|
අප්පච්චි මා දිහා බලාගෙන ඇතිසරසවිය සම්මාන පොතට වාර්තාවක් ගෙනා විදූශා නේත්‍රාංජලී
සිනමා සම්මාන උලෙළකදී හොඳම ගායිකාව ලෙස කිරුළ පැලැඳූ ළාබාලතම ගායිකාව ලෙස ඇය සිනමා ඉතිහාසයට එක් වන්නේ, සරසවිය සම්මාන උලෙළේ ඉතිහාසය ද මොහොතකට වෙනස් කරමිනි. එය අලුතින් ලියන්නට ඇගේ ගායන කුසලතාවය සමත් වූවාය. ඒ මෙවර පැවැති 34 වන සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායිකාවට හිමි සම්මානය දිනා ගනිමිනි. 1964 වසරේදී විශාරද නන්දා මාලිනිය 'ගලන ගඟකි ජීවිතේ' ගීතය ගායනා කරමින් හොඳම ගායිකාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ 19 හැවිරිදි වියේදීය. ඒ වාර්තාව බිඳ හෙළන්නට වසර 56 ක් පුරා කිසිවෙකුට හැකි නොවිණ. මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායිකාව ලෙස සම්මානනීය වෙමින් විදූෂා නේත්‍රාංජලී එම වාර්තාව බිඳ දැමීමට සමත් වූවාය. විදූෂා සම්මාන ලැබුවේ ද විශාරද නන්දා මාලිනිය හා සුනිල් ආරියරත්නයන් අතින් වීම ද විශේෂත්වයකි. තවමත් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන විදුෂා නේත්‍රාංජලී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් වන අලි කතාව චිත්‍රපටයේ ගීත ගායනය වෙනුවෙන් මෙම සම්මානය හිමි කර ගනු ලැබීය. සරසවිය සම්මාන උලෙළකදී ළාබාල වයසින්ම සම්මානනීය වීමට වාසනාව ලද සොඳුරු ගායිකා විදුෂා නේත්‍රාංජලී සමඟ සරසවිය කළ කතාබහකි මේ. ඔබ සරසවිය සම්මාන උලෙළේ ඉතිහාසය වෙනස් කළා. ඒ වාසනාව ගැන මොකද හිතෙන්නේ? වචනයෙන් කියලා නිම කරන්න බැහැ. හුඟක් සතුටුයි. හීනයක් වගේ. තවමත් ඒ සතුට දැනෙනවා.
සම්මානයක් හිමි වෙයි කියලා හිතුවද? මගේ නම නොමිනේට් වුණ වෙලාවේත් මම පුදුම වුණා. සම්මාන උලෙළට සහභාගි වුණේ සම්මානයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. නිකන්ම අම්මයි අක්කයි එක්ක ආවා. අරමුණක් තිබුණේ නැහැ. සම්මාන ගැන හිතුවෙම නැහැ. 2017 වසරේ හොඳම ගායිකාව ලෙස නම කියත්දී මොකද හිතුණේ? මම වාඩි වෙලා හිටියේ. මගේ අම්මා කෑගහලා මාව බදාගෙන මට සුබ පැතුවා. සම්මානෙ අරගෙන ඇවිත් ලොකු අක්කට දුරකථනයෙන් දැනුම් දුන්නම ඇය විශ්වාස කළේම නැහැ මම හොඳම ගායිකාව වුණා කියලා. මොකද ඇය ඇහුවේ ඇත්තම ද කියන්නේ කියලා. ඒ සතුට බෙදා ගන්න අප්පච්චිත් හිටිය නම් කියලා මට ඒ මොහොතේ හිතුණා. ඒ ඇයි? මගේ අප්පච්චි අජිත් බණ්ඩාර රාජගුරු. ඔහු හෘදයාබාධයකින් නැති වුණේ මීට අවුරුදු එක හමාරකට පමණ පෙරාතුව. අප්පච්චි යුද හමුදාවේ පරිගණක උපදේශකවරයෙක් විදිහට සේවය කළේ. යාපනයේ යුද්ධය නිමවන තුරුම ක්‍රියාන්විත සේවයේ යෙදුණා. නොහිතපු වෙලාවක අප්පච්චි නැති වුණා. එය දරා ගන්න බැරි වේදනාවක්. කොහොම වුණත් මම හිත හදා ගත්තා. මම හිතුවා මම සම්මානය ගන්න මොහොතේ අප්පච්චි උඩ ඉඳන් මා දිහා බලාගෙන ඇති කියලා. අප්පච්චි අද හිටියා නම් අම්මා තරමටම හුඟාක් සතුටු වේවි. ඔබ සම්මානය ලැබූයේ ඔබට සම්මානය හිමි වූ අලි කතාව අධ්‍යක්ෂණය කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුරතින්? ඇත්තටම එයත් දෛවෝපගත අවස්ථාවක්. සුනිල් සර්ගේ අතින්ම සම්මානය හිමිවීමත් ලොකු සතුටක්. නන්දා මාලිනී මිසුත් එතැනදි මට සුබපැතුවා. රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ සුනිල් සර් ගී පද රචනා කළ සීත ගඟුල් ඇද හැලේ . . . ලස්සනයි වනන්තරේ . . . ගීතය වෙනුවෙන්ම හොඳම ගායිකාවට හිමි සම්මානය දිනාගන්න ලැබීම මා ලැබූ වාසනාවක්. ඔබේ කලා දිවියේ ඇරැඹුම ගැනත් කතා කරමු? මම පාසල් කාලයේ සිටම සංගීතයට, ගායනයට දක්ෂයි. මුලින්ම පාසල් ගියේ මාතලේ විජය විදුහලට. ඉන් පසුව හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා. අප්පච්චිගේ වියෝවත් සමඟ නැවත මාතලේ පදිංචියට යන්නට අපිට සිදු වුණා. මේ වන විට මම මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. පාසලේදී ඔබ ලැබූ ජයග්‍රහණ මොනවාද?
