වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




තිස්ස ගුණවර්ධනයන් දැයෙන් සමුගනී

තිස්ස ගුණවර්ධනයන් දැයෙන් සමුගනී

ප්‍රවීණ රංගන හා කලා ආචාර්යවරයකු වූ තිස්ස ගුණවර්ධනයන් පසුගිය 22 වනදා අභාවප්‍රාප්ත විය. නාට්‍ය හා රංග කලාව, චිත්‍ර, කැටයම් හා මූර්ති මෙන්ම සංගීතය පිළිබඳ ප්‍රවීණයකු වූ ඔහු මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ නාට්‍ය හා චිත්‍ර කලාව පිළිබඳ ආචාර්යවරයා ලෙස වැඩි කාලයක් සේවය කළේය.

ඒ වකාවනුව තුළ සමස්ථ ලංකා පාසල් නාට්‍ය තරඟාවලිය හරහා අඛණ්ඩව දිර්ඝ කාලයක් ජයග්‍රහණ අත්කර ගැනීමට ඔහු විසින් නිර්මාණය කළ සමනල කන්ද, ඇපල්වත්ත, යුද්ධ අංකල්, සඳකිරණ, සඳේ අංකුර, පහන් යාගය, රන් පංචායුධ, රුවල්් යාදින්න, සන්නාසි අව්ව, ඇට මස් ලේ නහර, අස්ස කරත්තේ යනාදී වේදිකා නාට්‍ය සමත් විය. ඒ හැරුණු විට මොනරවිල, පරෙවි පියැස්ස, ප්‍රභූන්ගේ අවන්හල, මැයි මල් සාදය, වන්දිය වැනි වේදිකා නාට්‍ය නිර්මාණ රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරමින් ජයග්‍රහණ හිමි කරගෙන තිබේ. 'දුටුගැමුණු' ඔහු විසින් මෑත කාලීනව වේදිකා ගතකළ නාට්‍ය නිර්මාණයකි.

හෙළ කලා ක්ෂේත්‍රයට රංගන ශිල්පීන් රැසක් දායාද කිරීමට ද තිස්ස ගුණවර්ධනයන් සමත් වූවෙකි. ඔහු යටතේ රංගනය හැදෑරූ ජගත් චමිල, අශේන් මංජුල, රුක්මාල් නිරෝෂ්, කුමාර තිරිමාදුර, රෙක්ස් හැමිල්ටන්, රවීන්ද්‍ර කෝදාගොඩ, රජිත හිරාන් (පිං පොං) අද ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන් අතර වෙති. එලෙසම මාධ්‍ය ක්ෂේත්‍රයේද ඔහුගෙන් ගුරුහරුකම් ලද බොහෝ පිරිස් වෙති.

තිස්ස ගුණවර්ධනයන් රංගනය මෙන්ම චිත්‍ර කලාව, කැටයම් හා මූර්ති ශිල්පය පිළිබඳව ද ප්‍රවීණයෙකි. මොරටුව නගර සභා පරිශ්‍රයේ නිර්මාණය කර තිබෙන වීර පුරන් අප්පු උඩුකය ප්‍රතිමාව සහ දැවමය ප්‍රතිමාව, වේල්ස් කුමර විද්‍යාලයේ නිර්මාණය කර ඇති චාල්ස් හෙන්රි ද සොයිසා පිළිරුව මෙන්ම විශාලතම සඳපහන සහිතව නිර්මාණය කර තිබෙන විද්‍යාලීය බුදු මැදුර හා බුද්ධ ප්‍රතිමා වහන්සේ එතුමන් විසින් කළ විශිෂ්ඨතම නිර්මාණයන් අතර වේ.

එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ එනම් 25 වන දින සවස මොරටුවේදී සිදු කෙරුණි. ශ්‍රී ලංකේය කලාකෙත අස්වද්දනු වස් විශිෂ්ඨ සේවාවක් කළ තිස්ස ගුණවර්ධන ශූරින් හට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.