වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සූරයන්ගෙත් සූරයා

කෝ මගේ ජීවන ගීතේ

සූරයන්ගෙත් සූරයා

"මොකද බලන්නේ" සන්ධ්‍යා අසයි

"කව්ද බැලුවේ" ගාමිණි කියයි

"ඔයානේ බැලුවේ" සන්ධ්‍යා කියයි

"කව්ද කිව්වේ" ගාමිණී අසයි

" මං දැක්කනේ" සන්ධ්‍යා කියයි

"කොහොමද දැක්කෙ" ගාමිණී අසයි

"මං බලන් හිටියනෙ" සන්ධ්‍යා කියයි

"කාගේ දිහෑද" ගාමිණි අසයි

"ඔයා දිහෑ"සන්ධ්‍යා කියයි

"මොකටද මං දිහා බැලුවේ" ගාමිණි අසයි

"නිකං" සන්ධ්‍යා කියයි.

මේ චන්ද්‍රා අනගිරත්න ලියූ දෙබසකි. එය ඇතුළත් වූයේ දාස් මොහොමඩ් නිෂ්පාදනය කල, ලෙනින් මොරායස් අධ්‍යක්ෂනය කළ, "සූරයන්ගෙත් සූරයා" චිත්‍රපටයටය. මෙය 1969 අගෝස්තු 4 වෙනිදා තිරගත කිරීම ආරම්භ කළේය.

දෙමාපියන් නැති පාරේ හැදී වැඩී එන කුඩා සොහොයුරන් දෙදෙනෙකි. චිත්‍රපටයේ මුලින්ම අයියා, මල්ලීට සිහිවටනයක් දෙන්නෙත්, මෙය නැති නොකර තබා ගන්නා ලෙස ඉල්ලා සිටින්නේත් මව මතක් වීමට තිබෙන එකම සිහිවටනය මෙය කියාය. එතනින්ම මුළු චිත්‍රපටයේම කථාව සම්පූර්නයෙන්ම ප්‍රේක්ෂකයන්ට වැටහේ. ඒ මෙම තේමාවන් දමිල සිනමාව, හින්දි සිනමාව මෙන්ම සිංහල සිනමාවද පට්ට ගසා ඇති හෙයිනි. එම සිහිවටනය අයියා මල්ලීට දෙන්නේ අනිවාරයෙන්ම ඔවුන් දෙදෙනා වෙන්වන නිසා බවත් නැවත මොවුන් එකිනෙකා හමුවන්නේ, තරුණ වියට එළැඹි පසු බවත්, එහෙත් ඔවුන් එකිනෙකා නොහඳුනන බවත්,ඇතැම් විට ඔවුන් එකිනෙකාට විරුද්ධව සිටින දෙදෙනෙක් විය හැකි බවත්, අවසානයේ මේ සිහිවටනය, මඟින් ඔවුන් සහෝදරයන් කියා හදුනා ගෙන අයියා මල්ලී කියා බදා ගන්නා බවත් ප්‍රේක්ෂකයෝ, අත්දැකීමෙන් දැන සිටියෝය.

සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙක් තම වැර වීරියෙන් නැගී සිටීමට පත්තර ලෑල්ලක් දමා සාධාරණව ජීවත් වීමට උත්සාහ කරමින් තම බාල සහෝදරයාද යහ මගට ගන්නට දිරි ගත්තද, බාල සොහොයුරා, කුඩා කල සිටම හොරකමට පුරුදු වී සිටියේය.පසුව නගරයේ ගනන් කාරයෙකු වූ රිචඩ් ගේ අතට අසුවී, රිචඩ් විසින් මේ කුඩා කොලුවාව තම හොරකම්වලට යොදා ගනී. එය දැනගත් අයියා, රිචඩ්ට පොලවේ හැපි හැපි තර්ජනය කරනුයේ තමා ලොකු වූ පසු රිචඩ්ගෙන් අනිවාරයෙන්ම පළි ගන්නා බවය.

