වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ආරෝග්‍යා පරමාලාභා නොවූ බොලිවුඩය

ආරෝග්‍යා පරමාලාභා නොවූ බොලිවුඩය

සෞඛ්‍යය, මිනිස් ජීවිතයේ වැදගත්ම අංගයක් වන අතර, අසනීප තත්ත්වයන් ජීවිතයේ කොටසක් වේ. කිසිවෙකුත් තම ජීවිතයට අසනීප ළං වෙනවාට කෙසේවත් කැමැති වන්නේ නැත. "නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොයින්දා". සෑම කෙනෙකුගේම පැතුම ජීවිත කාලය පුරාවටම නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීමයි. ඇතැම් ලෙඩ රෝග අප කරා පැමිණෙන්නේ නොසිතූ ලෙසින්. මේ අතර ජනප්‍රිය තරු පවා දරුණු ලෙඩ රෝගවලින් පීඩා විඳීමින් සිටින බව පසුගිය කාලයේ අපට නිරන්තරයෙන් අසන්න ලැබුණා. රිදී තිරයේ වීරයන් ලෙසින් අපට විනෝදය ගෙන පැමිණිය ද ඔවුන් තමන් පසුපස ඇති මාරාන්තික අසනීප තත්ත්වයන් සමඟින් සටන් කරමින් සිටින බව දැනගත් විට දැනෙන්නේ දැඩි වේදනාවක්. පසුගිය කාලයේ මෙලෙසින් දරුණු රෝගාබාධ සමඟින් සටන් කළ ජනප්‍රිය තරු කිහිප දෙනෙකුම මෙවැනි කනගාටුදායක පුවත් ගෙන ආවා.

මීට සතියකට පමණ පෙර මෙවැනි කනගාටුදායක පුවතක් අසන්න ලැබුණේ කලක් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියකව සිටි සොනාලි බෙන්ද්‍රේ පිළිබඳවයි. තමන් පිළිකා මාරයා සමඟින් සටනක නියැළී සිටින බව ඇය හෙළි කළේ මීට සති කිහිපයකට පෙරදීයි. 43 හැවිරිදි වියේ පසුවන සොනාලි බෙන්ද්‍රේ මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක්හි රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටින බව සිය ආදරණීය රසික රසිකාවන්ට දන්වා තිබෙනවා.

ඉන්දිය සිනමාවෙන් බිහි වූ ජාත්‍යන්තර මට්ටමේ රංගන ශිල්පියකු වන ඉර්ෆාන් ඛාන් පිළිබඳ කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ පසුගිය අප්‍රේල් මාසයේදී යි. තමන් අතිශය දුර්ලභ ගණයේ රෝගයකින් පෙළෙන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණා. ස්නායු අන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හට ගන්නා දුර්ලභ පිළිකා රෝගී තත්ත්වයක් තම සෞඛ්‍යයට හානි කරමින් සිටින බව පසුව ඔහු මාධ්‍යයට හෙළි කළා. මීට මාස කිහිපයකට පෙර ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ලන්ඩනයට ගිය ඉර්ෆාන් මේ වනවිට ක්‍රමක්‍රමයෙන් සහ සෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින බව බොලිවුඩ් පුවත් ගෙන එනවා.

රුවැති ප්‍රේමවන්තියක් ලෙසින් ඉන්දීය සිනමාවට ආදරය ගෙන ආ මනීෂා කොයිරාල වෙතින්ද මේ වැනිම දුක්බර පුවතක් අසන්න ලැබුණේ පසුගිය 2012 වසරේදීයි. ඇයගේ ජීවිතයේ විවිධ කාලවල සිදුවූ මානසික බිඳවැටීම් සහ අධික මත්පැන් පානය මේ තත්ත්වයට මූලික වූ බව වෛද්‍යවරු පවසා සිටියා. කෙසේ නමුත් රෝගය මුල් කාලයේදීම හඳුනා ගැනීම හේතුවෙන් වසර දෙකක් වැනි කාලයක් ඇතුලත සුවය ලබන්නට ඇය වාසන්වන්ත වුණා.