අවුරුදු හතරේදී පමණ තමයි මම ගායනයට යොමු වුණේ. පාසල් යාමටත් ප්‍රථම අප්පච්චි යුද
හමුදාවේ සේවය කළ නිසා එහි 'රණවිරු සුවඳ' නමින් ප්‍රසංගයක් තිබුණා. එයින් පළමු
ස්ථානය දිනුවේ මගේ අක්කා. දෙවැනි ස්ථානය මට හිමි වුණා. එතැනින් පටන් ගත්ත ගමන
පාසලේදී වගේම විවිධ වැඩ සටහන්වලදී මට ජයග්‍රහණ රැසක් ගායනයෙන් අත් කර දුන්නා. සමස්ත
ලංකා ජයග්‍රහණ එමටව හිමි වුණා. ඒ ගැන සතුටුයි. ඔබ ප්‍රසිද්ධ කලා ලොවට එක් වන්නේ කොහොමද? මම සිරස, දෙරණ වැනි රූපවාහිනී ළමා වැඩ සටහන්වලට දායක වුණා. ඒ අතරින් 'සමනල සිරස' වගේම 'දෙරණ ලිට්ල් ස්ටාර්ස්' වැඩ සටහන් අමතක කරන්න බැහැ. ඒවායින් මා ලැබූ පන්නරය, ජනපි‍්‍රයත්වය වගේම හැකියාව නිසා මට මේතාක් දුර එන්නට අවකාශ ලැබුණා. විශේෂයෙන්ම 'දෙරණ ලිට්ල් ස්ටාර්ස්' වැඩසටහනේ 2011 වසරේ ජනප්‍රියම තරුව වුණේ මම. එතැනින් පසුව බොහේ දෙනා දැන හඳුනාගෙන විවිධ නිර්මාණවලට දායක වෙන්නට මට අවකාශ ලැබුණා. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකටම තේමා ගීත මම ගායනා කළා. ඒවා රුපවාහිනී සම්මාන උලෙළවලදී හොඳම ගායිකාව ලෙස නිර්දේශවීමට මට හැකි වුණා. නමුත් සිනමා නිර්මාණයකින් හොඳම ගායිකාව ලෙස සිනමාවේ දැවැන්තම සම්මාන උලෙළ වුණු සරසවිය සම්මානය හිමිකර ගන්නට ලැබීම ජීවිතයේ මා ලද ලොකු ජයග්‍රහණයක්. ඔබේ අනාගත බලාපොරොත්තු? හොඳට ඉගෙන ගෙන රටට සේවයක් කරමින් සංගීත ක්ෂේත්‍රය් ඉදිරියට යන එක. ඔබට ගෙදරින් ලැබෙන සහාය? මගේ අම්මා දමයන්ති රත්නායක, අක්කලා දෙන්නාගෙන් ලැබෙන සහායත් ජීවිතයට ලොකු ශක්තියක්. ඔබ සංගීතයට, ගායනයට පමණක් නොවෙයි, තවත් බොහේ දේට දක්ෂයි? ඔව්. මම යෝගා කිඩ් මාස්ටර් කෙනෙක්. ඒ වගේම වුෂු, කරාටේ හොඳට පුළුවන්. නර්තනයටත් කැමැතියි. මේ හැමදේම සමබරව කරගෙන යන්නයි බලාපොරොත්තුව. |