|
මං ලක්ෂ ගණන් සල්ලි අරන් සින්දු කියන ගායකයෙක් නොවේදුමාල් වර්ණකුලසුරිය
තිස් හතර වන සරසවිය සම්මාන උලෙළේ 2017 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතුරින් හොඳම ගායනය සඳහා සම්මානනීය වීමට ප්‍රේමය නම් චිත්‍රපටය සමත් විය. එහි නිවී ගිය සඳපහන . . . ගීතය ගායනා කළ දුමාල් වර්ණකුලසූරිය හොඳම ගායනය වෙනුවෙන් සරසවිය සම්මානයට පාත්‍ර විය. මේ ඒ නිමිත්තෙන් ඔහු හා කෙරෙන සොඳුරු කතාබහකි. ඉතිං දුමාල් සම්මානනීය වූ සතුට කොයි ආකාරයෙන් ද ඔබට දැනෙන්නේ? සතුට ගැන නම් කියාගන්න බැරි තරම්. ඉතා අඩු කාලයක් තුළ තමයි මම මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේ වටපිටාවක් තුළ සරසවිය වගේ සම්මානයකින් මාව ඇගැයීමට ලක්වීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ඔබ සිනමා කෘති හා බද්ධ වෙන්න පටන් ගන්නා කාලයත් වැඩි ඈතක නෑ නේද? චිත්‍රපට පසුබිම් ගායනය සඳහා මම මුලින්ම යොමු වන්නේ 2012 වසරේදී. ඒ චන්ද්‍රරත්න මාපිටිගමගේ අධ්‍යක්ෂණයක් වූ සිහිනය දිගේ එන්න චිත්‍රපටය සඳහා. ඒ චිත්‍රපටය වෙනුවෙන් තමයි මම මුලින්ම චිත්‍රපට පසුබිම් ගායනයක් ඉදිරිපත් කරන්නේ. 2012 චිත්‍රපට පසුබිම් ගායනයට එන ඔබ 2018 දී සරසවිය සම්මානයෙන් පුද ලබනවා? 2010 වසරේදී තමයි මම ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ. 2013 වසරේදී මම රාජ්‍ය සම්මාන උලෙළේ දී හොඳම ගායනය සඳහා සම්මානය දිනා ගනු ලැබුවා. නැවතත් 2018 වසරේ රාජ්‍ය සම්මාන උලෙළේදී මම හොඳම ගායනය වෙනුවෙන් රාජ්‍ය සම්මානය දිනාගනු ලැබුවා. ඒ වගේම මෙවර පැවති රයිගම් ටෙලි සම්මාන උලෙළේ මම හොඳම ගායනය සඳහා නිර්දේශිත නාමාවලියට ඇතුළත් වුණා. මෙවර සරසවිය සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් අතර ඔබත් සමඟ ගායනයේ ප්‍රවීණයන් දෙපළකගේ නාමයනුත් එක්ව තිබුණා නේද? ආලෝකෝ උදපාදි චිත්‍රපටය වෙනුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් ගායනා කළ සසර මඟ දිගේ ගලා බසින සඳ නම් ගඟ . . . ගීතයත් ඒ ලෙවල් චිත්‍රපටය වෙනුවෙන් නදිමාල් පෙරේරා ගායනා කළ මතකයන් හීන පාරවයි . . . ගීතයත් තරඟ වැදුණා මෙතනදී. මම නොවෙයි මේ ගීත තේරීම කළේ. එය කළේ විනිශ්චය මණ්ඩලයක්. ඔවුන්ගේ තේරීම මම නම් ඒකට වෙන කරන්න දෙයක් නැහැ. මම ගායනා කළ ගීතයට නිසි ගෞරවය මම දීල තිබුන නිසා වෙන්න ඇති ඔවුන් මාව මේ සඳහා නිර්දේශ කරන්න ඇත්තේ. නිවී ගිය සඳ පහන... දුමාල්ට කීප අයුරකින්ම සුවිශේෂයි? ඔව්. මම මුල් වරට