වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




දෘශ්‍යම් ලියන්න අවුරුදු හතක් ගතවුණා

දෘශ්‍යම් ලියන්න අවුරුදු හතක් ගතවුණා
- ජිතු ජොසෆ්

එදා අපි හදපු තී රූගත කළේ ලංකාවේ
- සුරේෂ් බාලාජි

* ධර්මයුද්ධයට පාදක වූ දෘෂ්‍යම් අධ්‍යක්ෂ ලංකාවට ඇවිත්
* ජැක්සන්ගේ රංගනය විශිෂ්ටයි

සරසවිය සිනමා උලෙළට සමගාමීව පැවැත්වුණු සිනමා සතියේදී ප්‍රදර්ශනය කළේ 2016 සහ 2017 වසරවල වැඩිම ආදායම් ලද සිනමා කෘති හතරයි. ඒ අතරින් ධර්මයුද්ධය තිරගත වූ දා විශේෂ වූයේ එහි මුල් කෘතිය වන මලයාලම් භාෂාවෙන් නිපදවූ දෘෂ්‍යම් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජිතු ජෝසෆ් පළමුවැනි වරට ශ්‍රී ලංකාවට පැමිණීමයි. ඔහු එහි දෙමළ භාෂිත පාපනාසම් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. ධර්මයුද්ධයේ තිරනාටකයටද හිමිකම් කීවේය. සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් පැමිණි ඔහු සරසවියට අදහස් දැක්වූයේ මේ ලෙසයි.

කොහොමද ඔබට මේ අවස්ථාව දැනෙන්නේ?

ඇත්තෙන්ම මට ඉතාම සතුටුයි. මේ මම ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව. මම ලංකාව ගැන බොහෝ දේ අහලා තිබෙනවා. මම හිතනවා මේ රටේ සිනමා කර්මාන්තය යළි නව ගමනක් අරඹමින් තිබෙනවා කියලා. මේ පැමිණීමත් මට සුවිශේෂයි. ඒ වගේම මගේ සිනමා කෘතියේ සිංහල නිර්මාණය මේ වගේ අවස්ථාවක දකින්න ලැබීමත් භාග්‍යයක් කියා සිතනවා.

ඔබ තිර රචකයකු වගේම අධ්‍යක්ෂවරයෙක් හැටියට මේ වැනි වස්තුබීජයක් සොයා ගන්න හේතු වුණේ කුමන නිමිත්තක්ද?

ඇත්තෙන්ම මට මේ කතාවේ නිමිත්ත ලැබුණේ 2000 වසරේ වගේ. ඒ කාලේ මම සිනමා කර්මාන්තයේ නියැලුණු කෙනෙකු නොවෙයි. මම මගේ යහළුවන් කිහිප දෙනකු සමඟ ඉඳගෙන පොඩි කයියක් ගහගෙන ඉද්දි ඒ එක යාළුවෙක් තරමක් බරපතළ කාරණයක් ගැන කතා කරන්න පටන් ගත්තා. පවුල් දෙකක දුවෙකුයි පුතෙකුයි අතර ආදර සම්බන්ධයක් ඇති වෙලා පොලීසි යන මට්ටමට ඒ කතාව දික්ගැසුණු හැටි ඔහු කීවා. ඊට පස්සේ ඔහු මට කියනවා 'ජිතු මට තේරෙන්නේ නෑ මම කාගෙ පැත්ත ගන්නද කියලා. මම ඒ පවුල් දෙකම අඳුනනවා. ඒ දෙන්නගෙම හරි වගේම වැරැදි තිබෙනවා. ඉතින් මම උදව් කරන්න ඕනෙ කාටද?' කියලා. මේ වගේ අවස්ථා අපේ ජීවිතයේ උදා වෙනවා. ඉතින් ප්‍රේක්ෂකාගාරයත් සහාය දක්වන්නේ කාගේ පැත්තටද? අපට පිරිමි ළමයාගේ අම්මාට චෝදනා කරන්නත් බෑ. ඇය ඇයගේ නැති වූ පුතා සොයන්නේ. අපට බෑ ගැහැනු ළමයාගේ තාත්තාට චෝදනා කරන්න ඔහු උත්සාහ කරන්නේ තමන්ගේ දුව බේරා ගන්න. මෙය තමයි මුඛ්‍ය හරය වුණේ මේ කතාවේ.

ඒ කියන්නේ ඔබ සැබෑ අත්දැකීමක් ඇසුරෙන් මෙය ගොඩ නැඟුවේ?

