|
අල්කයිඩා ත්‍රස්තයින්ගෙන් නිව්යෝර්ක් නගරයට තවත් ප්‍රහාරයක්Vishwaroopam II
මෑත කාලීනව දෙමළ සිනමාවේ සුපිරි නළු කමල් හසන්ගේ සිනමාපට අතරින් 2013 වසරේ තිරගත කෙරුණු Vishwaroopam දැඩි කතාබහට ලක් වූ සිනමා නිර්මාණයක්. පූර්ව ප්‍රචාරක පටය සහ පෝස්ටර් නිකුත්වීම සමඟින් එයට ජාතිවාදි ගැටළු ඇති කරමින් හින්දු – මුස්ලිම් සහජීවනය බිඳ දමන බවට චෝදනා එල්ල විය. දෙමළ, හින්දි සහ තෙළිඟු භාෂාවන්ගෙන් නිර්මාණය වූ Vishwaroopam තමිල්නාඩුව ඇතුළුව ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල මෙන්ම තවත් රටවල් කිහිපයක ද තහනමට ලක් විය. ලංකාවේදී ද එය තාවකාලික වාරණයකට ලක් වූ අතර චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ඉවත් කර ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලයේ අනුමැතිය ලැබිණි. ඇතැම් කණ්ඩායම් මෙම චිත්‍රපටයේ නම වෙනස් කරන ලෙස කමල් හසන් වෙත බලපෑම් කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එදා Vishwaroopam වාරණයට ලක් වෙමින් නඩු පැවරෙන විටදී කමල් හසන් එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියේ, මෙම චිත්‍රපටයෙන් සහජීවනයට මඟ පෑදෙන බව පවසමින්. තිරගත කිරීමට පෙරදීත් Vishwaroopam වෙත බලපෑම් එල්ල කෙරුණේ රටවල් කීපයකදී රූගත කිරීමට සූදානම් කර තිබියදීය. අමෙරිකාවේ රූගත කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ දී චෙන්නාහි අමෙරිකානු කොන්සල් කාර්යාලය චිත්‍රපටයේ ශිල්පීන් කණ්‌ඩායමට වීසා බලපත්‍ර ලබා දීමට ක්‍රියා නොකළ බවට ද වාර්තා විය. ඉන්දීය රුපියල් කෝටි 95ක වියදමක් දරා නිර්මාණය කළ Vishwaroopam ඉන්දීය රුපියල් කෝටි 220ක ආදායමක් වාර්තා කළා. මෙහි අධ්‍යක්‍ෂණය, කථා පිටපත රචනය සේම ප්‍රධාන නළුවා වූයේ ද කමල් හසන්. නිෂ්පාදනයටද ඔහුගේ දායකත්වය ලැබිණි. එයට IMDb දර්ශකයේ ලකුණු 8.4/10ක් හිමි වූ අතර රොටෙන්ටොමැටෝස් හි විචාරක මනාපය 100%ක් හිමි කර ගැනීමට සමත් විය. කෙතරම් බලපෑම් එල්ල වුවද Vishwaroopam ලද මෙම ඉහල සාර්ථකත්වය ද හමුවේ එයින් වසර පහක් ගත වූ තැන යළිත් Vishwaroopam II රිදී තිරයට පැමිණියේ පසුගිය අගෝස්තු 10 වැනිදාය. මෙය පළමු චිත්‍රපටයේම දිගුවක් ලෙසින් නිර්මාණය වී ඇත. Vishwaroopam II අධ්‍යක්ෂණය, තිරරචනය සේම නිෂ්පාදනය ද කමල් හසන්ගේ ය. ප්‍රධාන නළු චරිතය විශ්වනාදන් හෙවත් විසාම් අහමඩ් කාශ්මිරිගේ චරිතයට පණ පොවන්නේ ද ඔහු විසින්. මෙම චිත්‍රපටය දෙමළ බසට අමතරව හින්දි, තෙළිඟු සහ මලයාලම් භාෂාවන් ගෙන් නිකුත් කෙරුණා. හින්දි චිත්‍රපටය නම් වී තිබෙන්නේ Vishwaroopam II නමින්. රහස් පරීක්ෂක ත්‍රාසජනක චිත්‍රපටයක් වූ Vishwaroopam පළමු වැනි චිත්‍රපටය ගෙතුණේ රහස් නියෝජිත මේජර් විසාම් අහමඩ් කාශ්මිරි හෙවත් විශ්වනාත් වටාය. නිව්යෝර්ක් නගරයේ විශ්වනාත් නම් නර්තන ශිල්පියකු ලෙසින් පෙනී සිටින ඔහු විවාහකයෙක්. න්‍යෂ්ටික ක්‍රමවේද මඟින් පිළිකා සුව කිරීම පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි ඔහුගේ බිරිය විසින් ඔත්තුකරුවකු යොදවන්නේ ඔහු පිළිබඳ සැක පහළවීම සමඟින්. මේ අතර ත්‍රස්ත කල්ලියක් විසින් නිව්යෝර්ක් නගරයේ සිදු කරන්නට සැරසෙන දරුණු බෝම්බ ප්‍රහාර සැලැසුමක් අතරතුර විශ්වනාත් සහ බිරිය පැහැර ගැනීමත් සමඟින් විශ්වනාත්ගේ නියම තතු ක්‍රම ක්‍රමයෙන් හෙළි වේ. Vishwaroopam පළමු වැනි චිත්‍රපටය මෙලෙසින් දිග හැරුණු අතර දෙවැන්න, Vishwaroopam II එහි දිගුවක් ලෙසින් රිදී තිරයට පැමිණෙන්නේ අල්කයිඩා ත්‍රස්තයන් විසින් නිව්යෝර්ක් නගරය ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට නියමිත තවත් ප්‍රහාරයක සැලසුමක් සමඟින්. මෙහි කමල් හසන් සමඟින් රාහුල් බෝස්, පූජා කුමාර්, ඇන්ඩ්‍රියා ජෙරමියා, ශේඛර් කපූර්, ජෙයිදීප් අහල්වට් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී සිටියි. වහීදා රහ්මන් ද මෙහි දෙවැන්නේදී විසාම්ගේ මව ලෙසින් රංගනයෙන් දායක වේ. Vishwaroopam II රූගත කර තිබෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සහ තායිලන්තයේදී යි. Vishwaroopam II දෙමළ චිත්‍රපටයේ "Naanaagiya Nadhimoolamae", "Saadhi Madham" ගීත දෙක රචනා කර තිබෙන්නේ කමල් හසන් විසින්. දෙමළ, හින්දි සහ තෙළිඟු ගීත ත්‍රිත්වයක් ගායනයටද ඔහු දායක වී තිබීමත් විශේෂත්වයක්.
|