ලෙනින් මොරායස්, දමිළ චිත්‍රපටවලින් කථා ස්වරූපයන් ගත්තද, ඔහු එයට ඉංග්‍රිසි චිත්‍රපට වල ආකර්ශනීය ජවනිකාවල අනුරූද ඇතුළත් කරගෙන එය ලෙනින් මොරායස්ගේ ක්‍රමයට හරිම අපූරුවට "බ්‍රැන්ඩඩ්" කරගත්තේය.

චිත්‍රපටයේ නාමාවලියට ප්‍රථම අර කුඩා සහෝදරයන්ගේ කථාව පෙන්වා, ඔවුන් වෙන්කර දැමූ ලෙනින්, තම ආකාර්ෂණය පටන් ගන්නේ නාමාවලියෙන් පසුවය.

ධනවත් පුද්ගලයෙකුගේ නිවසට කළු සන්ග්ලාස් දමාගෙන, ලෙදර් ජැකට් ඇදගෙන ඇතුල්වෙන කඩවසම් මංකොල්ලකරුවෙකි. ඔහු මැදිිවියේ පසුවන ධනවත් පුද්ගලයාට තර්ජනය කර, ලක්ෂ ගණනාවක් වටිනා බෙරලියන්තු මාලයක් සොරා ගනී. එය දුටු අර ධනවත් පුද්ගලයාගේ දුව පොලිසියට දන්වයි. පොලිසිය එනවිට අර සන්ග්ලාස් හොරා තම කාරයේ නැගී පලා යයි. පොලිසිය එම රථය පසුපස එලවුවද, එම රථය අතුරුපාරකට ගොස් එහි පිටු පස ඇර තිබූ විශාල ලොරියකට කාරය නග්ගවයි. ඉන්පසු ලොරියේ පියන් වසා ලොරිය ධාවනය කෙරේ. මෙය හරියට මයිකල් කේන් රගපෑ "ඉටලියන් ජොබ්" චිත්‍රපටයට සමගාමිවූ දර්ශනයක් විය.

ලෙනින් මොරායස්ගේ චිත්‍රපට වල තිබූ ගැම්ම එයයි. ඔහු නිර්ලෝභීව දෙමල, හින්දි, ඉංග්‍රීසි චිත්‍රපට මිශ්‍රකර, ලාංකේය සිනමාවේ ප්‍රේක්ෂකයන්ට අමුතුම විනෝදාස්වාදයක් ලබා දුන්නේය. ඒවා තුළ, එකල ජේම්ස් බොන්ඩ් වූ ෂෝන් කොන්රි, මෙන්ම ඩොලර් සීරීස් වල සිටි ක්ලින්ට් ඊස්ට්වුඩ්ලත් සිටියහ. ලෙනින් ඔහුගේ ප්‍රධාන නළුවන්ට මෙම දෙවර්ගයම මිශ්‍ර කර ඔවුනගේ ඇඟ ඇතුළට බැස්සුවේය.

"සූරයන්ගෙත් සූරයා" හී ගාමිණී හා සන්ධ්‍යා (චිත්‍රපටයේ ඔවුනගෙ නම් එසේය) මුණ ගැසීමට ලෙනින් හරි ලස්සන විනෝදාත්මක පසුබිමක් සාදා තිබුනි. ප්‍රථමයෙන් සන්ධ්‍යා හා ඇයගේ මිතුරියන් පිරිසක් උද්‍යානයක ගීත ගයමින් විනෝද වේ.

"ආදර ගීයක තාලේ ඇසේ
ඒ ගී නාදෙට පාද සැලේ
ලාලිත ලාලන සිහින ලොවේ
කාගෙද රූපය දෑසෙ ඇදේ"

ඉන්පසු සන්ධ්‍යා සහ උදුලා යන රථයට ඇන සහිත ලැල්ලක් දමා ඔවුනගේ රථයේ ටයර් එකක හුලං අරින්නෙ ඇන්තනීය. ඇන්තනී ගාමිණි ගේ චක්ගෝලයාය. කොහොමත් ලෙනින්ගෙ, යසපාලිතගෙ චිත්‍රපටවල වීරයාට කොමඩි චක්ගෝලයෙක් සිටීම අනිවාර්යය. ඒවාගේම ඒ කොමඩි ගෝලයා නිතරම උත්සහ කරනුයේ ප්‍රධාන නිළියගේ ස්පෙයා වීල් එකත් එක්ක සෙට්වීමය. මෙහිදීද ඇන්තනී, උදුලාට කොක්ක දාන විට, අනිත් පැත්තෙන් සන්ධ්‍යා ගාමිණි සමග සෙට් වෙයි.

