වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




‘සුජාතා’ හා ‘සැඩසුළං’ චිත්‍රපටවල මුඩ්ලියර් ගම්පෙරළියේ කයිසාරුවත්තේ වෙයි

‘සුජාතා’ හා ‘සැඩසුළං’ චිත්‍රපටවල මුඩ්ලියර් ගම්පෙරළියේ කයිසාරුවත්තේ වෙයි

 

ඩේවිඩ් ධර්මකීර්ති

'සුජාතා' චිත්‍රපටය දුටු ප්‍රේක්ෂකයකු අද සිටී නම් එහි මුදලි ලෙස රඟපෑ ඩේවිඩ් ධර්මකීර්ති නම් නළුවාව අමතක නොවනු ඇති. ඔහු රදළයකු වුව ද උසස්, මානුෂික හැඟීම්වලින් යුතු වැඩිහිටියෙකි. ඔහුගේ ස්වභාවික රඟපෑම් දුටු 'ජනතා' පුවත්පතේ (1953 ජූලි මස 9 වෙනි බ්‍රහස්පතින්දා) රාජා තිලකරත්න චිත්‍රපටයේ හොඳම නළුවා ලෙස නම් කර තිබුණේ ඩේවිඩ් ධර්මකීර්තිවය.

කළුකපුගේ දොන් ඩේවිඩ් 1913 සැප්තැම්බර් 01 වෙනිදා පාදුක්කේ කොටිගම්ගොඩ උපත ලැබුවේය.

'මගේ ගම තිබුණේ පාදුක්කට හැතැප්ම 2 1/4 එහා. හොරණට හැතැප්ම 8 ක් තියෙනවා. අයිති හොරණ මැතිවරණ කොට්ඨාශයට. මම මුලින්ම ඉගෙන ගන්න ගියේ ගමේ ඉස්කෝලෙට. ඊට පස්සේ පාදුක්ක වොනකල් විද්‍යාලයටත්, හෝමාගම ඉන්ග්ළිෂ් ස්කූල් එකට. සිංහල භාෂා පාඨශාලා හැරයාමේ විභාගයට ඉංග්‍රීසි භාෂාවෙන් පෙනී සිට මම සමත් වුණා.' ඩේවිඩ් ධර්මකිර්ති මා සමඟ පැවසුවේ 1985 අගෝස්තු මාසයේ දවසක හොරණ තානායමේ මධු සාදයක් අතර විරාමයකදීය. ඩේවිඩ් ධර්මකීර්ති හෝ තිස් පස් වසරක සිනමා සේවය අගයා වාසනා ජේසීස් හා සිංහ සමාජය උපහාර උලෙළක් ද, නළු නිළියන්ගේ ක්‍රිකට් තරගයක්ද සංවිධානය කර තිබුණි. 'සරසවිය' පත්‍රය වෙනුවෙන් මම එදා එම අවස්ථාවට කැමරා ශිල්පී කිංස්ලි පෙරේරා සමඟ සහභාගි වීමි.

ඩේවිඩ් ධර්මකීර්ති විනෝදකාමියෙකි. මධුවිතට ආදරය කළ රසවතෙකි. ඔහු සිටින තැන පාළුවක් නැත. 'යාන්ස්' කීමට ඔහු තරම් සූරයෙකු මා දැක නොතිබුණි. ඒවා පත්‍රයක ලිවීමට අපහසුය.

පාසැලේ හැම වාරාවසනයකම ඔහු නාට්‍යයක් පන්තියේ ළමුන්ට පුහුණු කොට රඟදැක්වීය. ඔහු වරක් මාර්ටින් වික්‍රමසිංහගේ 'රෝහිණී' නවකතාව ඇසුරෙන් කතාවක් අමුතුවෙන්ම ලියා කරනු ලැබූ රඟපෑම දුටු 'හෙඩ් මාස්ටර්' ඔහු පාසල හැර යන විට දුන් සහතිකයේ - ඩ්ඥ ඪඵ ච ඊචතඥදබඥඤ ඒජබධප (ඔහු කුසලතා පූර්ණ නළුවෙකි) සඳහන් කළේය.

කොළඹ ඇල්ස්ටන් පෙදෙස් පිහිටුවා තිබූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඕවර්සියර් කෙනෙකු ලෙස මුලින්ම සේවයට බැඳුණු කාලයේ ඔහු චිත්‍රපටයක රඟපෑමට සිහින මැව්වේය. නිශ්ශබ්ද චිත්‍රපට බැලීමෙන් අවදි වූ මේ ආශාව තවත් මෝදු වී ඇත්තේ 1948 එල්පින්ටන් සිනමා ශාලාවේ ඔහු දුටු 'කපටි ආරක්ෂකයා' චිත්‍රපටයත් නැරඹීමට ගියාට පසුලු.

