|
ඇබා යළි උපදී mamma mia
විසි හැවිරිදි සොෆී ෂෙරිඩන් තම පියා කවුරුන් දැයි සොයන්නේ සිය මංගල දිනයේදි අල්තාරය දක්වා ඇය කැඳවා ගෙන යාම වෙනුවෙන්. මෙතෙක් කලක් තම පියා කවුරුන් දැයි දැන නොසිටි සොෆීහට මව, ඩෝනාගේ දින පොතක යෙදු සටහනක හැරී, බිල් සහ සෑම් නම් තිදෙනාගෙන් කෙනෙකු තම දියණියගේ පියා යැයි සැක කළ හැකි බවට යෙදූ සටහනක් සොයා ගත හැකි වෙනවා. මවට රහසින් මෙම පිරිමින් තිදෙනාට සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් ආරාධනා කර සිටින සොෆීගේ අදහස මේ තිදෙනා දුටු පමණින් තමන්ගේ පියා කවුරුන්දැයි සොයා ගත හැකි වනු බවයි. මෙම කතාව රිදී තිරයෙන් දැක ගන්නට හැකි වුයේ 2008 වසරේදී තිරගත කෙරුණු Mamma Mia! චිත්‍රපටයෙන්. එය නිර්මාණය වීමට හේතු වී තිබෙන්නේ 80 - 90 දශකයේ ලොව සංගීතයෙන් වසඟයට ගත් ඇබා (ABBA) සංගීත කණ්ඩායමයි. ඇබා සංගීත කණ්ඩායම ආරම්භ කෙරුණේ 1972 වසරේ බෙනී ඇන්ඩර්සන් - ඇනි ෆ්‍රීඩ් ලින්ග්ස්ටාඩ් සහ (බ)ජෝන් උල්වියුස් - ඇග්නේතා ෆෝල්ට්ස්කෝග් නම් විවාහක යුවල ද්විත්වයේ එකතුවෙනි. 1983 වසරේදී ඇබා විසිර ගියද ඉන් පසුවත් එහි ජනප්‍රියත්වය නිසාම ඇබා සංගීත කණ්ඩායමේ ගීත පාදකකර ගනිමින් 1999 වසරේදී Mamma Mia සංගීතමය වේදිකා නාට්‍යය ලන්ඩනයේ ප්‍රින්ස් එඩ්වර්ඩ් නාට්‍ය ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණා. වර්තමානයේදී ද ලොව පුරා ප්‍රදර්ශනය කෙරෙන මෙම නාට්‍ය පාදක කර ගනිමින් සංගීතමය, ප්‍රේමණීය, හාස්‍යමය චිත්‍රපටයක් ලෙසින් Mamma Mia! නිර්මාණය වූයේ, මෙරිල් ස්ට්‍රීප්, ප්‍රියර්ස් බ්‍රොස්නන්, කොලින් ෆර්ත්, ජූලි වෝල්ටර්ස්, ඩොමිනික් කූපර්, අමන්ඩා සෙෆ්‍රීඩ් වැනි සුප්‍රකට හොලිවුඩ් නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙනි. අමෙරිකානු ඩොලර් මිලියන 52ක වියදමෙන් නිර්මාණය වූ Mamma Mia! චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 615.7ක ඉහළ ආදායම් වාර්තාවක් තැබුවා. එය අධ්‍යක්ෂණය කළේ The Iron Lady චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකා පිලයිඩා ලොයඩ් විසිනි. 2008 වසරේදී Mamma Mia! චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව පසුගිය ජූලි 20 වැනිදා එහි දෙවැන්න Mamma Mia! Here We Go Again ලෙසින් රිදී තිරයට පැමිණියේ දස වසරක රසික බලාපොරොත්තු සඵල කරමිනි. එහිදී 1979 වසරේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලැබීමෙන් පසු යුරෝපයේ සංචාරයක නිරත වන ඩෝනා, ටන්යා සහ රොසී මිතුරියන්ගේ කතාව දිග හැරෙන අතර දරු සුරතල් බැලීමේ අපේක්ෂාවෙන් සිටින සොෆී ෂෙරිඩන් යළිත් වරක් තම පියා කවුරුන් දැයි සොයා ගැනීමට ගන්නා උත්සාහයත් දැක ගන්නට පුළුවන්. 2008 වසරේ කතාවට පෙර අතීතය සහ වර්තමානය එකවර දැක ගැනීමට අවස්ථාව උදාවන මෙහි ඇබා සංගීත කණ්ඩායමේ ඉහළ ජනප්‍රියත්වයක් ලද "Mamma Mia", "Dancing Queen", "Knowing Me, Knowing You", "One of Us", "The Name of the Game","Super Trouper","Waterloo" ඇතුළු ගීත 18ක් ඇතුලත්. අමන්ඩා සෙෆ්‍රීඩ්, මෙරිල් ස්ට්‍රීප්, ප්‍රියර්ස් බ්‍රොස්නන්, ඩොමිනික් කූපර්, ක්‍රිස්ටීන් බරන්ස්කි, ජුලී වෝල්ටර්ස්, කොලින් ෆර්ත් ඇතුලු නළු නිළියන් රැසක් එහි රංගනයෙන් දායක වී සිටියි. මෙරිල් ස්ට්‍රීප් විසින් පණ පොවන ඩෝනාගේ චරිතයේ තරුණ අවධිය නිරූපණය කරන්නේ, බ්‍රිතාන්‍ය ජාතික නිළි ලිලී ජේම්ස් විසිනි. අමෙරිකාවේ පොප් දෙව්දුව ලෙසින් විරුදාවලි ලද 72 හැවිරිදි ශියර් විසින් ඩෝනාගේ මව ලෙසින් කරන රංගනය ද විශේෂ වන්නේ "Fernando" ගීතය ගායනය සමඟින්. Mamma Mia! Here We Go Again අධ්‍යක්ෂණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවර් පාර්කර් විසිනි. අමෙරිකානු ඩොලර් මිලියන 75ක වියදමෙන් නිර්මාණය කළ Mamma Mia! Here We Go Again මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 243.3 ක ආදායමක් වාර්තා කර තිබෙනවා. IMDb දර්ශකයේ එයට ලකුණු 7.2/10 ක් හිමි වී ඇත. රොටෙන් ටොමැටෝස්හි Mamma Mia! Here We Go Again චිත්‍රපටයට විචාරක මනාපය 80%ක් හිමි වී ඇති අතර මෙටා ක්‍රිටික්හි 60%ක් ලැබී තිබෙනවා. රොටෙන් ටොමැටෝස්හි ප්‍රමුඛ විචාරය පවසන්නේ පළමු චිත්‍රපටයට වඩා ඉහළින් තැබිය හැකි දෙවැන්නේදී පළමු චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කිරීමට භාවිත කළ උපක්‍රම දෙගුණයකින් භාවිත කර ඇති බවයි.
|