වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය කලා රස වින්දනයෙන් පෝෂණය කළ මහාචාර්ය ඩයස් ගුණරත්න

2017 රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සරසවිය කලා රස වින්දනයෙන් පෝෂණය කළ මහාචාර්ය ඩයස් ගුණරත්න

සරස්වතී අභිනන්දන ගීතය ලිය වෙන්නෙත් ඔහුගේ මැදිහත්වීමෙන්

මගේ මතකය හරි නම් එහි මිල රපියල් 2 කි. සතිපතා පළවෙන 'සරසවිය' සඟරාවෙන් නිකුත් වූ අනගි සඟරාවකි එය. හීන් වැහි පොදක් කඩා හැලුණා මට මතකය. මම සඟරාව පපුවට තුරුළු කරගෙන හැල්මේ ගෙදර බලා දිව්වෙමි. සඟරවේ පිටු පෙරළීමට පවා ලෝභ හිතෙන ලෙස එය අපූරුවට මුද්‍රණය වී ඇත. එයින් නැඟෙන නැවුම් සුවඳ තවමත් මට දැනේ. මම ඒ සුවඳට ආදරය කරමි

මුල්ම සරසවිය චිත්‍රපට උලෙළ පවත්වා මාස තුනක් ගත වූ පසු 'සරසවිය' පුවත්පතක අපූරු දැන්වීමක් පළ වී තිබුණි. සරසවිය සම්මාන ලැබූ සැමගේ ඡායාරූප සහිත වාර්ෂික සංග්‍රහයක මංගල කලාපයක් 'සරසවිය සිනමා' නමින් නිකුත් වී ඇති බවය ඒ දැන්වීම. එහි පිටකවරයේ 1964 වර්ෂයේ හොඳම නිළිය වූ පුන්‍යා හීන්දෙනියගේ වර්ණ ඡායාරූපයකින් සැරසී සිටින පුංචි ඡායාරූපයක් ද ඒ දැන්වීමේ විය. එවකට දහ සය හැවිරිදි වියේ පසු වූ මම සෑම බදාදාවකම 'සරසවිය' පත්‍රය මිල දී ගන්නා කොස්ගස් හන්දියේ වෛත්‍යලිංගම් සුරුට්ටු කඩේට පිම්මේ දිව්වෙමි. එහි පුවත්පත් එල්ලා ප්‍රදර්ශනයට තබන්නේ නැත. එහෙත් ලේක්හවුස් ආයතනයෙන් නිකුත් වූ 'සරසවිය සිනමා' නම් මේ විශේෂ සඟරාව පමණක් කාටත් පෙනෙන්න එල්ලා තිබුණි. මගේ මුහුණේ සිනා රැල්ලක් දෝර ගියේය.

'අලුත් මැගසින් එකක්. දහයයි ගත්තේ. මේ අන්තිම එක.'

'මට ඒක දෙන්න'

මගේ මතකය හරි නම් එහි මිල රපියල් 2 කි. සතිපතා පළවෙන 'සරසවිය' සඟරාවෙන් නිකුත් වූ අනගි සඟරාවකි එය. හීන් වැහි පොදක් කඩා හැලුණා මට මතකය. මම සඟරාව පපුවට තුරුළු කරගෙන හැල්මේ ගෙදර බලා දිව්වෙමි. සඟරාවේ පිටු පෙරළීමට පවා ලෝභ හිතෙන ලෙස එය අපූරුවට මුද්‍රණය වී ඇත. එයින් නැඟෙන නැවුම් සුවඳ තවමත් මට දැනේ. මම ඒ සුවඳට ආදරය කරමි. මා ආදරයෙන් එදා මෙදා එකතු කළ සඟරා අතර අග්‍ර ස්ථානයක වැජඹෙන්නේ ඒ 'සරසවිය සිනමා' සඟරාවය. එහි තනි පිටුවේ සුදු කළු ඡයාරූප එකළොහක් විය. ඩී. ආර්., රුක්මණී, ජීවරාණි, ගාමිණී, විජිතා, සන්ධ්‍යා, ආනන්ද, ක්ලැරිස්, හෙන්රි, ලීනා, ෆ්ලොරිඩාගේය ඒ. සිරි ගුණසිංහ, රෙජී රණසිංහ, අමරදේව, පී. කේ. ඩී. සෙනෙවිරත්න, ටයිටස්, ලෙස්ටර්, ජෝ, ගුණදාස අමරසේකර, ආර්. ඩී. කේ. ජයවර්ධන, ධර්මපාල වෙත්තසිංහ, එල්මෝ ගුණරත්න ආදීන්ගේ ලිපි ද විය.

