වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මානය ඉන්දියානු ජාතික සම්මානය හා සමානයි

සරසවිය සම්මානය ඉන්දියානු ජාතික සම්මානය හා සමානයි

සරසවිය සම්මාන උලෙළේ 2016 වසරේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ පූජා උමා ශංකර්ය. ඇය අප හා සම්මානය පිළිබඳවත් සිංහල සිනමාව පිළිබඳවත් බොහෝ උනන්දුවෛන්කතා කළාය.

මොකද හිතෙන්නේ සම්මානේ ගැන?

සතුටුයි, ආදරෙයි, හරිම විනෝදයි.

මෙය ඔබ ශ්‍රී ලංකාවෙදි ලබන පළමුවැනි හොඳම නිළිය සම්මානය?

හරියටම හරි. ඒ වගේම ආයෙ කවදාවත් මට මේ වගේ සම්මානයක් ලැබෙයි කියලා හිතන්නෙත් නෑ.

ඇයි ඒ?

මම බාගෙට ඉන්දියානුනේ... ඒ නිසා මාව නිර්දේශ කරන්නේවත් නෑ කියලා ආරංචි එනවා. ඇත්තද බොරුද දන්නෙ නෑ. ඒ වගේම මම කොහෙත්ම හිතන්නේ නෑ මම තමයි මේ රටේ ඉන්න හොඳම නිළිය කියලා. මෙහේ මට වඩා හුඟාක් ලස්සන, හුඟාක් දක්ෂ, හොඳට නටන්න-ගීත ගයන්න පුළුවන් අය ගොඩාක් ඉන්නවා. මම ඒ අයට, ඒ අයගේ දක්ෂතාවලට ගරු කරනවා. ඒවුණත් මම මමමයි. මම වෙනස්. මට වෙන කවුරුත් වෙන්නවත්- වෙනකාටවත් මම වෙන්නවත් බෑ. එහෙම ගත්තාම මට ජනප්‍රියම නිළිය සම්මානේ හම්බවුණා නම් හිතාගන්න පුළුවන්. මොකද මම ප්‍රේක්ෂකයන්ට ගොඩාක් ආදරෙයි. ඒ වගේම ඔවුනුත් මට ගොඩාක්ම ආදරය කරන බව මම දන්නවා. මෙහෙම හිතන්නකො මම කා ගාව හරි ඉඳ ගත්තාම මට හොඳටම දැනෙනවා ඒ කෙනා මට ඇත්තටම ආදරෙයිද කියලා. ඒ නිසා කෙනකුට ආදරය කිරීමයි ඒ කෙනා හොඳම නිළිය කීමයි කියන්නේ කාරණා දෙකක්. ඒ නිසා ජනප්‍රියම වුණානම් මට පුදුමයක් නෑ, ඒත් මම මගේ රංගනය සියයට දෙසීයකින් හැම චිත්‍රපටයකදිම ඉටු කරන්න කැමති වුණත්, රූපගත කිරීමෙන්, සංස්කරණයෙන් වගේම හඬ කැවීමෙන් පස්සෙ අවසන් වශයෙන් තිරයේ රඟපෑම දකිද්දී අපරාදෙ මට මේ කොටස මෙහෙම කරන්න තිබුණනේ, දෙබස් මීට වඩා වෙනස් විදිහට කියන්න තිබුණනේ කියලා හිතෙනවානේ. ඒ අපේ රඟපෑම් තව තවත් වර්ධනය කරගන්න අපට තිබෙන උවමනාව නිසා. ඉතින් සරිගම චිත්‍රපටයේ මරියාගේ චරිතය ගැනත් මට එහෙම හිතෙනවා. ඇත්තටම මට පසුව තමයි අවබෝධ වුණේ මම ඒ චරිතයට දායක කර තිබෙන්නේ මගේ හැකියාවෙන් සියයට 40ක් පමණයි කියලා. තවත් සියයට හැටක් හොඳීන් මට කරන්න තිබුණා.

ඒ හැට අතහැරුණේ මොනවගේ හේතු නිසා කියලද දැන් අවබෝධ වෙලා තිබෙන්නේ?

