|
සරසවිය සම්මාන උලෙළ 18 දා ස්වාධීන රූපවාහිනියෙන්
34 වැනි සරසවිය සම්මාන උලෙළ මෙම මස 18 වැනිදා එනම් ලබන සෙනසුරාදා රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. සරසවිය සම්මාන උලෙළේ රසමුසු තැන් හා ඊට පෙර සූදානම් වූ අන්දම 19 වැනිදා 3.30 ට එම නාළිකාව ඔස්සේ විකාශය වනු ඇත.
සනත් අබේසේකර ගුත්තිල හා පරාක්‍රමබාහු එකවර අරඹයි
මහින්දාගමනය, සිරි දළදාගමනය, මහ රජ අජාසත්, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් යන චිත්‍රපට මෙන්ම මේ දිනවල විකාශනය වන උරුමයක අරගලය ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සනත් අබේසේකර එකම දිනයක ටෙලි නාට්‍යයක හා චිත්‍රපටයක වැඩ ආරම්භ කෙරිණ. හරේන් නාගොඩවිතාන හා ඩිලිනි සිල්වා නිෂ්පාදනය කරන ගුත්තිල මෙම චිත්‍රපටය වන අතර රොෂාන් වෙල්ලප්පුලි නිපදවන පරාක්‍රමබාහු සනත්ගේ ටෙලි වෘත්තාන්තයයි. එගොඩ කැලණිය පුරාණ රජ මහා විහාරයේදී කලාකරුවන් පිරිවරා මෙම චිත්‍රපටය හා ටෙලි වෘත්තාන්තයේ වැඩ ඇරඹිණි.
‘වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය’ 18 දා දඹානේදී ජනගත කෙරේ
මෙරට සම්ප්‍රදායික ආහාර තාක්ෂණයේ අඛණ්ඩ උරුමය නිවැරදිව හඳුනාගත හැකි ආදිවාසීන්ගේ ආහාර විධි හා එහි භාවිතාවන් විද්‍යාත්මක අධ්‍යයනයකට ලක් කළ පූජනී උමයංගනා ගුණසේකර ලියූ 'වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය' පර්යේෂණ කෘතිය ජනගත කිරීම අගෝස්තු මස 18 දා සවස 3.00 ට දඹානේ ආදිවාසී ජනඋරුම කේන්ද්‍රයේදී පැවැත්වේ. ආදිවාසී නායක වන්නියලැත්තන්ට කෘතිය පිළිගැන්වීම හා කෘතිය පිළිබඳ කතිකාවක්, සම්මානනීය ලේඛක නිශ්ශංක විජේමාන්න, ලේඛක දඹානේ ගුණවර්ධන, සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම, ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත හා කෘතියේ පර්යේෂිකාව විසින් සිදු කරනු ලැබේ. 'සූර්ය' ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති මේ කෘතිය ජනගත කෙරෙන සාහිත්‍ය සල්ලාපය සඳහා සහෘද - පාඨක ඔබට ද විවෘතව ආරාධනය කෙරේ. |