|
සම්මාන උලෙළේ රසකතා 2
සින්ඩ්‍රෙල්ලා නැති කාරණාව
සරසවිය සම්මාන උලෙළ නිම වී සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගියත් එහි උණුසුම මදකුදු අඩු වී නැහැ. වෙන සම්මාන උලෙළවගේ නෙවෙයිනෙ සරසවිය සම්මාන උලෙළ කිව්වාම. සිනමා ලොවේ දැවැන්තම කලා මංගල්‍යයනේ. ඉතින් සම්මාන උලෙළ අහවර වුණත් කාලයක් යනකම්ම මාධ්‍ය ඔස්සේත් ක්ෂේත්‍රයේ කොයි කා අතරේත් උලෙළ ගැන කතා වෙනවා. මේ සැරේ සම්මාන උලෙළට ඉනෝකා සත්‍යංගනීගේ සින්ඩ්‍රෙල්ලා සිනමාපටය ඇතුළත් වුණේ නැහැ. ඒ ගැන බොහෝ දෙනෙකු අතරේ මතවාද හුවමාරු වුණා. ඒ අතරේ චෝදනාත්මකව කතා කරපු අයත් හිටියා. හැබැයි ඇත්තටම වුණේ එහි අධ්‍යක්ෂවරිය වන ඉනෝකා එය උලෙළට ඉදිරිපත් නොකළ එක. එම සිනමාපටයේ දෙවැනි කොටසකුත් එනවලු. එය ද තිරගත වූවායින් පසුව එම චිත්‍රපට යුගළ එකවර සම්මාන උලෙළට එකතු කරන්නයි ඉනෝකාගේ අදහස. ඒ වුණත් ඉනෝකා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා වූ විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ලෙස මෙවර දායක වූවා.
වැඩිම සෙල්ෆි
පෙර සරසවිය සම්මාන උලෙළ වැඩිම ඡායාරූප ගණනකට පෙනී සිටි නළුවා වශයෙන් වාර්තාවක් තබා සිටි රන්ජන් රාමනායකට හැකියාව ලැබුණා මෙවර ද එම වාර්තාව රැකගන්න. රන්ජන් තව කාලයක් යනතුරු එම ස්ථානය නිසැකවම කාටවත් දෙන එකක් නැහැ. මෙවර සරසවිය සම්මාන උලෙළේදී හිසේ කෙස් ගණනට ඡායාරූපවලට පෙනී සිටින්නට රන්ජන්ට සිදු වුණා. උලෙළින් අනතුරුව තත්පරයක් ඔහුට හිනා නොවී ඉන්නත් බැරි වුණා. ඒ එතරම්ම ඔහුට සේයාරූවලට පෙනී සිටින්නට සිදු වුණ නිසා. දහසකුත් දෙනා ඡායාරූප ගෙන නික්ම යන ගමන් ඔහු හා වචනයක් කතා නොකර ගියෙත් නැහැ. අවසනදි රන්ජන් තමන් හැඳ සිටි කෝට් එක ගලවා පැත්තකට වුණේ ඡායාරූපවලට පෙනී සිට ඇති වූ විඩාව නිසාමයි. එතනටත් ඇවිත් සමහරු ඡායාරූප ගත්තා. අනේ ඉතින් රන්ජන් ඒවාටත් හිනාවෙලා පෙනී සිටියේ තමන්ගේ ඇති නිහතමානිකම නිසාමයි.
පොතක මහිමමේ අතර උත්සවය අවසානයේදී පිටව ගිය දර්ශන් ධර්මරාජ් ගියාට වඩා වැඩි වේගයකින් එනවා පේනවා. ඔහු එහෙම ඇවිත් පෙරළ පෙරළා යමක් හොයනවා. ඒත් මුකුත් හම්බ වුණේ නම් නැහැ. ඔය අතර දර්ශන්ගේ මිත්‍රයකු ළඟට ආවා. මොනවද හොයන්නෙ?
දර්ශන් කඩවුණ හඬින් කිව්වා. ආ පොත, මේක මං හොරෙන් ගත්තා, උඹට තේරුණේ නැහැ නේද. මිත්‍රයා එහෙම කියලා දර්ශන්ට සමරු කලාපය ලබා දුන්නා. අප්පේ ඇති යන්තම්, මේක නැතුව ගෙදර ගිහිල්ලා වැඩකුත් නැහැ. එහෙම කියූ දර්ශන් කලාපයත් තුරුළු කරගෙන සභාවෙන් නික්ම ගියා.
ලණුවක් ගිය දුරක්ඒ අතරේ තවත් අපූරු සිදුවීමක් සිදු වුණා. ඊට අදාළ පුද්ගලයාගේ නම නොකියා සිදුවීම පමණක් මෙහි සඳහන් කරන්නේ කාගේ කාගෙත් හොඳටයි. සරසවිය උලෙළේ එක්තරා ශිල්පියකුට සම්මානයක් වෙන්ව තිබුණා. නමුත් මොකක් හෝ හේතුවක් මත ඔහු එදින පැමිණ සිටියේ නැහැ. මේ බව ඔහුගේ සහෝදර ශිල්පියෝ දැන් වුව ද එම ශිල්පියා සිතා ඇත්තේ මිත්‍රයින් තමන්ට හොඳ ලණුවක් ගිල්ලවන්නට උත්සාහ කරන බවය. එහෙයින් එම ශිල්පියා අම්මමෝ නැතුව මිත්‍රයින්ට බැන වැදී තිබුණා. අන්තිමට බැරිම තැන එක් මිත්‍රයෙක් සරසවියට ඒ බව දැන්වූවා. අප ඔහුට නිල වශයෙන් සම්මානයක් ඇති වග දැන් වූ විටයි ඔහු එය පිළිගත්තේ.
|