හැම චිත්‍රපටයකදිම ව‍ගේ කාලය, දර්ශන තල, කාලගුණික තත්ත්වය, පාරිසරික තත්ත්වය වගේ හේතු තිබුණා. වැස්ස එන්න ඉස්සෙල්ලා, එළිය වෙනස් වෙන්න ඉස්සෙල්ලා අපි මේ ටික කරලා ඉවර කරන්න ඕනේ කියන රාමුව තිබුණා. සමහර තැන්වල එක වෙලාවකට පස්සේ අවසර නෑ රූපගත කිරීම්වලට. අපට බොහෝ දේවල්වලදී එකඟතාවකට එන්න වෙනවා. එහෙම තියෙද්දි මම හොඳම නිළිය කීවාම මට මහා ගෞරවයක් ලැබුණා වගේ දැනුණා. මොකද සරසවිය සම්මානය කියන්නේ ඉන්දියාවේ ජාතික සම්මානය ලැබුණා හා සමානයි. මම අනෙක් සම්මාන උලෙළ ගැන අවතක්සේරුවක් කරනවා කියලා මොහොතකටවත් හිතන්න එපා. ඒත් සරසවියට දිගු ඉතිහාසයක් වගේම ජනතාවගේ කලාකරුවන්ගේ විශාල ගෞරවයක් තිබෙනවා. ඒ වැනි උලෙළක මට පුංචි හරි ඉඩක් තිබෙනවා කියන්නේ මට ඇත්තටම මට තාම එය ‘දිරවාගන්නත්’ බෑ. මම තාම ඉන්නේ පාවි පාවි. මට තවත් සති දෙකක් විතරවත් යයි මෙය සිහිනයක් නෙවෙයි කියලා දැනෙන්න.

ඉන්දියාවෙදි ඔබට මෙවැනි සම්මානයක් ලැබුණා නම්?

ඔව්. එහෙම නම් මට ඒක ‘දිරවගන්න’ පුළුවන් වෙයි.

ඔබ මෙරට සම්මානයක් ගැන ඔතරම් පුදුම වන්නේ ඇයි?

මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවාම කිසි කෙනෙක් මගේ ඉතිහාසය දැනගෙන හිටියේ නෑ. මම ඉපදුණේ මෙහෙ ද සොයිසා රෝහලේ. මගේ උප්පැන්න සහතිකේ ලියලා තියෙන්නේ සිංහලෙන්. එය ඉන්දියාවේ පෙන්නුවාම මොකද මේ කියලා අහනවා. මගේ ආච්චි අම්මා ඉඳුරුවේ. මේ රටේ 1930 ගණන්වල ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවපු ඩී. එස්. ජයසුන්දර පවුලේ කෙනෙක්. ආච්චි ආයුර්වේද වෙද පරම්පරාවක කෙනෙක්. ඒ වගේම සීයා ගම්පහ ඔරුතොට. 1920 ගණන්වල කෙඩෙටින් එහෙම කරපු, පස්සේ තැපැල් සේවයේ නිරත වුණු රජයේ සේවකයෙක් හැටියට ඔහුගේ පාසලෙන් ලැබුණු අස්වීම් සහතික පවා තවමත් ආරක්ෂා සහිතව තිබෙනවා. විශාඛා විද්‍යාලේ ඉගන ගත් මගේ අම්මව ඉන්දියාවට යවලා තිබෙන්නේ යුනිසෙෆ් එකෙන් ශිෂ්‍යත්වයක් දීලා අලහබාද්වලට ගෘහ විද්‍යාව පිළිබඳ උපාධිය කරලා ඇවිත් ගුරු වෘත්තියේ යෙදෙන්න. අන්තිමට අම්මා ඉන්දියානුවෙක් වුණු තාත්තව බැඳලා ඒ ගිවිසුමෙනුත් අයින් වෙලා. නැත්නම් ඇය ගුරුවරියක්. මගේ තාත්තාගේ පවුල ගැන වැඩිය කතා කරන්න දන්නේ නෑ. මොකද අපි එච්චරම ඒ පවුල සමඟ සමීප නැති නිසා. මටයි මගේ මල්ලිටයි හැම තිස්සේම ඕනා වුණේ නත්තල් නිවාඩුවට මෙහෙ ආච්චියි සීයයි ළඟ ඉන්න. එහෙම නැතිව බැංකොක්, ග්‍රීසියේ, තායිලන්තේ රවුම් ගහලා විනෝද වෙන්න නෙවෙයි. අපට කැමතිම ආච්චි හදන කිරි හොද්දත් එක්ක පොරණු පාං කන්න. අම්මෝ එකෙ රහ! මේ පුංචි පුංචි කතා දන්නේ නැති අය කීවා ඉන්දියානු කෙල්ලක් අපේ සිනමා කර්මාන්තයට ආවේ මොකටද කියලා. මට තේරෙනවා ඒ කියන දේ. ඇත්තෙන්ම ඕනෑම රටක් රැකියාවක් දීමේදි ප්‍රමුඛතාව දිය යුත්තේ තමන්ගේ රටේ අයට. ඒත් මම බාගෙට ශ්‍රී ලාංකිකයිනේ. ඉතින් මටත් අවස්ථාවක් දුන්නා මමත් ගත්තා අංජලිකා චරිතය. එතකොට මට සිංහල බෑ. අම්මා ඒ ගැන හිතුවෙත් නෑ ඇය තාත්තාගේ භාෂාවට ගොඩාක් කැමති නිසා. ඉතින් ඉන්දියාවට ආපහු යන්න පූජා කියලා කියන්නේ ඒ හින්දා වෙන්නත් ඇති. හැබැයි මේ අවුරුදු 12ටම මම රඟපාලා තියෙන්නේ චිත්‍රපට 7ක විතරයිනේ. මම කාගේවත් අවස්ථාව උදුරගෙන නෑ. ඒත් ඉතින් මම මොනවා කරන්නද? හැබැයි දැන් නම් මම සියයට සියයක් ශ්‍රී ලාංකිකයි. මොකද මම බැන්දෙත් ශ්‍රී ලාංකිකයෙක්නේ...