'සරසවිය සිනමා' නම් ඒ වාර්ෂික සංග්‍රහයේ සංස්කාරකවරයා ඩයස් ගුණරත්නය. මෙවර රණතිසර (සිනමා සාහිත්‍ය) සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුය. ඔහු සරසවිය කර්තෘ මණ්ඩලයේ ප්‍රථම සාමාජිකයාය. එදා ඔහු සංස්කරණය කළ සිනමා සංග්‍රහයේ කලා නිමැවුම නිමල් පෙරේරා (අභයවර්ධනය)ය. චිත්‍ර සිබිල් වෙත්තසිංහගෙනි. සිරස්තල අක්ෂර රූප ඇස්. ආර්. හේමපාලගෙනි.

මේ සිනමා සංග්‍රහය සංස්කරණය කළ ඩයස් ගුණරත්න 'සරසවිය' පුවත්පත 1963 වසරේ ආරම්භක අවස්්ථාවේ මුල්ම උප කර්තෘ විය. 1961 ලේක්හවුස් ආයතනයට බැඳුණු ඔහු 1966 ඉවත්ව පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස පත්ව පසුව එම අංශයේම මහාචාර්යවරයකු වී විශ්‍රාම ගියේය. මුල් යුගයේ ඔහු 'සිළුමිණ' පුවත්පතේ චිත්‍රපට විචාරකයා ද විය. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය ඔහු හඳුනන්නේ මහාචාර්ය ආර්. ඩී. ගුණරත්න නමිනි.

ඩයස් ගුණරත්න ලේක්හවුස් ජීවිතය ගැන කතා කරමින් ඒ අතීතය මතක් කළේය.

'විශ්වවිද්‍යාලයේ උපාධියට පෙනී සිටියාට පසු 1961 වසරේ මම ලේක්හවුස් එකට බැඳුණේ. ඒ කාලයේ කර්තෘ මණ්ඩලය භාර අධ්‍යක්ෂවරයා වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා (අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා). මේ කාලේ එංගලන්තයේ අධ්‍යාපනය නිම කරන රංජිත් විජයවර්ධන මහතා ලංකාවට ඇවිත් ලේක්හවුසියේ සභාපතිකම භාර ගත්තා. මාව තෝරා ගත්තේ 'ජනතා' පත්‍රයේ උප කතුවරයකු හැටියටය. එතකොට 'ජනතා' කර්තෘ ධර්මපාල වෙත්තසිංහ. ප්‍රධාන උප කර්තෘ එස්. සුබසිංහ. විශේෂාංග කර්තෘ සිසිල් ඉලංගකෝන්. ප්‍රවෘත්ති කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ. නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ එල්මෝ ගුණරත්න. මාව දැම්මේ ප්‍රවෘත්ති අංශයට. මට ප්‍රවෘත්තියක් තෝරා ගන්න සැටි, ප්‍රවෘත්තියක් ලියන හැටි කියලා දුන් ගුරුවරයා වූයේ එඩ්මන්ඩ් රණසිංහ බව ගෞරවයෙන් සඳහන් කරන්න ඕන. අපේ ඡායාරූප ශිල්පියා නිමල් පෙරේරා අභයවර්ධන.

ඒ කාලේ සිළුමිණත් ජනතා පත්‍ර දෙක එකට වැඩ කළේ. සෝමපාල රණතුංගත් උප කතුවරයෙක්. සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක. ප්‍රධාන උප කර්තෘ විමලසිරි පෙරේරා. එච්. කේ. මහින්දදාසත්, වෙ. වී. අභය ගුණවර්ධනත් හිටිය සිළුමිණේ.