"අයි ලව් යූ-යූ ලව් මී-
කෝ මාගේ ජීවන ගීතේ
අයි ලව් යූ- යූ ලව් මී
මා ඔබෙ ජීවන ගීතේ"
ඔබේ දෑසෙ සැංගී ගෙනාවේ
මොනවාද තෑගී ගෙනාවේ
මගේ ප්‍රේමේ පුදාලා
පිලිගන්න ඉන්නම් රැඳීලා"

දැං ලව් එක හරිය. දැං අවශ්‍ය ත්‍රිල් එකය. ලෙනින් මොරායස් ගේ චිත්‍රපට තුළ ඒවාවලින් නම් අඩුනැත.

රිචඩ් යනු සන්ධ්‍යා ගේ බාප්පාය. සන්ධ්‍යා ගේ අම්ම තාත්තා කව්රුත් නැත. බාප්පා සන්ධ්‍යාව බලා ගන්නේ, සන්ධ්‍යාගේ බූදලයට විදින්නටය. ඒවා ලෙනින්ලගේ, නීල් රූපසිංහලගෙ, යසපාලිතලගේ චිත්‍රපටවල තියෙන "කොමන්" ස්ටෝරීස්ය. බූදල්වලට ඇහැගහගෙන ඉන්න බාප්පලා,මාමලා,නැන්දල සිටින්නේ බුරුතු පිටින්ය. ගාමිණී දැං සන්ධ්‍යාගේ පෙම්වතාය. ඒ සන්ධ්‍යා සිතන හැටිය.

එහෙත් ගාමිණීට අවශ්‍ය සන්ධ්‍යාගේ සල්ලිය. බෙරලි⁣යන්තු මාලයය.

රිචඩ් ගෙ සල්ලි ටිකෙන් ටික අදින්නේ සේනය. සේන යනු ක්ලබ් අයිතිකාරයාය. ඒ විතරක් නොව, අර පොඩිකාලේ පාරෙ පස් හපාගෙන නගරයේ ගණංකාරයාට තමා ලොකුවුනාම පලිගන්නවා කියා අභියෝග කල පත්තර ලෑල්ලෙ පොඩි කොළුවාය.

දැං අර නගරයේ ගණංකාරයාද ගජ පෝසතෙකි. සන්ධ්‍යාගේ බාප්පා ලෙස සිටින්නේ මේ රිචඩ්ය. සේන මේ ගේම් එක දෙන්නේ රිචඩ්ටය. සේනට සිරියාවන්ත බිරිඳක් සිටී. ඇය ශාන්තිය. ලෙනින් ශාන්තිව චිත්‍රපටයට ඈදා ගත්තේ ප්‍රේක්ෂකයන්ව සංවේදි කිරීමටය. ඇය තම සැමියා දෙවියෙකු සේ සැලකුවේ ඔහු හොරෙක් ලෙස නොදැනය. එහෙත් එය දැනගත් පසු ඇය කෙලින්ම ගියේ කෝච්චියට පනින්නටය. ඒවා ලෙනින් ගේ ත්‍රිල් කෑලිය. හැමදාම පරක්කුවී යන ලංකාවේ කෝච්චි, ශාන්ති පනින්නට හිතා ගෙන යන වෙලාවටම එන එකත් ලොකු දෙයකි. එයට නම් දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රශංසා කළ යුතුය. එහෙත් කෝච්චිය ශාන්තිව යටකරගෙන යන්න ඔන්න මෙන්න තියෙනකොටම ගාමිණී නොහොත් සූරයන්ගෙත් සූරයා ඇයව බේරා ගනී.