ඔව්. මේ ගෑනු ළමයාගේ පවුල උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නයෙන් ගැලවී යන්න. ඒ අය සාමාන්‍ය පවුලක්. ඔවුන්ට ඕන වුණේ නෑ තමන්ගේ දුව හිරේ යනවා බලන්න. ඇත්තෙන්ම කීවොත් නිමිත්තට හේතු වුණු වාක්‍යය හැටියට මගේ හිතට දැනුණේ මේ සත්‍ය කතාවේ එන 'පැවැත්ම සදහා කරන සටන' කියන වාක්‍යයි. හැබැයි මේ තිර රචනය ලියන්න ඉන් පසු වසර හත අටක් ගත වුණා.

ඔබ බොහෝ වෙලාවට පොලීසියේ කටයුතු පිළිබඳව, රහස් පරීක්ෂක තේමා රැගත් තිර කතා ලියන්න කැමැත්තක් දක්වනවා?

ඒක නම් ඇත්ත තමයි, හැබැයි හරියටම හේතුව කියන්න මම දන්නේ නෑ. සමහර විට මම පුංචි කාලේ ඉඳන්ම ස්ටීව්ගේ, ෂර්ලොක් හොල්ම්ස්ගේ කතා කියවන්න පුරුදු වුණා. ඒ වගේම හැම කෙනකුටම පෞද්ගලික වූ රසයක් තිබෙනවා. සමහරු ආදර කතාවලට වැඩිපුර කැමතියි. ඒ වගේ මම වැඩිපුර ආකර්ෂණය වන්නේ මේ වගේ කතාවලට. ඒත් මම වෙනත් ආකාරයේ චිත්‍රපටත් කරනවා. විකට නැත්නම් හාස්‍ය චිත්‍රපට, පවුලේ කතා ආදියත් මම නිර්මාණය කර තිබෙනවා.

ඔබ දිගින් දිගටම නිර්මාණය කරන්න බලාපොරොත්තු වන්නේ ඒ වැනි කතාද?

නෑ. නෑ. මම දැන් උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයන් මාව වර්ගීකරණය කර තිබෙන මේ ත්‍රාසජනක සහ විමර්ශන චිත්‍රපට සන්නාමයෙන් මිදිලා වෙනත්ම මඟක් ගන්න.

මොකක්ද ඒ අලුත් මඟ?

එය ඔබට ඉදිරියේදී මගේ නිර්මාණවලින් දැක ගන්න පුළුවන් වෙයි.

දෘෂ්‍යම් මේ තරම් ජනප්‍රිය වන්න හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

මම හිතන්නේ මේ වස්තු බීජය තමයි එයට හේතුව. මෙය සාමාන්‍ය පවුලක් බලවත් පවුලකට එරෙහිව කරන සටනක් බවටත් පත් වෙනවා. දෘෂ්‍යම් චිත්‍රපටයේ කේරල මුල් කෘතියේ මේ බලවත් කාන්තාව පොලිසියේ උසස් නිලධාරිනියක්.

ඔබ හිතන්නේ ආසියාතික රටවල් සියල්ලටම මේ කතාව පොදුයි කියලාද?

සත්‍ය වශයෙන්ම ඔව්. මෙය ගෝලීය එහෙමත් නැත්නම් විශ්වීය ගැටලුවක්. මෙය බලයට එරෙහිව කරන සටනක්. එයම වන්න ඕනා මේ කතාව භාෂා හයකට පෙරලෙන්න හේතුව.

ඒ චිත්‍රපට හයේ ඔබ යම් වෙනස්කම් දකිනවාද?

ඇත්තෙන්ම චිත්‍රපට හයේ ලොකූ වෙනස්කම් කියලා දේවල් හොයන්න බැරි තරම්. මොකද ඒ කතාවලත් විෂය තේමාව සමානයි. එකම දේ පවුලේ හැසිරීම්, සංස්කෘතික හේතුන් මත ඇතිවන වෙනස්කම්, පවුලේ බැඳීම්වල ඇති යම් යම් දේ වගේ පොඩි පොඩි දේවල් තමයි දකින්න ලැබෙන්නේ. ඒ හැර මූලික කතාවේ වෙනස්කම් නෑ. ඇත්තෙන්ම මට සිංහල චිත්‍රපටය සම්පූර්ණයෙන්ම දකින්න ලැබුණෙ නෑ. ඒ ගැන කණගාටුයි.