'සරසවිය' පත්‍රය බිහි කිරීමේ පියා රංජිත් විජයවර්ධන මහතාය. 'සරසවිය' ඒ මහතා හුරතලෙක් 'ර්‍ථඥබ' කෙනෙක් කීවොත් නිවැරැදියි. සරසවිය චිත්‍රපට උලෙළ කිරීම ඒ මහතාගේ සංකල්පයක්. මුල්ම 'සරසවිය' පත්‍රයේ කර්තෘ මීමන ප්‍රේමතිලක. ප්‍රධාන උප කර්තෘ විමලසිරි පෙරේරා. මාස දෙක තුනකට පස්සේ කර්තෘකම විමලසිරිට ලැබුණ.මම ප්‍රධාන උප කර්තෘ වුණා. කර්තෘ මණ්ඩලයේ හිටියේ මමත්, කලා සංස්කාරක නිමල් පෙරේරාත් පමණයි. ඊට පස්සේ ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘත විශේෂ උපාධිය දිනාගෙන ලක්ෂ්මන් වික්‍රමසිංහ ආවා. ඒ කාලයේ සෝමවීර සේනානායක, පර්සි ජයමාන්න බැඳුණා. සිරි කහවලත්, අද ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්නත් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ විශේෂාංග ලිව්වා.'

ඩයස් ගුණරත්න 'සිළුමිණ' පුවත්පතට චිත්‍රපට විචාර ලීවේය. සාරවිට, සත් සමුදුර, ස්වීප් ටිකට්, සිකුරු තරුව මේ අතර විශේෂය.

'මට චිත්‍රපට විචාර ලියන්න අනුබල දුන්නේ එවකට 'සිළුමිණ' කර්තෘ වූ ධර්මපාල වෙත්තසිංහ හා දිනමිණ කර්තෘ වූ එස්. සුබසිංහ. මගේ විචාර බෙහෙවින් අගය කළේ විමල් දිසානායකය.

ඩයස් ගුණරත්න 'සරසවියට' සම්බන්ධවීමෙන් පසු මෙරට බුද්ධිමත් රසිකයාගේ ඥාන කෝෂය පුබුදුවාලීමට උපස්ථම්භක විය. 'සිංහල පාඨකයා' ගැන ඔහු ලියූ සමීක්ෂණ ලිපියත්, මහාචාර්ය සරච්චන්ද්‍ර සමඟ කළ සංවාදයක් ඇසුරෙන් ලියූ 'කල්පනා ලෝකයයි සාහිත්‍ය ලෝකයයි' ලිපියත්, මාර්ටින් වික්‍රමසිංහයන් ගැන ලියූ 'බුදු දහම මඟක් කරගත් ගැමියා' සංවාදයක් පමණක්ම වුව ද ඔහුගෙන් සාහිත්‍යයට වූ සේවය කැපී පෙනෙයි. ඊට අමතරව ඔහුගේ මැදිහත්වීමෙන් 'සරසවියේ' පළ වූ එය වැදගත් ඇයි මම කියෙව්වේ' යන මාතෘකාවෙන් විද්වතුන් කැමති පොත් ගැන අපූරු විශේෂංග පෙළක් පළ විය. 'විරාගයට කැමති ඇයි' යන ලිපිය මහාචාර්ය ඈෂ්ලි හල්පේ ද, 'හිඟන කොල්ලාට කැමතියි' යන අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ද, මඩොල්දුව ගැන කේ. එන්. ඕ. ධර්මදාස ද, 'ඩිංගිරි මැණිකා' ගැන එච්. එල්. සෙනෙවිරත්න ද ලියූ ලිපි මේ අතර කැපී පෙනෙයි. එපමණක් නොව ඔහු මාර්ටින් වික්‍රමසිංහ, ඊ. ඩබ්ලිව්. අදිකාරම්, ජේ. ආර්. ජයවර්ධන, ආචාර්ය ඒ. පී. ද සොයිසා, වින්සන්ට් සුබසිංහ, ජෝර්ජ් කීට්, බඹරැන්දේ සිරි සීවලී හිමි ආදීන් හමු වී තමා කිය වූ කැමති පොත් ගැන ද අපූරු විශේෂංගයක් ලිවීය.

'මමත් බෙනඩික්ට් දොඩම්පෙගම සමඟ එක්ව පොත් සාප්පු ගාණේ රස්තියාදු වෙමින් වඩා විකිණෙන පොත් ගැන ද ලිව්වා. මට මතකයි අපි දෙදෙනා ඩීමන් ආනන්ද සොයා මරදානේ ෂාලිමාර් හෝටලයට ගියා ඒ කාලේ. ඔහු කිව්වා 'එකවර පොත් හතක් තමා ලියන බව. අපි ඔහුගේ අදහස් කැටි කරලා අපූරු විශේෂාංගයක් ලිව්වා. ඒ කලේ සරසවිය කියවපු පාඨකයන්ට උසස් රස වින්දනයක් තිබුණා. තවත් වරෙක මට ධර්මපාල වෙත්තසිංහ සමඟ ජී. බී. සේනානායක හා පියසේන නිශ්ශංකව හමුවීමටත් ගියා විශේෂාංගයක් ලියන්න. මා ලියූ විශේෂාංගවලට ඡායාරූප ගන්න ගිය නිමල් පෙරේරා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකු හා මිනිසෙකු මට හමු වී නෑ ඔහු කීවේය.