⁣ලෙනින්, කථාව ඇදගෙන යන්නට අමුද්‍රව්‍ය සොයාගන්නේ පුදුම ලෙසටය. දැං ශාන්ති රෝහලේය. ඇයට ලේ අවශ්‍යවේ. ගාමිණී ගේ ලේ හරියටම හරිය. ඉන්පසු ශාන්ති හොදවී සිටින්නේ ගාමිණී ගේ නිවසේය. ඇයට ලැබෙන්න සිටින දරුවාව බලාගන්නට ගාමිණී දිව්රා පොරොන්දු වේ. අනේ ලෙනින් ඔයා නම් "මාරයි " ය. ඔය වගේ අදහස් ලෙනින්ට කොහෙන් එනවාදැයි දන්නේ නැත. වෙනින් කව්රුත් නොව ලෙනින් මොරායස් කියා එකල ගුවන්විදුලියේ බෙරිහන්දෙමින් කරුණාරත්න අබේසේකර කිව්වේ කට කහනවට නොවේ.

ශාන්තීට දරුවා ලැබුණි. දරුවා හරහා ලෙනින් චිත්‍රපටයට දේශානුරාගී බවක් එකතු කරන්නට විය.

"මගේ මව් බිම සිංහලයි
මගේ මව් බස සිංහලයි
ඔබ උපන් රට හදවතයි
පුතේ මව් බස ප්‍රානයයි"

දරුවා නිසා සන්ධ්‍යා හා ගාමිණී අතර "මිස්අන්ඩර්ස්ටෑන්ඩ්" ගොඩකි. ගාමිණි විවාහවූ කෙනෙක් කියා සිතා සන්ධ්‍යා රට හැර යයි. නැවත එනවිට ළමයාට අවුරුදු අටක් හෝ දහයක් වී තිබුණද, සන්ධ්‍යාලා ගාමිණීලනම් බිදුවක්වත් වෙනස් වී නැත.

සුපුරුදු වට්⁣ටෝරුවටම වුවාට ලෙනින් මොරායස්ගේ ඉදිරිපත් කිරීම තුල ප්‍රේක්ෂකයන්ව රදවා ගත හැකි හැම උපක්‍රමයක්ම අඩංගුවී තිබුණි. ගාමිණී ෆොන්සේකාගේ ප්‍රබල රගපෑම් මෙන්ම සන්ග්ලාස් දමාගෙන "හැන්ඩි"විදියට තිරයට ඒමත්, ඇලිස්බෑන්ඩ් ඔළුවට දමාගෙන අලුත් කොන්ඩා මෝස්තර වලින් සැරසු සන්ධ්‍යා කුමාරිගෙ ආකාර්ශණයත් "සුරයන්ගෙත් සූරයා" සුපිරි හිට් එකක් වීමට හේතු විය. ළමා නළුවෙකුගේ දගකාර කම් හා හදුන්වා දුන් එඩ්නා සුගතපාලගේ සංවේදි බව මෙන්ම සේනාධීර රූපසිංහ හා එච්.ඩී.කුලතුංගගේ ප්‍රබල රගපෑම් , ඇන්තනී සී පෙරේරාගේ විකට හා ඇලෙක්සැන්ඩර්,බන්ධු,හා පූජිතගෙ සටන් මෙන්ම සෝනියා දිසාගේ 'ක්ලබ්' රගපෑම්ද චිත්‍රපටය ජනප්‍රිය වීමට හේතුවක් විය .

ගාමිණී ෆොන්සේකා එතෙක් කල් වීරයෙක්ව සිට "සූරයෙක්" ලෙස බ්‍රැන්ඩඩ් වූයේද "සූරයන්ගෙත් සූරයා" චිත්‍රපටයෙනි. සන්ධ්‍යා කුමාරි පෙම්වතිය ලෙස රගපෑ අවසන් චිත්‍රපටයද "සූරයන්ගෙත් සූරයා"විය.

ලෙනින් මොරායස්ද අර "ඩොලර් සීරීස්" එසේ නොමැති නම් "ජේම්ස් බොන්ඩ්" සීරිස් වගේ "සූරයා" සීරිස් එක පටන්ගෙන තමා විනෝදාත්මක සිනමාවේ "සුරයන්ගෙත් සූරයා "කියා ඔප්පු කළේද මෙම චිත්‍රපටයෙනි.

ශෝන් මැක්ස්මස් දිසානායක
(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)