වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට කැපවීම් කළාට ලැබුණු දෙයක් නැහැ

සිනමාවට කැපවීම් කළාට ලැබුණු දෙයක් නැහැ

ප්‍රවීණ විචාරක ගුණසිරි සිල්වා

ප්‍රවීණ සිනමා ලේඛකයකු, ග්‍රන්ථ කර්තෘවරයකු වූ ගුණසිරි සිල්වා විසින් රචිත තාරකා මේඝයෙන් ඔබ්බට, තරු විනිවිද දුටු අයුරු, ගුණසිරි සිල්වා නිර්මාණ විචාර විමර්ශන, ලාංකේය සිනමාවේ - වේදිකාවේ සමාජ දේශපාලන කතිකාව කෘති සතර ජනගත කිරීමේ උලෙළක් අගෝස්තු මස 07 වැනිදා සවස 4.30 ට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. ඒ නිමිත්තෙන් ගුණසිරි සිල්වා හා කෙරුණු විචාරාත්මක කතාබහකි මේ.

ඔබේ විචාර කලාවට බොහෝ කාලයක් සපිරී ඇති හැඩයි?

මගේ සිනමා විචාර කලාවට මේ වන විට වසර තිහක් සපිරෙනවා. ඒ දේත් තේමා කොටගෙන තමයි මම මේ ග්‍රන්ථ සතර ජනගත කරන්නේ. මේ සඳහා මට චිත්‍රපට සංස්්ථාව මූලික අනුග්‍රහයක් දක්වනවා.

මීට පෙරත් ඔබ අතින් කෘති රැසක් සිනමාව ගැන ලියවුණා?

සිනමාව ගැන පමණක් කෘති දාසයක් එළි දක්වලා තියෙනවා. ඊට අමතරව නවකතා හතරක්, කෙටි කතා දෙකක්, දේශපාලන කෘති දෙකක් හා මගේ සිනමාත්මක මත එක් වූ තීරු ලිපි ඇතුළත් ජනමාධ්‍යට සම්බන්ධ පොත් හතරක් මා එළි දක්වලා තියෙනවා.

මෙවර ඔබ අතින් නිර්මිත කෘතිවල විශේෂත්වයක් තියෙනවාද?

මෙවර මම ජනගත කරන තාරකා මේඝයෙන් ඔබ්බට කෘතිය ගැන කෙටියෙන්ම කිව්වොත් ඒක මම රඟපෑම පිළිබඳ කරපු විමර්ශනාත්මක නිබන්ධනයක් කිව්වොත් හරි කියලයි මම හිතන්නේ. මේ පිළිබඳ මම වැඩි යමක් කියන්න කැමති නැහැ. ඒ කෘතිය බලල කෙනෙක්ට දැනෙන දේ මම අහන්න කැමති නිසා. මේ කෘතිය තුළින් මම අපේ නළු නිළියන් විසි දෙකක් පිළිබඳ ඔවුන්ගේ රඟපෑම් ගැන විමර්ශනාත්මක ඇගැයුමක් සිද්ධ කරනවා. රුක්මණී දේවි, අයිරාංගනී සේරසිංහ, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, පුණ්‍යා හීන්දෙනිය, විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය, සිරිල් වික්‍රමගේ, නීටා ප්‍රනාන්දු, වීණා ජයකොඩි, සබීතා පෙරේරා, සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවාරච්චි, ටෝනි රණසිංහ මේ වගේ නිළු නිළි පිරිසකගේ තමන් මෙතෙක් කළ රඟපෑම් ගැන විමර්ශනාත්මක ඇගැයීමක් තමයි මම මේ තුළ කරලා තියෙන්නේ.

තරු විනිවිද දුටු අයුරු කෘතිය තුළින් මම අපේ අධ්‍යක්ෂවරු, නළුවන්, නිළියන් තම සිනමා කෘති වෙත ඔවුන්ගේ රංගනයන් උකහා ගත්තේ කොයි ආකරයෙන් ද කියන දේ කතා කරනවා. විශේෂයෙන් අපිට සිනමා රංගනය ගැන හදාරන්න පාසලක් නොතිබෙන අවධියක නළුවන් නිළියන් හසුරවමින් ඔවුන්ගේ විශිෂ්ට රංගනයන් තමන්ගේ කෘති වෙත ලබා ගන්නේ කොයි ආකාරයෙන් ද කියන දේ ගැන මං කතා කරනවා.මම ඒ වගේ දෙයක් දකින්නේ ආශ්චර්යක් විදියට. මෙහිදී මම ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පිරිස්, ධර්මසේන පතිරාජ, තිස්ස ලියනසූරිය, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, ඉනෝකා සත්‍යාංගනී, විමුක්ති ජයසුන්දර, උදයකාන්ත වර්ණසූරිය, සෙනේශ් බණ්ඩාර, ප්‍රසන්න ජයකොඩි වගේ අධ්‍යක්ෂවරු තමන් කෙසේ අහවල් නළුවාගෙන් නිළියගෙන් විශිෂ්්ට රංගනයක් ගන්න උත්සාහ කළ උපක්‍රම පිළිබඳ විග්‍රහයක් මම මේ කෘතිය තුළ කතා කරනවා.