ලීසා රේ කියන්නේ ඉන්දිය සිනමාවේ වගේම කැනේඩියානු රූපවාහිනි නිළියක් සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක්. කැනඩාවේ උපත ලද ලීසා රේ ඉන්දීය සිනමාවට පැමිණියේ 1994 වසරේ Hanste Khelte  චිත්‍රපටයෙන්. දෙමළ තෙළිඟු සහ කණ්ණඩ චිත්‍රපට වෙනුවෙන්ද රංගනය දායකත්වය ලබා දී තිබෙන ඇය මේ වන විට 46 වැනි වියේ පසු වෙනවා. ශ්‍රී ලංකාවේදී ද රූගත කෙරුණු දීපා මෙහ්තා විසින් අධ්‍යක්ෂණය කළ Water චිත්‍රපටයේ කල්‍යාණි ලෙසින් ඇය කළ රංගනය ඔබට අමතක නැතුව ඇති. දරුණු රෝග සමඟින් සටන් කළ තරු අතරේ ලීසා සිටින්නේ, අස්ථි ඇටමිදුලු ආශ්‍රිත පිළිකාවක් හේතුවෙන්. 2009 වසරේදී මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳී ඇය 2010 වසරේදී තමන් පිළිකා තත්ත්වයෙන් මිදුණු බව ප්‍රකාශයට පත් කළා.

බොලිවුඩයේ තමන්ටම වූ විශේෂ අනන්‍යතාවයක් හිමි අනුරාග් බාසු බොලිවුඩ් සිනමාවට අපූරු නිර්මාණ ගෙන ආ අධ්‍යක්ෂවරයෙක්. Life in a... Metro, Kites, Gangster, Murder වැනි චිත්‍රපටවලින් පසු ඔහු අධ්‍යක්ෂණය කළ Barfi  චිත්‍රපටය වාණිජ අතින් ඉහළ සාර්ථකත්වයක් ලැබුවා. අනුරාග් බාසුගේ ජීවිතයටද තර්ජන එල්ල වූයේ ලියුකේමියා රෝගී තත්ත්වයෙන්. 2004 වසර වන විට ජීවිත් වීමේ වාසනාව 50%ක් පමණ වන බවට වෛද්‍යවරුන් සැක පළ කළ ද සිනමාවේ වීරයන් මෙන් ඔහු ද සවිමත්ව ජීවිතයට මුහුණ දෙන්නට අදිටන් කර ගත්තා. ඔහු අතින් Life in a... Metro  සහ Gangster චිත්‍රපට ද්විත්වයේ තිරපිටත් රචනා වූයේ ද මේ අවධියේදීයි.

හැටේ දශකයේදී බොලිවුඩ් සිනමාවෙන් ලොව වසඟයට ගෙන සිටි මුම්ටාස් මද්වානි ද පිළිකා මාරයා සමඟින් සටන් කළ තරුවක්. 1957 දී ළමා නිළියක ලෙස සිනමාවට පිවිස Patthar Ke Sanam, Ram Aur Shyam, Chor Machaye Shor, Apna Desh වැනි චිත්‍රපටවලින් ඉහළ ජනප්‍රියත්වයක් ළඟාකර ගත් ඇය බොලිවුඩයෙන් දුරස් වූයේ, ව්‍යාපාරික සැමියා සමඟ ලන්ඩනයේ පදිංචියට යාම හේතුවෙන්. වසර කිහිපයකට පෙර ඇය පියයුරු පිළිකාවෙන්ද පීඩා විඳී අතර වෛද්‍ය ප්‍රතිකාර හරහා එම රෝගයෙන් මිදීමට ඇයට හැකි විය. මෑතකදි මුම්ටාස් දිවියෙන් සමුගත් බවට ද කටකතා පැතිරුනු අතර මේ වන විට 70 වැනි වියේ පසුවන තම මව නිරෝගීව සිටිනා බව ඇයගේ දියණිය ටානියා මුම්ටාස් මාධ්‍යයට හෙළි කළා.

