වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




මේ මා ලද ඉහළම සම්මානයයි

මේ මා ලද ඉහළම සම්මානයයි

සරසවිය සම්මානයක් හිමි වීම කලාකරුවෝ සලකන්නේ භාග්‍යයක් හැටියටය. එමෙන්ම අනෙකුත් සම්මානවලට වඩා සරසවියේ සම්මානයන්හි වටිනාකම වැඩිය. එහෙයින් සරසවිය සම්මානයක් හිමිවීම යනු කලාකරුවකුට ආභරණයක් පැලැඳීම හා සමානය.

යශෝධා රසඳුනි ද එවන් වූ භාග්‍යවන්තියකි. ඇය මෙවර සරසවිය සම්මාන උලෙළේ තමන්ට ද සම්මානයක් වෙන් කර ගත්තේ සයපෙති කුසුමේ සරසි වෙනුවෙනි. ඒ 2016 වසරේ හොඳම නැඟී එන නිළිය හැටියටය.

යශෝධා සරසවිය සම්මානයක බර ඔබේ හදවතට දැනෙනවා ඇති නේද?

ඇත්තටම ඔව්. මේක මගේ ජීවිතයේ ලද ඉහළම සම්මානයක්. හැබැයි මම කවරදාකවත් හිතුවේ නැහැ මට සරසවිය සම්මානයක් මෙතරම් ඉක්මනට ලැබේවි කියලා. අනපේක්ෂිත අවස්ථාවකටයි මං එදා මුහුණ දුන්නේ.

පරක්කු වෙලා පැමිණි නිසා ඔබට වේදිකාවට විත් සම්මානයක් ගන්න බැරි වුණා?

මං එදා හිතලා පරක්කු වුණේ නැහැ. ඒත් මඟ එනකොටම මට දැනගන්නට ලැබුණා මට සම්මානයක් හිමි වෙලා කියලා. සයපෙති කුසුම චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස අයියා තමයි මාව එලෙස දැනුවත් කළේ.

කොහොමද ඔබේ මේ දිනවල රංගන කටයුතු?

විශේෂයක් නැහැ. මං දැන් රංගනයට අමතරව ගුරුවරියක් හැටියට වැඩ කරනවා. ඒ හින්දත් කාර්යබහුලයි.

වෘත්තීය රංගන ශිල්පිනියක් වීමට අපේක්ෂා කළේ නැත්තේ ඇයි?

වෘත්තීය නිළියක් වෙන්න ආසයි. ඒත් යම් යම් හේතු නිසා එහෙම වෙන්න බැහැ.

ඔබ රංගනයේ යෙදෙන්නේ තෝරා බේරා ගෙනද?

අනිවාර්යයෙන්ම. මට චිත්‍රපට කිහිපයකටම කතා කළා. ඒත් මට කරන්න පුළුවන් චරිත නෙවෙයි කියලා හිතුණා.

ඔබේ පිළිතුර තවදුරටත් පැහැදිලි කළොත්?

සයපෙති කුසුම වැඩිහිටියන්ට පමණක් සුදුසු යන තේමාවක නිපයුවක්නෙ. මම එවන් වූ තේමාවක් ඇති චිත්‍රපටයක රඟපෑ නිසා මං ඕනෑ දෙයක් කරන්න ලැහැස්ති වෙලා ඉන්න නිළියක් හැටියට ඇතැම් අය මාව දකිනවා. ඒ කෝණයෙන් බලලයි මට නිර්මාණවලට කතා කරන්නේ. ඒ නිසා එම ආරාධනා බාර නොගෙන ඉන්නට මට සිදුවෙනවා.

ඇයි ඔබ සය පෙති කුසුම චිත්‍රපටයට කැමැති වුණේ?

මං එහි තේමාවට ප්‍රිය කළා. බොහෝ දෙනෙකුට ස්පර්ශ නොවූ මාතෘකාවක් යටතේ එය හැදුණේ.

ගුරුවරියක් වුණාට පසු ඔබගේ රංගනයට නව ප්‍රතිපත්ති හැදුණද?

ගුරුවරියක් නිසාම නෙවෙයි, කොහොමත් මගේ රංගන ජීවිතයට ප්‍රතිපත්ති තිබුණා. ඒ ඔස්සේ තමයි මං වැඩ කළේ.

උසස් නිර්මාණකරුවෙක් ඔබට ආරාධනා කළොත් චිත්‍රපටයක නිරුවත් චරිතයකට . . . ඔබ මොකද කියන්නේ?

ප්‍රතික්ෂේප කරනවා.

ටෙලි නාට්‍ය සඳහා ඔබේ ඇති රුචිකත්වය කෙබඳුද?

කොටස් පණහෙ ටෙලි නාට්‍යයක් නම් කමක් නැහැ. මං එහෙම නාට්‍යයක රඟපෑවනෙ.

ගොලු තාත්තා?

ඔව්. ඒ නාට්‍යයේ තමයි. නමුත් ඉන් එහා ඇදෙන නාට්‍යවලට මං ආස නැහැ. මුල්‍යමය තත්ත්වයන් මත ඊට හිරවෙලා නාට්‍ය කරන්න බැහැනෙ. ඒවයේ දවසට සීන් ගොඩක් ගන්නවා. මට එහෙම හිරවෙලා රඟපාන්න බැහැ.

සම්මානනීය වූ ඔබගේ රංගනය සඳහා දැන් මිල කොහොමද?

මම දන්නේ නැහැ අනෙක් රංගන ශිල්පීන්ට වැඩිය මගේ මිල අඩු ද වැඩි ද කියලා. නමුත් මං මගේ වටිනාකමට මුදලක් ගන්නවා. ඒක වැඩි ද නැද්ද කියලා මං දන්නේ නැහැ.

ලංකාවේ හැදෙන චිත්‍රපට ගැන මොකද කියන්න තියෙන්නේ?

වැඩිපුරම හැදෙන්නේ මල් චිත්‍රපට. හොඳ ඒවා අඩුයි කියලා තමයි කියන්න තියෙන්නේ.

යශෝධා මේ වන විට විවාහකයිද?

නැහැ. මං මේ දිනවලදී ආදරය විඳිමින් සිටිනවා.