සරසවිය සම්මානය ගායනය වෙනුවෙන් හිමි කර ගන්න මුල්ම අවස්ථාව මේක. ඒ වගේම ප්‍රවීණතම ගේය පද රචකයකු වූ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මා වෙනුවෙන් රචනා කළ මුල්ම ගීතය මෙය වීමත්, සංගීතඥ රෝහණ වීරසිංහයන් මා වෙනුවෙන් මුල්වරට සංගීතවත් කළ මුල්ම ගීතය මෙය වීමත් මට අවස්ථා කීපයකින් සුවිශේෂ වෙනවා. දුමාල්ට සරසවිය සම්මානය දිනූ හොඳම ගායකයා හැටියට මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ? මම වගේ තරුණ ගායන ශිල්පියෙක් සරසවිය වගේ මේ රටේ තියෙන දැවැන්ත සිනමා සම්මාන උලෙළකදී හොඳම ගායකයා ලෙස අභිෂේක කිරීම මම දකින්නේ අපි වගේ පුංචි අංකුර තව තවත් දිරිමත් කිරීමක් විධියටයි. මේ වගේ දැවැන්ත සම්මාන උලෙළකදී ඇගැයීම තුළ අප තුළ මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ලොකු උත්තේජනයක් ඇති කරනවා තව තව නිර්මාණයන් සොයා යන්න. මේ වගේ වැඩවලින් සිද්ධ වෙන්නේ හොඳ චිත්‍රපට අධ්‍යක්ෂවරු, ගීත රචකයෝ, සංගීතඥයෝ වෙත යොමු වෙන්න අපිට ලොකු ආශිර්වාදයක් ගෙන දීමක් විධියටයි. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් වගේ කෙටි කාලයක් තුළ ලේ්සියෙන් කෙනෙකුට නොලැබෙන මේ වගේ විශේෂ ඇගැයීමක් මම වගේ නවකයකුට ලැබීම ඇත්තෙන්ම ලොකු විස්මයජනක දෙයක්. මේ වගේ ඇගයීම් තුළ සම්මානයට තියෙන ගෞරවය පිළිගැනීම තුළ තව තවත් මේ ක්ෂේත්‍රයේ දක්ෂයො තමන්ගේ උපරිම දායකත්වය තමන්ගේ හැකියාවන් එළි දක්වන්න මේ වගේ ඇගැයීම් ආදර්ශයට ගනීවි. සම්මානනීය වූ ඔබට නිවී ගිය සඳපහන ගීතයට සර්ව සාධාරණයක් තව කරන්න තිබුණා කියන හැඟීම පසුව ඇති වුණේ නැද්ද? නව ඉසවු ඔස්සේ මට මේ ගීතය ගායනා කරන්න තව තවත් විවිධ අවස්ථාවන් තිබුණා. අදටත් එහෙමයි. ඒත් චිත්‍රපටයේ පිළිබිඹු වන ආකාරයේ රූප රචනයකට අවශ්‍ය ලෙස මම ඒ අවස්ථාවන්ට අනුචිත අයුරින් මගේ ගායනය ඔස්සේ සාධාරණයක් කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්. ඔබ එදා සරසවිය සම්මානය ලබන්න වේදිකාවට නොපැමිණියේ? මම ලංකාවේ හිටියේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ගිහින් හිටියේ ගීත පටිගත කිරීම් වගයකට. ඔබට විශ්වාසයක් ඇතිවෙලා තිබුණ ද සම්මානයේ බලාපොරොත්තුවක් සමඟ? චිත්‍රපටය තිරගත වන කාලයේ බොහෝ දෙනෙක් මට කිව්වා සින්දුව හොඳට සිංග් කරලා තියෙනවා කියලා. ඒ විශ්වාසය මා තුළ තිබුණා. සම්මානයේ බලාපොරොත්තුව කෙසේ වෙතත් මාව නිර්දේශිත නම් ගොන්න අතරට එක් වෙයි කියන බලාපොරොත්තුව මා තුළ ඇති වෙලා තිබුණා.