ඒ කියන්නේ අංජලිකා සිටම ඔබ යම් බලාපොරොත්තුවක් තබාගෙන හිටියාද?

නෑ නෑ. මොකද ඉන්දියාවෙදි වුවත් ඔබ සම්මානයක් සඳහා සුදුසු වන්නේ අනිවාර්යයෙන් රඟපෑම සමඟ දෙබස් කීවොත් පමණයි. නැත්නම් ඔබේ චරිතයෙන් බාගයක් කරන්නේ හඬකැවීම් ශිල්පියානේ. දෙමළ භාෂාවෙන් මම රඟ පාමින් දෙබස් කී ‘නාන්කඩවුල්’ චිත්‍රපටයට තමයි ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය සම්මානය ලැබුණේ. ඒත් සරිගම මම සිංහලෙන් මගේ චරිතෙට පණ පෙව්වා. ඒ නිසා එය මගේ පූර්ණ දායකත්වය හිමි වුණු චරිතයක්. හැබැයි ඩබිං කරද්දීත් මම සෝමරත්න දිසානායක මහත්මයාට කීවා අය්යෝ අය්යණ්ඩී මම සියයට හතළිහයිනේ රඟපාලා තියෙන්නේ කියලා. ඒත් ඒ වෙලාවේ ඔහු කීවා නෑ නෑ නෑ ඔයා ඒක හොඳට කරලා තියෙනවා කියලා. සමහර විට අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන දේ අපි කරනවා තමයි. ඒත් රංගන ශිල්පීන් හැටියට අපෙන් චරිතයකට විය යුතු දේකුත් තිබෙනවානේ නේද? ඒකයි මම හැම තිස්සෙම හතළිහක් ගැන කියන්නේ.

සරිගම හි මරියා ගැන ඔබ හිතන්නේ කොහොමද?

ඒකේ එක එක අවස්ථාවල එක එක හැඟීම් ඉදිරිපත් කරන්න තිබුණා. මම කන්‍යාරාමයේ ඉද්දි හරිම දඟකාර චරිතයක්. දුවනවා පනිනවා බොරු කියනවා එහෙ යනවා මෙහෙ යනවා. හැබැයි ඒක මට නුහුරු නෑ. මමත් කොන්වන්ට් ගිය කෙනෙක් නේ. අපි දන්නවා කොහොමද මදර් සුපිරියර් අත්දෙක පිටිපස්සෙ වේවැල තියාගෙන යන්නෙ කියලා. මම දන්නවා කන්‍යා සොහොයුරියන් මොන වගේද කියලා. හරිම ආදරෙයි ඒ වගේම දැඩි නීති. ඒ නිසා තමයි අපි මේ තරම් හික්මිලා හැදුණේ. වෙලාවට කෑමට ආවෙ නැත්නම් විනාඩි පහක් බලලා දොර වහනවා. එදාට බඩගින්නේ තමයි. මරියාත් වෙලාවට ආවේ නැනේ පල්ලි යන්න.