ඔබ වෙනත් සිංහල චිත්‍රපට නරඹා තිබෙනවාද?

ඇත්තෙන්ම නෑ. ඒත් මට දැන් ඒ පිළිබඳ උවමනාවක් උනන්දුවක් ඇති වෙලා තිබෙනවා.

බොලිවුඩ් නළු නිළියන් වන මොහාන් ලාල්, අන්සිතා, මීනා ඒ වගේම කොලිවුඩයේ කමල් හසන්, ගෞතමී, නිවේදා, සමඟ අපේ ජැක්සන් ඇන්තනී, දිල්හානී සමඟ තිසුරි ඔබට සසඳන්න පුළුවන් ද?

ඇත්තෙන්ම අපට ඔවුන් සසඳන්න අමාරුයි. මොකද ඒ හැම දෙනාම ඉතාමත් දක්ෂ අය. ඒ අයට ආවේනික ශෛලීන් තිබෙනවා. මේ ප්‍රශ්නයටම මට මුහුණ දෙන්න වුණා පන්නාසම් හදපු වෙලාවේ. මොකද මොහන් ලාල් වගේම කමල් හසන් කියන්නේ ප්‍රවීණ වගේම රංගන ක්ෂේත්‍රයේ වටිනා වස්තූන් බඳු නළුවන් දෙදෙනෙක්. ඒ වෙලාවෙත් මට කියන්න තිබුණේ හැම නළුවක්ටම තමන්ගේ ආවේණික ශෛලියක් තිබෙන නිසා දෙදෙනාම හොඳයි කියන දේ තමයි. ඒ වගේම මම ධර්ම යුද්ධය බලද්දි බොහෝ දෙනකු කීවා ජැක්සන් ඇන්තනි ඉහළ රූපණ කුසලතාවක් පෙන්නුම් කළා කියලා. ඒක මට පිළිගන්න වෙනවා. මොකද එහෙම නොවුණා නම් මේ චිත්‍රපටය මේ තරම් ජනප්‍රිය වන්නේ නෑනේ.

ඔබ පාපනාසම් කළා වගේ මේ සිංහල කෘතිය අධ්‍යක්ෂණයට යොමු නොවුණේ ඇයි?

මට ඉතින් ඒ අවස්ථාව නොලැබුණු නිසා වෙන්න ඇති. ඒ වගේම මේ රටේ සංස්කෘතිය ගැන එහෙමත් මට ලොකු අවබෝධයකුත් නෑ. ඇත්තෙන්ම ස්වදේශිකයකු එය අධ්‍යක්ෂණය කිරීම බොහෝ විට වඩාත් සාර්ථකයි.

සමහරු කියනවා මේ වස්තු බීජය ජපාන කතාවක තිබුණා කියා. ඒත් ඔබ සමඟ කතා බහ කිරීමේදී මට හැඟුණේ එයට ෂර්ලොක් හොල්ම්ස් කතා බලපා ඇති බවයි?

ඔව් ඇත්තෙන්ම මේ කතාවට ජපානයේ කිසිම සම්බන්ධයක් නෑ. තවත් සමහරු කීවා මේ වගේ කොරියන් චිත්‍රපටයක් තිබෙනවා කියලා. මට මතක හැටියට අපි රූපගත කිරීම් කරන අතර හෝ නිම වූ ගමන්ම වගේ මට කවුරුහරි කීවා ජපන් බසින් ලියවුණු මේ වගේ නවකතාවක් තිබෙනවා, ඒ වගේම කොරියානු චිත්‍රපටයක් තිබෙනවා කියලා. මම ඒ චිත්‍රපටය නැරඹුවාම අවබෝධ වුණු දේ තමයි මූලික වස්තුබීජය එකම වුණත් කතාව වෙනස් කියන දේ. ඒ කතාවේ මිනී මැරුම් දෙකක් වගේම විශාල වෙනස්කම් තිබුණා. එහෙම අහඹු දේවල් ලෝකේ සිදු වන්න පුළුවන්. ෂර්ලොක් හෝල්ම්ස් කතාවලින් මම උකහා ගත්තෙ කොහොමද කුතුහලය පවත්වා ගන්නේ කියන එකයි. මම ඒ කතා චිත්‍රපට ආදියෙන් තොරතුරු ලබා ගන්නවා පමණයි.

කටකතාවක් තිබුණා හින්දි බසට පරිවර්තනය වූ චිත්‍රපටයේ නළුනිළියන් පිළිබඳ ඔබේ වැඩි පැහැදීමක් තිබුණේ නෑ කියලා?