ඩයස් ගුණරත්න තමා සංස්කරණය කළ 'සරසවිය සිනමා 1964' වාර්ෂික සිනමා සංග්‍රහය ගැන ද කතා කළේය.

'මේ සඟරාවට කෙළින්ම ලිපි ලියලා දුන්නේ මාර්ටින් වික්‍රමසිංහ, සිරි ගුණසිංහ, ටයිටස් තොටවත්ත, ආර්. ඩී. කේ. ජයවර්ධන, අමරදේව හා පී. කේ. ඩී. සෙනෙවිරත්න විතරයි. ජෝ ලියපු ලිපිය පී. කේ. ඩී. යි ලිව්වේ. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ගැන මම සාකච්ඡා කරලා ලිව්වා. ගැලරිය ගැන ලියූ ලෙස්ටර්ගේ ඉංග්‍රීසියෙන් ලියූ ලිපිය පරිවර්තනය කළා. මම ප්‍රකට නළු නිළියන් කිහිප දෙනෙකුගේ ගෙවල්වලට ගිහින් ඔවුන්ට ලැබෙන පාඨක ලිපි තෝරා ඒවා මමම පිළිතුරු ලියා 'අන්දරේ' නමින් පළ කළා. රෙජී රණසිංහගේ ලිපිය ලබා දුන්නේ බෙනඩික්ට්. මම සරසවියේදී යමක් ඉගෙන ගත්තා නම් ඒ සඳහා ගුරුහරුකම් දුන්නේ බොහෝ ඇසූ පිරූතැන් ඇති බෙනඩික්ට් දොඩම්පෙගම හා නිමල් පෙරේරාගෙන් පමණයි' ඔහු කීවේය.

ඩයස් ගුණරත්න ලේක්හවුසියේ සිටියදී ලියූ 'ග්‍රීක දර්ශනය' ග්‍රන්ථය පළ කිරීමට මීමන හා බෙනඩික්ට් උනන්දු කොට ඇත. ඩයස් ගුණරත්න 1966 ලංකා විශ්වවිද්‍යාලයට ගොස් එහි දර්ශනය ඉගැන්වීය. මහාචාර්ය ගුණරත්න 'විද්‍යාත්මක ක්‍රමය' නම් කෘතිය ද 1982 ද, 'සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා' මැයෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර ගැන ඉංග්‍රීසියෙන් පොතක් පළ කළේය.

'මගේ හොඳම මිත්‍රයා වුණේ බෙනඩික්ට් දොඩම්පෙගම. ඇතැම් සති අන්තයක මමත්, මා මිතුරු චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහත් බෙනඩික්ට් පදිංචිව සිටි නිවසට ගිහින් චිත්‍රපට බැලුවා. බෙනඩික්ට්ට චිත්‍රපට පෙන්වන ප්‍රොජැක්ටරයක් තිබුණා. අපි හවසට චිත්‍රපටත් බලලා පොඩි අඩියකුත් ගහලා රෑ නිදාගෙන උදේයි ගෙදර යන්නේ. ඒ වගේ රසවත් කාලයක් කවදාවත් උදා වෙන්නේ නෑ.

අමරදේව ගයන සරස්වතී අභිනන්දන ගීතය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලවා රචනා කරවා ගන්නේ ද ඩයස් ගුණරත්නයන්ගේ මැදිහත් වීමෙනි.

රණසිංහ ඩයස් ගුණරත්න මහනුවර අංකුඹුරේ 1937 පෙබරවාරි 27 වෙනිදා උපත ලැබීය. අංකුඹර ගමේ පාසලේත්, මාතලේ විද්‍යා විද්‍යාලයේත්, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලවලත් ඉගෙනුම ලැබූ ඔහු පේරාදෙනියේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගණිතය හා දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලැබීය. විශ්‍රාම යන තෙක්ම පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්ය ධුරය ද, දර්ශන හා මනෝ විද්‍යා අංශයේ අංශාධිපතිවරයා හා ශාස්ත්‍ර පීඨාධිපතිවරයා ලෙස සේවය කළේය.