සරසවිය සම්මානයෙන් ඔබ පුද ලබා ඇති බව මුලින්ම දැනගත්තේ? ඒ වෙන කොට මම ඕස්ට්‍රේලියාවේ. අඩුම තරමේ ලංකාවේ හිටිය මගේ බිරිය ෂෙන්යාවත් දැන සිටියේ නැහැ මට සම්මානය හිමි වෙලා කියලා. හැබැයි බිරිය තමයි මට කතා කරලා පහුවෙනිදාම කිව්වේ ඔයාට හොඳම ගායකයා ලෙස සරසවිය සම්මානය හම්බ වෙලා කියලා. ෂෙන්යා එහෙම කියනකොට මට අදහා ගන්නත් බැරිව ගියා. මම ඒ වෙන කොට හිටියේ ගෙදර එන ගමන් මැලේසියාවේ. මගේ බිරිඳටත් මට සම්මානය හම්බ වෙලා කියලා කියලා තිබුණේ මගේ අන්කල් කෙනෙක් වන කැනඩාවේ පදිංචි මහාචාර්ය විමල් රන්කඩුව මාමා කතා කරලා අපේ ගෙදරින් අහලා තිබුණා දුමාල් හොඳම ගායකයා වෙලා නේද ඇයි සම්මානේ ගන්න ගියේ නැත්තේ කියලා. එතකොට තමයි බිරිඳ මේ ගැන දැනගෙන මට කතා කරලා කිව්වේ. ඉදිරියේදීත් ඔබේ ගායනයේ විශිෂ්ටතා අපිට නව නිර්මාණ ඔස්සේ දැකගන්න ලැබේවි? මේ වන විටත් මගේ ගායනයන් ඇතුළත් චිත්‍රපට කීපයක්ම තිරගත වෙන්නත් තියෙනවා. ආකර්ෂා, කලු හිම, ඝරසර්ප. මේ දිනවල තිරගත වීම ඇරැඹූ ඝරසර්ප මගේ ගායනයේ වෙනස් මඟක් ගත්ත ගිතයක්. ශාස්ත්‍රීය පැත්තෙන් වෙනස්ම මඟක මා ගායනා කළ මේ ගීතය ඔස්සේ මා වෙනස්ම ගායන විලාසයක් මෙහිදී අනුගමනය කරලා තියෙනවා. හොඳම ගායකයා වීමේ සම්මානනීය භාග්‍යයත් සමඟ ඔබට ලැබෙන ඉල්ලුමත් සමඟ ඔබේ වටිනාකමත් වැඩි වෙයි? මම ලක්ෂ ගණන් සල්ලි අරන් සින්දු කියන ගායකයෙක් නොවෙයි. කවදාවත් මම වෘත්තීය මුදලට පවා දෙන්නේ නැහැ. මුදල කියන දේ ඉස්සර වුණොත් මගේ ගමනත් කෙටි වෙයි. අද මගේ වෘත්තීය ගායනය වුණාට මටත් ජීවත් වෙන්න මුදලක් ඕන කරනවා. මගෙත් ගාණක් තියෙනවා. ඒ ගාණට මම සිං කරනවා. ඒ ගාණ අඩු කිරීම ගැන දෙවරක් හිතන්නෙත් මම. අඩු කරනවා කියලත් කියන්න පුළුවන්. ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැනත් තීරණය කරන්නේ මම තමයි. සංගීතය පැත්තෙන් ඔබේ ඉදිරි නිර්මාණ කොහොමද? මම නාද සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්. ගායනයට අමතරව මම ප්‍රධාන වශයෙන් වයලීනය හා සරෝද් වාදන භාණ්ඩය ප්ලේ කරනවා. මෙවර මම ඕස්ට්‍රේලියාවට ගිය වෙලේ වෙනස්ම ආරක ගීත තුනක් කළා. ඒවායේ සංගීත අධ්‍යක්ෂණය කලිඳු වීරසිංහගේ. තිළිණ රුහුණුගේ සමඟත් මම ගීත තුනක් නිර්මාණය කළා. තව නොබෝ කලකින් මම වෙනස්ම ආරක ගීත ඇල්බමයකිනුත් මගේ ආදර රසිකයන් හමුවන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. ඔබේ සහෘද කලා ක්ෂේත්‍රයේ අයගෙන් ඔබට ඇගයීම් ප්‍රශංසා ලැබුණේ නැද්ද? මම ලංකාවට ආපු ගමන් නිවී ගිය සඳ පහන . . . ගීිතය ලිව්ව සුනිල් ආරියරත්න මහත්තයාට, මේ ගීතය සංගීතවත් කරපු රෝහණ වීරසිංහ මහත්තයාට වගේම මට මේ ගීත ගැයීමේ අවස්ථාව උදා කරලා දීපු ප්‍රේමය නම් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් වන කල්පන ආරියවංශ වින්දන ආරියවංශ මහත්වරුන්ටත් චිත්‍රපටය නිෂ්පාදනය කළ ප්‍රේම් දිසානායක මහත්තයටත් කතා කළා මට මේ වගේ ඇගැයීමක් ලබන්න අවස්ථාවක් ලබා දුන්නාට. ඒ හැමෝම මට ප්‍රශංසා කළා. අපි යමක් දෙන්නේ සුදුසු කෙනා හොයල බලල. එදා මේ ගීතයට අපි දුමාල්ව තෝර ගත්තේ හොඳට හිතල බලලා. එදා ඒ ගීතයට සුදුසුම කෙනා වුණේ දුමාල්. උත්සාහයේ නියම ප්‍රතිඵල අද අපිට ලැබිලා තියෙනවා. ඒ ගැන තියෙන්නේ අවංක සතුටක් කියලා ඒ හැමෝම මට කිව්වා. |