නෑ ඔක්කොමත් එක්ක නෙවෙයි. සමහර ශිල්පීන් තේරීම පිළිබඳ මට යම් ගැටලුවක් මට තිබුණා. එහෙම නැතිව අජේ දේව්ගන් හෝ අනෙක් ප්‍රධාන නළු නිළියන් සමඟ නොවේ. එය මම සෘජුවම අධ්‍යක්ෂවරයාටත් කීවා.

ඔබට යම් අවස්ථාවක් ලැබුණොත් සිංහල චිත්‍රපටයක් කරන්න?

අනිවාර්යයෙන් සතුටින් බාර ගන්නවා. හැබැයි ඉතින් කෘතියේ කතා කරන විෂයය, අය වැය වගේ දේවල් හොඳ වන්නත් ඕනා.

මොනවද ඔබේ ඉදිරි වැඩකටයුතු?

මම එක් බොලිවුඩ් සිනමා පටයක් නිම කළා විතරයි. ප්‍රධාන නළු නිළියන් ඉම්රාන් අෂ්මි සහ රිෂි කපූර්. ලබන මාසය අවසානයේ තවත් මලයාලම් චිත්‍රපටයක් ආරම්භ කරනවා. තවත් දෙමළ චිත්‍රපටයක් ගැන සාකච්ඡා කරමින් පවතිනවා. ඉතින් වැඩ කීපයක් තිබෙනවා ඉදිරියට කරන්න.

ජිතු ජොසෆ්ගේ ඉදිරි කටයුතුවලට සුබ පතමින් අප යොමු වුණේ ඔහු සමඟ පැමිණි නිෂ්පාදකවරයකු වන සුරේෂ් බලාජි වෙතයි. ඔහු දෘෂ්‍යම්හි රිමික්ස් චිත්‍රපට දෙකකම නිෂ්පාදකවරයායි.

ඔබට කොහොමද මේ උලෙළ හැඟෙන්නෙ?

ඇත්තෙන්ම මමත් ඉන්නේ බොහොම සතුටින්. ඒ වගේම මට හරිම ආඩම්බරයි මේ අවස්ථාවට සහභාගී වන්නට අවස්ථාව ලැබිම ගැන. මොකද මම තෙලිඟු හා දෙමළ චිත්‍රපටවල නිෂ්පාදකවරයා හැටියට මෙය මට විශේෂ අවස්ථාවක්. මෙහි මුල් කෘතියේ රඟපෑ මොහන් ලාල් මගේ මස්සිනා ඉතින් මට මේක පවුලේ වැඩක් වගේ. මලයාලම් කෘතිය දැකපු ගමන්ම අපි කතාවුණේ මෙය දෙමළ බසින් තැනිය යුතු බවයි.

ඒ සඳහා ඔබ මොනවද ගත් පියවර?

අපි වහාම ප්‍රවීණ නළු කමල් හසන්ට කතා කළා. ඔහු කීවා මෙය ඉතා විශිෂ්ට කෘතියක් නිසා එයට දායක වීමට ලැබීම ඔහුට සතුටක් කියලා. ඒ වගේම ඔහුගේ උපරිම දායකත්වය එහි රඟපෑමට ලබා දුන්නා. පස්සේ තෙලිඟු බසින් එය කරන්න වෙන්කටේෂ් මගේ පාසල් මිතුරා කැමති වුණා. ඉතින් මෙය දකින හැම කෙනකුම මේ අවස්ථාව ලබා ගන්න බොහොම කැමැත්තෙන් සතුටින් ඉදිරිපත් වුණා. ඒ වගේම රාජා මහේන්ද්‍රන් මහරාජා ආයතනයේ සභාපතිතුමාටත් මම මෙය බලන්න කීවා. ඔහු දුටු සැණින් එයට කැමති වෙලා මට කතා කළා. ඒ ගමන්ම මම නොවලහා අවශ්‍ය අවසර ගැනීම් ආදියට ජිතු ජෝසෆ්ට ඇමතුවා. නිෂ්පාදක ඇන්තනි මහත්මාටත් කතා කළා.

එතරම් දායක වූ ඔබ ධර්ම යුද්ධය නැරඹුවාද?

අපෝ ඔව්. මම පළමු සංස්කරණයම නැරඹුවා. මට පුදුම සතුටක් දැනුණේ එදා. මොකද එය මුල් කෘතියට උපරිම සාධාරණයක් ඉටු කර තිබුණා. ඉතින් අදත් මට ඒ සතුට දැනෙනවා.

