වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමරත්න දිසානායක සුනාමි ගෙන එයි

සෝමරත්න දිසානායක සුනාමි ගෙන එයි

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන ඔහුගේ එකොළොස් වැනි සිනමා නිර්මාණයෙහි මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරගංනී ශාලාවේදී පැවැත්විණ. සුනාමි යනුවෙන් එය නම් කොට තිබේ. ආචාර්ය සෝමරත්න විසින් තිර රචනා කළ මෙහි දර්ශන් ධර්මරාජ්, නෙරංජනී ශන්මුගරාජා, බිමල් ජයකොඩි, හිමාලි සයුරංගි, ගිරිරාජ් කෞශල්‍ය, අශෝක සේරසිංහ, ගිහාන් ප්‍රනාන්දු, විශ්වජිත් ගුණසේකර, චින්තක කුලතුංග, අනුරුද්ධිකා පාදුක්කගේ, ජේ. යෝගරාජා, ලලිත් ජනකාන්ත, සුනෙත් ශාන්තප්‍රිය, හිරාන් කොස්තා, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනි, රංජනී රාජ් මෝහන්, සත්‍යප්‍රිය රත්නසාමි, අරුණි මෙන්ඩිස්, මෙනාරා වීරතුංග, සෙනුල්‍යා දන්තනාරායන සහ බර්නි විජේසූරිය චරිත මවති.

කැමරා අධ්‍යක්ෂණය විශ්වා බාලසූරියගෙනි. විධුර අබේධීර අංග රචනා ශිල්පියාය. අජිත් රාමනායකගේ සංස්කරණය. රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. මෙත්නුවන් විජේසිංහ වස්ත්‍රාභාරණ නිර්මාණය කරයි. සුනිල් විජේරත්න කලා අධ්‍යක්ෂවරයාය. චාමර සේලාරගේ සහාය අධ්‍යක්ෂණයකි. කසුන් මාලිංග විශේෂ දෘශ්‍ය ප්‍රයෝගකරණයේ යෙදෙයි.

සුනාමි නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙනි. සේයාරූ - සරත් පීරිස්


ආලකමන්දාවෙන් සිරිල් වික්‍රමගේ

නාට්‍යයේ, සිනමාවේ, රූපවාහිනියේ යකඩ මිනිසා, ජ්‍යෙෂ්ඨ ශිල්පී සිරිල් වික්‍රමගේ පිළිබඳ අගෝස්තු 21, 28 දිනයන්හිදී ජාතික රූපවාහිනියෙන් ප. ව. 10.30 ට ආලකමන්දාවෙන් විකාශය කෙරේ.

විනීතා කරුණාරත්න අධ්‍යක්ෂණය කරන ආචාර්ය ජයලත් මනෝරත්න තිර රචනය කළ මෙය ඒ මහතා වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය තුළ කළ සේවය හා පෞද්ගලික තොරතුරු අඩංගු වටිනා සඟරාමය වැඩ සටහනකි.


සම්මානනීය රංගන ශිල්පි ඉන්ද්‍රජිත් නාවින්න සමුගනී

සම්මානනීය සිනමා, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු වූ ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත විය.

මිය යන විට 70 වියේ පසු වූ ඔහු මෙරට සියලුම සම්මාන උලෙළවලදී සිනමා සහ ටෙලි නාට්‍ය රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ප්‍රතිභාපූර්ණ රංගධරයෙකි.

මිහිඳුම් සළු, දොළොස් මහේ පහන, ඩොරින්ගේ සයනය, කෙළිමඬල, රන්මලිගේ වාසනාව, ගුරු පාර, යක්ෂාවේෂය, එළිවෙන දවස, පොඩි විජේ, සුදු කළුවර ඔහු රඟපෑ චිත්‍රපට අතර වේ. අවිදු අඳුර, උපාසකම්මා, බැද්දේ ගෙදර. අඹු දරුවෝ, වනවදුලේ වසන්තය, කටුඉඹුල, මඩොල් දූව, ධවල රාත්‍රිය, නිරානන්දය, රන් මසු වැස්ස, කුලවමිය, දිරිය දෝණි ඇතුළු ටෙලි නාට්‍ය සියයකට වැඩි සංඛ්‍යාවකට ද රංගනයෙන් දායක වී ඇති නාවින්න මහතා මෙරට නිර්මාණය වූ වේදිකා නාට්‍ය ගණනාවකට ද රංගන දායකත්වය සපයා තිබේ.

සීතා ලක්ෂ්මී මහත්මියගේ ආදරණීය සැමියා වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතා කෞෂිත ගිහාන්ජිත්, සහන් විශ්වජිත් සහ ඉසුරනී සජිතා යන දූ පුතුන්ගේ ආදරණීය පියාණන් වේ.

ඉන්ද්‍රජිත් නාවින්නගේ අවසාන කටයුතු 2018. 08. 10 වන දින නිකවැරටිය බලගොල්ලාගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.