අපිට දඬුවම් දෙනවා. අතුගාන්න, බාත්රූම් හෝදන්න. ඒවායින් අපි ජීවිතේට යමක් ඉගෙන ගන්නවා. පිඟානක්, අපේ රෙදි හෝදන්නේ කොහොමද කියන එකේ ඉඳන්. ඒ වගේ මරියාට ලැබුණු දඬුවම තමයි ළමයි හත් දෙනකු බලාගන්න යැවීම. එතැන කැප්ටනුත් නීතිකාරයෙක්නේ. ඒක වෙනම හැඟීමක්. ඒ වගේම ජීවිතේ පළමුවැනි වතාවට පිරිමියකු හමු වුණාම නව යොවුන් තරුණියකට දැනෙන හැඟීම. ඔහු ගැන ආදරයක් ඇති වීම ස්වභාවිකයි වගේම එය සඟවා ගන්න උත්සාහ කිරීම. ඔහුගේ පෙම්වතිය ගැන ඇති වන හැඟීම. අනෙක් අතට ඒ දරුවන්ට මෘදුව සලකන ගමන් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් දැඩිව සටන් කරන්න සිදු වීම. ඔවුන් විවිධ වයස්වල නිසා ඒ ඒ අවශ්‍යතාවන් හඳුනා ගැනීම.ලොකු දුවට පෙම්වතෙක් ඉන්නවා ඇය බොරු කියා පැන ගන්න බව දන්නවා. චූටියාට අවුරුදු පහයි එයා අහිංසකයි. මේ ඔක්කොම හරිම සුන්දර සංකීර්ණ හැඟීම් ගොන්නක්. දෙබස් හරි ලස්සනයි. හැබැයි මට ඒක දැනුණේ මගේම චරිතය වෙන වෙන තැන්වල ආයේ සිදු වෙනවා වගේ.

කොහොමද ඔබට ලැබුණු සහයෝගය?

අම්මේ හරි හොඳයි. අර සමනලයින් පාට පාට සින්දුවට නැටුම හදාගත්තෙත් ආලෝකකරණ ශිල්පීන්, කැමරි ශිල්පීන්, එක්ක අපි-අපිමයි. රෝසි බබා කියනවා ආනටි අපි මෙහෙම කරමු කියලා. ඉතින් අපි එහෙම නටනවා. ඇත්තෙන්ම එය පුංචි පික්නික් එකක් වගේ වුණා.

සිංහල සිනමාව සහ සිනමා කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?

අපේ අයට දක්ෂතා නැතිව නෙවේ, ශිල්පීන්ගේ කිසිම අඩුපාඩුවක් නිසා නෙවෙයි, අපට හැම දේම තිබෙනවා. ඒත් ඒවා හරියට යොදාාගෙන නෑ. උදාහරණයක් හැටියට අපට රන් ආකරයක් තිබෙනවා කියලා හිතමු. ඒක පොළොව යට තිබුණට අපට සතුටු වෙන්න බෑනේ. නිධිය පාදා ගත යුතුයි. මේ රටේ දක්ෂතාවයෙන් පිරුණු ශිල්පීන් සංචිතයක් තිබෙනවා. ඒත් එය පාවිචිචි කරන්න තිබෙන යාන්ත්‍රණය නිවැරැදිව ක්‍රියාත්මක වන්නේ නෑ. එහෙම නැත්නම් සම්බන්ධීකරණයක් නෑ. එක්කෝ එකමුතු බවේ අඩුවක්ද මම දන්නේ නෑ. මට පේනවා එකිනෙකා අතර තරගකාරීබවක්. ඉන්දියාවේ හැම දේටම සංගමයක් තිබෙනවා. නළු නිළි සංගමය, කැමරා ශිල්පී සංගමය, ආලෝකකරණ විතරක් නෙවේ සිනමා ක්ෂේත්‍රයේ රියැදුරන්, ආහාර සපයන්නන්ගේ පවා සංගමයක් වෙනම තිබෙනවා. මොනවා හරි ගැටලුවක් ආවොත් සංගමය විදිහටයි ඉදිරිපත් වෙලා විසඳුම් ලබා ගන්නේ. ඒ වගේම රංගන ශිල්පීන් එකතු වෙලා සන්දර්ශන තියලා අනෙක් සංගම්වලට මුදල් සොයා දෙනවා. සුබසාධන කටයුතු කරනවා. ඒ හැමෝම හිතන්නේ මේ සියලු දෙනා අපේ ප්‍රජාවේ සාමාජිකයන් හැටියට. රංගන ශිල්පීන්ගේ සංගමේ නිලවරණයට ඡන්දෙ දීම අනිවාර්යයි. මම මෙහෙ ඉඳන් ඒ සඳහාම ඉන්දියාවට යන වෙලාවල් තිබෙනවා. එහෙම ප්‍රබල සංගමයක් මට මෙහෙ පේන්න නෑ. දෙවැනි කාරණේ යමෙකුට රංගන ශිල්පියකු වන්න ඕනෑ නම් ඒ සඳහා යොමු වන්න ක්‍රම වේදයක් නෑ. අනෙක එහෙම යොමු වුණත් එය වෘත්තීයමය වශයෙන් කරන්න හොඳ පුහුණුවක් ගන්න තැනක් නෑ. ගිය ඉරිදා තරුණ සමුළුවකදි මට එහෙම අත්දැකීමක් ලැබුණා. ඒ මල්ලී රඟපාන්න හොඳ කෙනෙක් ඒත් එයාට අවස්ථාවක් නෑ, අනෙක අපි හිතමු ගහගෙන වැටෙන්න වුණා කියලා. ඒකටත් හරි පුහුණුවක් ඕනේ වැටෙන එකත් කලාවක්. නැත්නම් පළමුවෙනි වතාවෙම අත කැඩිලා යයි. ආයේ රඟපාන්නම බැරි වෙන්න.

