වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයිට වඩා ඒවා ඇඳයට තියෙන්න පුළුවන්

ඔයිට වඩා ඒවා ඇඳයට තියෙන්න පුළුවන්

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය. ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි. බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි. පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය. ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි. බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුහු සොයාගනිති. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නීය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය. මේ අතර විනෝද් කිසිවකු විසින් මරාදමන ලද සැලවෙයි. එයින් ටික දවසකට පසු ඩික්සන් වංචනිකයකු ලෙස හඳුනා ගන්නා බිනරි ඔහු නිවසින් පන්නා දමයි.

අද එතැන් සිට...

ඩික්සන් ගේ හැසිරීම දෙස බිනරි බලා සිටියේ කවරක් හෝ වෙතොත් එයට මුහුණ දෙතැයි යන කල්පනාවෙනි.එහෙත් එබඳු ආන්තාරාවක සේයාවක් හෝ නොවිය.

‘ඩික්සන් මට කරදර කරන්නේ නැතිව යනවද?’

බැරිම තැන ඇය ඇසුවාය

‘අනේ මගේ රත්තරන් සුදු නෝනේ මම කරදර කරනවද?මම ආවේ අපි දෙන්නම ගොඩ යන විධියක් ගැන කියන්න.මං හින්දා සුදු නෝනේට වුණ න්‍ය තුරුසු ගෙවනවා විතරක් නෙවේ.අපි අර පික්චර් එකත් ඉවර කරනවා’

ඔහු පවසන්නේ වෙරි මතින් ද නැතහොත් පියවි සිහියෙන් ද කියන්නට බිනරි නොදත්තාය.

ඔහු උන් තැනින් නැගිට නිදන සයනය පැත්තකට ඇද දැම්මේය.

‘සුදු නෝනේ.මේක දැකලා කෑගහන්නේ නෑ ඔන්න’

ඔහු පැවසුවේය.අනතුරුව සිය ගමන් මල්ලේ වූ මුල්ලුවක් ගත් ඔහු ඇඳ යට වූ ටයිල් ආවරණය ගලවන්නට තැත් කළේය.

‘මොනවද මිනිහෝ’

බිනරි කෑ ගසන්නට තැත් කළේය.

‘මමනේ හැදුවේ.සුදු නෝනා ඉන්ඩකෝ’

ඔහු යළිත් පැවසුවේ සන්සුන් සිතිනි.ඔහු ගලවන්නට තැත් කළේ නිදන සයනයේ යට වූ ටයිල් කැටයකි.ඒ හරියේ ටයිල් වෙනදාට වඩා වෙනස්යැයි බිනරිට පෙනුනේ එවිටය.ඔහු බිනරි තමා සිටින තැනට කැඳවූයේය.

‘සුදු නෝනේ මං කියනවට මේ ඇඳ ඔහොම තව ටිකක් අල්ලලා පැත්තකට කරන්ඩ’

බිනරි එයට අවනත වූයේ නැත.ඩික්සන් අනතුරුව තමන් විසින්ම ඇඳ තවත් පසෙකට කළේය.අනතුරුව ඔහු එහි ටයිල් ගලවන්නට පටන් ගත්තේය.එහි ටයිල් බුරුල්ය.

‘සුදු නෝනේ මිනිස්සු බලන්නේ ඇඳ උඩ විතරයි.හැබැයි එයිට වඩා ඒව ඇද යට තියෙන්ඩ පුළුවන්’

ඩික්සන් ගේ මුහුණේ තිබුණේ කුමක්දැයි කියවන්නට බිනරිට නොහැකිය.ඔහු ටයිල් කෑල්ලක් ගලවා එහි වළලා තිබුණු පොලිතින් උරයක් ගොඩ ට ගත්තේය.එහි තිබුණු දේ දුටු බිනරි උන් තැනම ඉද ගත්තාය.ඩික්සන් එය බිමට දැම්මේය.

‘කොහෙන්ද ඩික්සන් මෙච්චර රත්තරන්’

අනතුරුව බිනරි වහා නිවසේ පහත මාලයට දිව ගොස් දොරගුළු නිසි ලෙස ලා තිබේදැයි බලා හනික දුව ආවාය.ඒ වන විට ඩික්සන් තවත් එවැනිම ටයිල් කැට රැසක් ගලවා තිබිණ.ඒ සියල්ලේම පොලිතින් මළුය.