ඔබ අපේ ශිල්පීන් බොහෝ අගය කළා?

ඔව් හරිම ආකර්ෂණීයයි ජැක්සන්ගේ රංගනය. මෙහි සියලුම භාෂාවල රංගන ශිල්පීන් විශිෂ්ට ලෙස තමන්ගේ වගකීම ඉටු කරනවා. විශේෂයෙන් මේ වගේ තිර රචනයකට රඟපාන්න විශේෂ කෞශල්‍යයක් තිබෙන්න ඕනා. ඒ හැකියාවම තමයි ධර්ම යුද්ධය මේ තරම් ජන ආකර්ශනය වන්නට හේතු වන්න ඇත්තේ. නළු නිළියන්ට රඟපාන්න පුළුවන්. ඒත් චරිතයට සාධාරණයක් නොවුණොත් ප්‍රතිඵලය එතරම් හොඳ වන්නේ නෑ. ඒ නිසා මම පෞද්ගලිකව මේ රංගනයන් කෙරෙහි, විශේෂයෙන් ජැක්සන් ඇන්තනිගේ රංගනය ගැන සතුටට පත් වනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිනමා සහයෝගිතාව ගැන ඔබ මොකද හිතන්නේ?

අප ඒ සබඳතාව ඇති කර ගත්තේ බොහෝ කාලයකට පෙර සිටමයි. මගේ පියාත් මහරාජා සමූහය සමඟ එකතුව 1980 -81 වගේ කාලේ 'තී' නමින් චිත්‍රපටයක් කළා. එය දෙමළ චිත්‍රපටයක්. මෙහෙ ප්‍රදර්ශනය කළේ. තී නිර්මාණය කිරීමේදී මෙරට සියලු කටයුතුවලදී මා සම්බන්ධ වුණා. එය මෙහේ නොහිතපු විදියට දිව්වා. ඉන්දියාවෙත් එය අතිශය ජනප්‍රිය වුණා මොකද රැජිනි කාන්ත් ඒ කාලේත් සුපිරි වීරයා නිසා. මෙහෙ කළ රූපගත කිරීම් අපට ඉතා වටිනා අත්දැකීම් සම්භාරයක් ගෙනත් දුන්නා. දර්ශන තල පුදුම ලස්සනයි. එහි හින්දි සංස්කරණය දීවාල්. අමිතාබ් භච්චන් රඟපෑවේ. එය අපේ සංස්කෘතියටත් ගැලපෙන කෘතියක් වුණා. රටේ ඇතිවුණු ප්‍රශ්න නිසා ඉන් පසු කරන්න සිටි කටයුතු ඇණ හිටියා. ඒත් දැන් යළිත් අපට දොරටු විවර වී තිබෙනවා. ලොව පුරා සිනමාවට අධිවේගී මාර්ග විවර වී තිබෙනවා.

එහෙනම් ඔබටත් මෙහි ආයෝජනය කරන්න පුළුවන්?

අපි ඕනෑම අවස්ථාවක් ගැන සලකා බලන්න කැමතියි මොකද මෙහි දර්ශන තල ඉතාම මනරම් නිසා. පහසුකම් තිබෙනවා. තාක්ෂණික උපකරණ තිබෙනවා. ඒ නිසා යම් ආයෝජනයක් කිරීම නරක නෑ. ඒත් පුංචි ගැටලුවකට තිබෙන්නේ රටේ විශාලත්වය අනුව ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒත් ඒ සීමාවන් අය වැයත් සමඟ ගලපා ගන්න පුළුවන් වුණොත් ඇයි අපි මෙහි ආයෝජනය නොකර ඉන්නේ?

මොනවද ඔබේ අනාගත වැඩකටයුතු?

අපි ජිතු අධ්‍යක්ෂවරයා සමඟ චිත්‍රපටයක් අවසන් කළා. තවත් හින්දි චිත්‍රපටයක් තිරගත වන්න ඔන්න මෙන්න තිබෙන්නේ. අපි රේඛිය නිෂ්පාදකයන් හැටියට අපට එන අවස්ථා ලබා ගැනීමයි විශේෂයෙන් කරන්නේ. ඉතින් ඔබේ රටෙත් එවැනි අවස්ථාවක් ලැබුණොත් අප එය සතුටින් බාර ගන්නවා.