සමහරු හිතනවා අපේ ශ්‍රී ලංකාව පුංචි රටක් නිසා මේ හැම දේම කියලා. නෑ. එහෙනම් කේරලය? කේරලය රවුම් කළොත් ලංකාව තරම් තමයි. කන්නෙ බොන්නේ අඳීන්නේත් අපේ විදිහට. ඒත් උදාහරණයක් හැටියට ධර්ම යුද්ධය වගේ චිත්‍රපටයක් හැදිලා ඒක භාෂා කීපයකට පරිවර්තනය වෙලා ලෝකය ජය ගන්න පුළුවන් නම්, ඇයි ලංකාවේ සිංහල චිත්‍රපටයක් ඒ වගේ භාෂා ගොඩකට පරිවර්තනය වන විදිහට හදන්න බැරි? අපි එකිනෙකාට උදව් කරගන්න ඕන. තවත් උදාහරණයක් හැටියට අපි දෙන්නා පින්තූරයක් ගන්නවා නම් ඔබයි මමයි දෙන්නම ලස්සනටහිටියොත් තමයි අවසානේ මුළු පින්තූරයම ලස්සන වන්නේ. මම විතරක් කැපිලා පේන්න අනෙක් කෙනාගේ මූණට එන ආලෝකය ආවරණය කරලා කළු කරන්න හොඳ නෑ. මම කියන දේ තේරුණා නේද? ඉන්දියාවෙදි නම් මට චරිතයක් කරන්න වෙලාව නැත්නම් වෙන කෙනෙක්ව අපි යෝජනා කරනවා. ඒක අපිට වැරැද්දක් වෙන්නේ නෑ. මෙහෙත් සිනමාව ගැන දැඩි ඇල්මක් තිබෙන පිරිස ඉන්නවා. සියලු ප්‍රශ්න තියෙද්දි ලොකෙට සිනමාව ගෙන යන අයත් ඉන්නවා. එහෙම තියෙද්දිත් එකමුතුව වැඩ නොකරන්නේ ඇයි කියලා මට දුකක් තියෙනවා.

ඔබ විශ්වාස කරන යම් දහමක් තිබෙනවාද?

ඔව්. මම කැමතිම තැනැත්තා දෙවියන් වහන්සේ. ඒත් උන්වහන්සේ ඉන්නේ දිව්‍යලොකෙනේ. මේ මහ පොළොවේ මගේ කැමතිම පුද්ගලයා මගේ සීයා. අම්මාගේ තාත්තා. ඔහුගේ තැන ගන්න මගේ තාත්තටවත් ස්වාමිපුරුෂයාටවත් බෑ. මම විශ්වාස කරන්නේ එකිනෙකාට ආදරය කිරීම, කරුණාව දැක්වීම උදව් කිරීම ගැනයි. එය මට ලැබුණේ පල්ලියෙන්. කන්‍යාරාමේ අනෙක් ළමයින්ට පොකට් මනී තිබුණට මට ඉරිදාට චිත්‍රපටයක් බලන්න පීසා එකක් කන්න විනෝද වෙන්න සල්ලි තිබුණේ නෑ. ඒ වෙනුවට මම කළේ පොත් ගුල්ලෙක් වගේ පොත් කියවන එකයි ඉරිදට පල්ලි යන එකයි. අවරුදු 18 විතර වෙද්දි මට පල්ලියේ දේවල් තේරුම් ගියත් ඒවා හරියට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් බව දැනුණේ 28ක් 29ක් වෙද්දි. හැබැයි ඒකත් ලේසි නෑ. අපට පුළුවන් නම් තව කෙනකුගේ මුහුණට සිනාවක් එක් කරන්න, ඒ නිසා ඒ මුළු පවුලම ඒ දවස සතුටින් ගෙවාවි. ඉතින් අමාරුවෙන් හරි අපි ආදරය වැපිරුවොත් අපට ලැබෙන අස්වැන්නත් හරිම ආදරණියයි.