‘ඩික්සන් කොහෙන්ද මේ’

බිනරි ඇසුවේ වියරුවෙන් මෙනි.ඇය බියෙන් මෙන්ම සතුටින් ද ඉපිල යමින් සිටියාය.ඩික්සන් සිය කටයුත්ත නිම කළ ආකාරයෙන් ඒ මැද බලා සිටියේය.බිනරි බිම දමා තිබුණ පොලිතින් මළු එකිනෙක බලා පිරික්සන්නට වූවාය.ඒවායේ ඇතැමෙක රත්තරන්ය.අනික් ඒවා යේ මුදල් නෝට්ටුය.ඇය ඩික්සන් ගේ උරහිසින් අල්ලා සෙලවූවාය.

‘ඩික්සන් කොහෙන්ද මේ අනේ කියනවකෝ’

ඔහු මහ හඩින් සිනාසෙන්නට පටන් ගත්තේය.

‘මේවා කාගෙද කියලා මමවත් දන්නේ නෑ සුදු නෝනේ.’

ඔහු ගණනකටවත් නොකියාම පැවසුවේය.

‘මතකද දවසක් සුදු නෝනේ අම්මාව බලන්ඩ කියලා විනෝද් මහත්තයා යැව්වා.එදා සුදු නෝනේ එනකොට විනෝද් මහත්තයා හිටියේ මේ කාමරේ.මාත් එක්ක’

ඔහු සිහිපත් කරවන්නට තැත් කළේය.

‘එදා විනෝද් මහත්තයා සුදු නෝනේට සල්ලි වියදම් කළේ මේ සල්ලි ටික මෙහෙ ගෙනත් හංගන්ඩ’

බිනරි ඒ කතාව අසා සිටියේ සුරංගනා කතාවක් අසා සිටින දරුවෙකු ගේ ගාණටය.

‘කොහෙන්ද මේ සල්ලි.විනෝද්ට’

‘කවුද දන්නේ.මං හිතන්නේ මේක ලොකු රොබරියක් .සමහර විට මට හිතෙනවා ඒ දවස් වල කියැවුණ බැංකු රොබරියක්.’

බිනරි ගේ ගත සීතල වන්නට පටන් ගත්තේය.

ඇයි මේ සල්ලි ගත්තේ

ඩික්සන් ගේ ජයග්‍රාහි ලීලාව අතුරුදන් වන්නට පටන් ගත්තේය.

‘මම බැහැයි කිව්වා නම් මාත් අඩි හය හතක් පහළ.ඔය ඇඹිලිපිටිය පැත්තේ පතල් වලක’

බිනරි කල්පනා කරන්නට පටන් ගත්තාය.එහි ලක්ෂ ගණනක මුදල් ද රත්තරන් ද ඇතැයි පෙනෙයි.තණ්හාව ද බිය ද අතර ඇය දෝලනය වන්නට පටන් ගෙනය.මේ නිධානය අත හරින්නට ද ඇයට නොහැකිය.

‘සුදු නෝනේ.මේ සල්ලි වලට දැන් අයිති කාරයෙක් නෑ.අපි අපේ වැඩ ටික කරමු.අපි අර පික්චර් එක ඉවර කරමු.සුදු නෝනේ මේ ණය ගෙවන්ඩත් මෙතැන සල්ලි තියෙනවා.’

ඩික්සන් යෝජනා කළේය.

‘හැබැයි කාටවත් දැන ගන්න අරින්න එපා.සුදු නෝනේ.නැත්නම් අපි ඉවරයි’

ඩික්සන් අනතුරු හැඟවූයේය.අනතුරුව එතුවක් එහිම තිබුණ මුදල් ඔහු යළිත් වළලන්නට සැරසිණ.බිනරි ඔහුට අවනත වන්නට පටන් ගත්තාය.එක් පාර්සලයක් හැර අන් සියල්ලම ලහිලහියේ තිබුණ ආකාරයට වසා දමන්නට තරම් ඔහු සූක්ෂම වූයේය.

