අයගෙන් මට ලැබෙන උපකාරය, රැකවරණය විශාලයි. ඒ වගේම මගේ ගුරුවරුන්වත් මම ආදරයෙන් මේ මොහොතේ මතක් කරනවා. ඔවුන් හැම දෙනාටම මේ තාක් දුරක් එන්නට මට දැක් වූ සහයෝගයට හුඟක් ස්තූතිවන්ත වෙනවා. අදටත් ඉරෝෂන්ගේ සියලු වැඩකටයුතු වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දෙමින් දැවැන්ත සෙවණැල්ලක් සේ ඉරෝෂන්ගේ පසුපසින් සිටින ඔහුගේ එකම සොහොයුරා මනෝජ් අසංක ද තම සොහොයුරා ගැන අප සමඟ මෙලෙස අදහස් දැක් වූවා. මල්ලී කුඩා කාලෙ පටන්ම සංගීතයට හැකියාවක් දක්ෂතාවයක් ඔහුගේ තිබෙන බව අපිට දැනුණා. ඒ නිසා ඒ හැකියාව දැනගත් දා පටන් අපි ඔහුව උනන්දු කළා. සංගීතයට වඩ වඩාත් යොමු කළා. අද වන විට මල්ලී ඉන්න තැන ගැන අවංකවම අපිට සතුටු වෙන්න පුළුවන්. සංගීතය ගත්තම එහි හැම පැතිකඩක්ම මල්ලීට හොඳීන් පුළුවන්. අවුරුදු හයේ දි හතේ දී සංගීතය ගැන මූලික හැදෑරීමක් කළා. ඉන් පසුව සංගීතය හදාරන්න පන්තියකට ඔහුව අපි යොමු කළා. අද වෙනකොට සංගීතයේ සියලු අංශ ඔහුට පුළුවන්. කීබෝඩ් වාදනය ඉතාම විශිෂ්ඨ ලෙස ඔහු සිදුකරනවා. මම හිතන්නේ මල්ලීට සාර්ථක ගමනක් සංගීතයෙන් තිබෙනවා. ඔහුට හැම තැනකදීම ඉදිරියටම යන්න ශක්තියක් වෙන්න අපි පිටුපසින්ම ඉන්නවා.
|