මෙවැනි කෘතියක් එළි දැක්වීම තුළ ඔබ බලාපොරොත්තු වෙන්නේ?

මම හිතනවා සිනමාව ගැන හැදෑරීමක් කරන කෙනෙකුට, රඟපෑම ගැන ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙකුට අධ්‍යක්ෂණයට පිවිසෙන්න බලාපොරොත්තුව ඉන්න කෙනෙකුට මේ කෘතිය විශේෂයෙන් අත් පොතක් වෙයි කියලා. යම් කෙනෙක්ගේ චරිතයක් විශිෂ්ට ලෙස රංගනය තුළින් ලබාගන්න මොන වගේ උපක්‍රම අනුගමනය කළා ද කියන දේ පොත පරිශීලනය කරන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්.

'ගුණසිරි සිල්වා නිර්මාණ විචාර විමර්ශා' කෘතිය තුළින් ජනගත කරන්නේ මොන වගේ පැතිකඩක්ද?

මේ කෘතිය තුළින් එළි දකින්නේ මගේ කාර්යභාරය ඒ කියන්නේ මගේ නිර්මාණ ලිපි පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කිහිප දෙනෙක් විමර්ශනත්මකව සිදු කරනු ලබන ලිපි එකතුවක්. එහිදී මගේ ලිපි පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් කිරිම පමණක් නෙවෙයි සිද්ධ කරන්නේ, ලෝක සිනමාව ගැනත් කතා කරමින් තමයි මගේ කාර්ය ගැන ඔවුන් විමර්ශනයක යෙදෙන්නේ.

ලාංකේය සිනමාවේ - වේදිකාවේ සමාජ, දේශපාලන කතිකාව කෘතිය තුළ ඔබ විමර්ශනයට ලක් කරන්නේ මොන වගේ පැති කඩක් ද?

ලංකාවේ 70, 80, 90 දශකවල වේදිකා ගත වූ ප්‍රධාන පෙළේ නාට්‍ය හා මෑත භාගයේ තිරගත වූ චිත්‍රපට පිළිබඳ විචාරාත්මක දේශපාලන කතිකාවතක් පිළිබඳ විචාර ලිපි එකතුවක් තමයි මේ තුළ මා ඉදිරිපත් කර තිබෙන්නේ.

මෙවැනි කෘති ජනගත කිරීමට බොහෝ විට ප්‍රකාශකයන් පවා එතරම් කැමැත්තක් නොදක්වන මොහොතක මේ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නේ?

ඒකට ප්‍රධාන හේතුව වශයෙන් මම දකින්නේ මේ විෂය පථය තෝරා ගන්නා ප්‍රමාණය අඩුවීම. පාඨක පිරිස සීමාසහිත වීම. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වුණත් ඒ තමන් හදාරණ විෂයෙන් සමත්වීමට පමණයි අද මේ සිනමාව ගැන හැදෑරිමක් විශ්ව විද්‍යාලවල වුණත් සිදු කරන්නේ. සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන්න නම් මේ වගේ කෘති පරිශීලනය කරනවා අඩුයි. ඒත් තම ලාබ අපේක්ෂාවන් අතහැර සමාජ සත්කාරයක් සේ සලකා මට මේ කෘති තුන එළිදක්වන්න සමීර ප්‍රකාශකයෝ, සේරී ප්‍රකාශකයෝ, අදහස් ප්‍රකාශකයෝ, ග්‍රැෆිකොයා ප්‍රකාශකයෝ මාත් සමඟ අත්වැල් බැඳ ගත්තා.

ඔබ මේ උත්සාහ ගන්නේ අපේ ලාංකේය සිනමාවේ විචාර කලාවේ ඇති වී තිබෙන හිස්තැන පිරවීමටද?