‘අපි ඕන වෙලාවට අනිත්වා ගනිමු.දැනට මේ රත්තරන් ටික උකස් කරමු.’

ඩික්සන් යෝජනා කළේය.බිනරි කිසිත් නොකියා වැළලුණු සම්පත දෙස බලා සිටියාය.

ඉන් අනතුරුව ටික දවසකින් බිනරි වළලු උගස් කළාය.දන්නා හදුනන කෙනෙකු බැවින් බිනරි ගැන සැකයක් ඇති වන්නට හේතුවක් නොවිණ.චිත්‍රපටයේ වැඩ ද ඇරඹිණ.දර්ශන වෙනුවට එහි වැඩ නිම කරන්නට සුරේෂ් ට පැවරිණ.සුරේෂ් ඩික්සන්ට පංගාර්තු කර දුන්නේ චිත්‍රපටයේ කැමරා ශිල්පියාය. ඒ වන විට සුරේශ් චිත්‍රපට ගණනාවක සහාය අධ්‍යක්ෂවරයාව කටයුතු කර තිබුණ වග දැන ගන්නට ලැබිණ.අඩක් නිම කර තිබුණු චිත්‍රපටයේ කතාව සමහර තැනින් වෙනස් කරන්නට ඔහු උපදෙස් දුන්නේය.චිත්‍රපටයේ ඉතිරි කොටස් නැරඹු සුරේෂ් දර්ශණ ගේ පතුරු ඇරියේය.

‘මිනිහෙක් චිත්‍රපටයක් කරන්න ආවාම ඌව නැති කරන එක තමයි මුන්ගේ සිරිත.ඉතින් ඊට පස්සේ ඒ මිනිහා නන්නත්තාර වෙනවා.දැන් එකම දේ මේක පණ ගහල ගතෑකි.දවස් පනහ පනිනවා’

සුරේෂ් පාරම්බෑවේය.දර්ශන ද චිත්‍රපටය ඇරඹුවේ එහෙමය.ඔවුන් චිත්‍රපට කරන විධිය දුටු විට තමන්ට ද චිත්‍රපටයක් කර ගත හැකියැයි ඩික්සන්ට කියැවිණ.චිත්‍රපටය පිළිබඳ තොරතුරු පත්තර වල පළ කරන්නට සුරේෂ් කටයුතු සම්පාදනය කළේය.

‘මගේ සීන් වැඩි කරන්ඩ බැරිද මහත්තයා’

ඩිකස්න ඇසුවේ දවසක් තිස්සේ රූ ගැන්වීම වල දී තමා යොදා නොගත් බව සිහිපත් වූ විටය.

‘කතාවට නම් එහෙම ගැළපෙන්නේ නෑ.’

සුරේෂ් පැවසුවේය.

‘එහෙම නෙමෙයි’

ඩික්සන් පැවසුවේ අලුත්ම මත්පැන් බෝතලයක් මේසය මත තබමිනි.

‘මට ඇත්තටම බැරිද ෆයිට් එකක් කරන්ඩ.කොල්ලට ගහන්ඩ.’

ඩික්සන් යෝජනා කළේය.සුරේෂ් හිස වැනුවේ දෙවන වීදුරුව ද හනික මුව තුළට දමා ගෙනය. ඒ අනුව කතාවට අලුත් ජවනිකා එක් විණ.ඊළගට වුවමනා වුණේ සුරූපි සුදර්ශනා සමග අලුත් ගීතයකි.සුදර්ශනා ඒ දවස් වල ටෙලි නාට්‍යක රඟපෑවාය.ඇය ගෙනාවේ සුරේශ්ය.

‘අලුත් සින්දුවක් ඕන වෙන එකක් නෑ.අපි ජෝති අය්යා ගේ සිංදුවක් ම ගමු’

සුරේෂ් යෝජනා කළේය.ජෝතිපාල ගේ සිංදුවකට සුදර්ශනා සමග රගපාන්නට ලැබීම ජයග්‍රහණයකැයි ඩික්සන් සිතූ නමුත් ඒ ගැන බිනරිට අඟවන්නට වත් නොගියේය.දර්ශන ඒ අතර වාරයේ ඩික්සන් හමුවට පැමිණ සිටියේය.