බොලිවුඩයේ බිග් බී හෙවත් අමිතාබ් බච්චන් මාංශ පේෂීන් සම්බන්ධ රෝගයකින් පීඩා විඳීන බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. ඉතාම දුර්ලභ රෝගයක් වන Myasthenia gravis  නම් මේ රෝගී තත්ත්වය මිලියනයකින් 3ත් 15ත් අතර පිරිසකට වැළඳෙන්නක්. බිග් බී වසර 30ක් පුරා මෙම රෝගි තත්ත්වයෙන් පීඩා විඳීන අතර යටිබඩ ආශ්‍රිත ශල්‍යකර්ම දෙකකටද මුහුණ දී තිබෙනවා. 1982 වසරේදී Coolie  චිත්‍රපටයේ රූගත කිරීමකදී යටිබඩට වැදුණු පහරක් නිසා අසාධ්‍ය තත්ත්වයට පැමිණි බිග් බීහට පාරවිලයනය කළ රුධිරය නිසා ඔහුට සිරෝසිස් වැළඳීමට හේතු වූ බවත් බොලිවුඩයෙන් වාර්තා වෙනවා.

රෝගවලින් පීඩා විඳී තරු අතරට සුපිරි තරුව රජ්නිකාන්ත් එක් වන්නේ වකුගඩු සම්බන්ධ ආබාධ තත්ත්වයක් හේතුවෙන්. 2014 වසරේදී වකුගඩුවක් අක්‍රීය වීම නිසා රෝහල්ගත වීමටත් ඔහුට සිදුවී තිබෙනවා. කාලයකට ඉහතදී රජ්නිකාන්ත් හට වකුගඩුවක් බද්ධ කළ බවටත් කතාවක් පැතිර ගියා. සල්මන් ඛාන් පීඩා විඳීන්නේ, කම්මුල් සහ හකු පෙදෙසට අධික වේදනාවක් ගෙන දෙන  Trigeminal Neuralgia  රෝගයෙන්. බොලිවුඩ් පුවත් ගෙන එන්නේ මෙම රෝගී තත්ත්වය නිට්ටාවට සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් වන අතර මේ වන විටත් ඛාන් වරින්වර ඒ වෙනුවෙන් අමෙරිකාවේදී ප්‍රථිකාර ලබා ගන්නා බවයි.

රිතික් රෝෂන් පීඩා විඳීන්නේ, රුධිරය සම්බන්ධ රෝගී තත්ත්වයකින්. හිස තදින් වැදීම නිසා මොළයට සිදු වූ හානියකින් නිරන්තරයෙන් ඔහු හිසරදයෙන් පීඩා විඳීන බවත් බොලිවුඩ් පුවත් ගෙන එනවා. හින්දි සිනමාවේ කඩවසම් නළුවකු මෙන්ම ක්‍රියාදාම රජු ලෙසින් ප්‍රකට ධර්මේන්ද්‍ර වසර 15ක් පුරා විශාදයෙන් පීඩා විඳී බවත් එනිසා ඔහු අධික ලෙස මත්පැන් පානයට යොමු වූ බවත් කලකට ඉහතදී ප්‍රසිද්ධියට පත් වුණා. මේ වන විට නම් ඔහු එයින් වැළකී සිටින බවයි පැවසෙන්නේ. දියවැඩියාව අද ලෝකයේ බොහෝ දෙනෙකු ගොඳුරු වන බෝ නොවන රෝග අතරින් එකක්. සුව කළ නොහැකි එහෙත් පාලනය කළ හැකි රෝගයක් ලෙසින් හැඳීන්වෙන දියවැඩියාවට වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට මුහුණ දෙන්නට සිදු වී තිබෙන බව අසන්නට ලැබෙනවා. බොලිවුඩයේ යොවුන් රුවැත්තිය සෝනම් කපූර් ද යොවුන් වියේ පටන් මේ තත්ත්වයෙන් පීඩා විඳීන බව කීවොත් ඔබ පුදුමයට පත් වේවි. නමුත් ඇයගේ ක්‍රමානූකූල ආහාර පාලනය නිසා මේ තත්ත්වය ද හොඳීන් පාලනය වී තිබෙන බවයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.