ජයවිලාල් විලේගොඩ, කරුණාසේන ජයලත් වැන්නවුන්ගේ සිනමා විචාර එකතුවක් අද විචාර කලාව පිළිබඳ හදාරන්නකුට පරිශීලනය කරන්න හොයා ගන්නවත් අපහසුයි. හුදෙක් මම විචාර කලාව තුළ නියැලෙන පුද්ගලයෙක් නොවෙයි. මම බොහෝ විට මේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය තකා මිසක් විචාර කලාව තුළ මුදල් ඉපයීමට නෙවෙයි.

ඔබ කියන්නේ විචාර කලාව තුළ නියැලීම එතරම් පහසු කාර්යයක් නොවන බවයි?

මේ සඳහා ලොකු කැප කිරිමක් කරන්න ඕනෑ. කාලය, මුදල්, ශ්‍රමය කියන මේ තුනම මේ සඳහා යොදන්න ඕනේ. අපි ළඟ පෙර පරපුර ගැන තොරතුරු එකතුවක් නෑ. ඔවුන්ගේ රංගනයන් පිළිබඳ හැදෑරීමට නිර්මාණ සංරක්ෂණයක් නෑ. අපි යම් විමර්ශනයක් කරනවා නම් ඒ ගැන අවශ්‍ය තොරතුරු ගන්න අපේ මුදල් වැය කරගෙන තමයි රාජ්‍ය ලේඛනාගාරය වෙත යන්න වෙලා තියෙන්නේ. මේ ගැන කියන කොට ඇත්තෙන්ම දුකක් මිසක් සතුටක් නම් දැනෙන්නේ නැහැ.

ඔබ සිනමාවේ උන්නතිය වෙනුවෙන් විවිධ අයුරින් කළ කැප කිරීම් ගැන ආපසු හැරිල බලන කොට මොකද හිතෙන්නේ?

මම එහෙම කළා කියලා මට මේ තාක් කිසිම ගෞරවයක් ලැබිලා නෑ.

අද අපට රංගන පාසලක් නැතිකොට ඔබ ස්වයං අධ්‍යයනයක් ඔස්සේ නිර්මාණය කරන මේ කෘති සැබැවින්ම ඒ රංග පාසලක අඩුව යම්තාක් පිරිමසනවා නොවේද?

සිනමාව, රංගනය ගැන හදාරන කෙනෙකුට මගේ මේ කෘති රංග පාසලක් බවට පත් කරගන්න පුළුවන් කියන මතයේ මමත් ඉන්නවා. අද නවකයෙක් රංගනයට එනවා නම් ඔවුනට පෙර පරපුර රංගනයේ නියැලි ආකාරයන් පිළිබඳ හැදෑරීමක් කරන්න වෙනත් ක්‍රමයක් නෑ. ඒ නිසාවෙන් ඕපපාතිකව පහළ වන අපේ නවක පිරිස් ක්ෂේත්‍රයේ ලබාගන්නා අත්දැකීම් එක්ක තමන්ගේ රංග කාර්ය කරනවා හැරෙන්න රංගන ඉතිහාසයේ දැනුමක් ඔවුන් තුළ ඇති වෙන්නේ නැහැ.

ඔබ මේ කරන වෑයම ගැන එහි වටිනාකම ගැනත් නොදන්න නළු නිළියනුත් ඇති නේද?

මම නෑ කියන්නේ නැහැ. සමහරු මට කියනවා ගුණසිරි මේ කරන්නේ සිනමාව සංරක්ෂණය කිරීමක් කියලා. මම මේ කරන දේ තුළ සමහර නළු නිළියෝ දන්නේ නැහැ තමන්ගේ වටිනාකම කොච්චර ද කියලා. සමහරුන්ට නම් කිසිම වටිනාකමක් නෑ මම මේ කරන දේ ගැන. ඒත් මගේ මේ උත්සාහය බුද්ධිමත්ව කියවලා බැලුවොත් වටිනාකම නොතේරෙන බොහෝ දෙනෙකුට මම මේ කරන කටයුත්තේ වටිනාකම හොඳට දැනේවි.

සියලු නළු නිළියන්ට, අධ්‍යක්ෂවරුන්ට වගේම කාර්මික ශිල්පීන්ටත් මම විවෘතව ආරාධනය කරනවා අගෝස්තු 07 වැනිදාට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවට එන්න තමන්ගේ වටිනාකම කොච්චර ද කියලා බලාගන්න කියලා.