'ඒ කාලේ චිත්‍රපට බලන්න විමෝද බද්ද අය කළේ නෑ. මගේ මිතුරන් කිහිප දෙනකු සමඟ ඇල්පින්ස්ටන් එකේ ගැලරියට ගියේ ශත 50 ගෙවලා සරම ඇඳ ගෙන 'අඩෝ' කියාගෙන. එහෙම නැතිව ඒ කාලේ ගැලරියේ චිත්‍රපට බලන්න බෑ. එදා රුක්මණී දේවිලා, හර්බි සෙනෙවිරත්නලා, එඩී ජයමාන්නලා රඟපානවා බලන් ඉඳලා මට හිතුණා 'අනේ චිත්‍රපටයක එන රජ ගෙදරක සීන් එකක සෙංකෝලයවත් අල්ලා ගෙන අවස්ථාව ලැබෙනවා නම්' කියලා.

ඩේවිඩ් වැඩ කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාසිංහ නම් සුපිරිටැන්ඩන්ට් කෙනෙක් සිටියේය. ඔහු ඩේවිඩ්ගේ රඟපෑමේ කුසලතා දුටුවේ ගොවි හමුදාවේ නාට්‍යවල රඟපෑම් දැකීමෙනි. මේ නාට්‍යවල වේදිකා සැරසිලිත්, සංගීතයෙනුත්, නාට්‍ය ඔප කළේ ඩේවිඩ්. ඔහු වේදිකාව පිටුපස තිබූ සුදු තිරයේ අඟුරුවලින් එක එක දර්ශන ඇන්දේය.

මේ නාට්‍ය නැරඹීමට ලේක්හවුස් දිනමිණ පත්‍රයේ පත්‍ර කලාවේදීන් දෙදෙනකු වූ ඩී. ඇෆ්. කාරියකරවන හා රාජා තිලකරත්න (ග්ලෝබ් මුද්‍රණාලාධිපති කෝසල තිලකරත්නගේ පියා) දිනක් පැමිණියහ. රාජා තිලකරත්න, සුපිරිටැන්ඩන්ට් ජාසිංහ මහතගේ ඥාතියෙකි.

'මේ නාට්‍යය හරිම අපූරුයිනේ. ඇයි මේ නාට්‍යය නැෂනල් තියටර් (පසුව ගාමිණී සිනමාහල) වගේ තැනක පෙන්වන්නේ නැත්තේ' කියා රජා තිලකරත්න ඩේවිඩ්ගෙන් අසා ඇත.

ඩේවිඩ් මේ කියමනෙන් අනුප්‍රාණය ලබා ජාසිංහ මහතාට ඇවිටිලි කළේය.

'සර් මට මේ නාට්‍යය වයි. ඇම්. බී. ඒ. ශාලාවේ පෙන්වන්න උදව්වක් කරන්න'

'ඩේවිඩ් ඕව හැමදාම කරලා හරි යන්නේ නැහැ. කොහොම හරි බලමු මීගමුවේ ජයමාන්නගේ චිත්‍රපටයක රඟපාන්න චාන්ස් එකක් ගන්න. චිත්‍රපට නළුවෙකු වෙන්න ඩේවිඩ්ට හොඳ පළපුරුද්දක් තියෙනවා' ජාසිංහ මහතා ඩේවිඩ්ට කියා ඔහුගේ සිත සතුටු කළේය.

ගත වූයේ සතියකි. ජාසිංහ මහතා ඩේවිඩ්ට කතා කළේ 'ඩේලිනිවුස්' පත්‍රය පෙරළාගෙනය.

'මෙන්න ඩේවිඩ් . . . වාසනාව දොර ළඟටම ඇවිත්. අද පත්‍රයේ තියෙනවා 'සුජාතා' කියන අලුත් චිත්‍රපටයට නළු නිළියෝ ඕනෑ කියලා. ඉක්මනට ඉල්ලුම් පත්‍රයක් දාන්න.'

මේ අවස්ථාව ඩේවිඩ් ධර්මකීර්ති මට විස්තර කළේ මෙසේය.

'ඒ 1952 අවුරුද්ද. මම ඇඩ්‍්‍රරස් එක අනුව කොළඹ අලුත් හෙට්ටි වීදියේ අංක 117 දරන සිනමාස් සමාගමට ගියා. එදා ඒ පරීක්ෂණය පසුදාට කල්දාලා. පසුදා සෙනසුරාදා දවසක්. පසුවදා මම බාබර් සාප්පුවකට ගිහිල්ලා රැවුල කැපුවා. රැවුල කපන බාබර්ට මම මෙහෙම කිව්වා.

'මම අද යන්නෙ ලොකු වැඩකට. වැඩේ හරි ගියොත් මම උඹටත් සලකනවා.'

ෆුල් සූට් එකක් ගහල හොඳ ජැන්ඩියට පරීක්ෂණයට ගියේ. මගේ වයස අවුරුදු 40 යි. එතැන ඉන්න කෙනෙක් කිව්වා 'සර් අද කට්ටිය තෝරලා ඉවරයි' කියලා. මම වටපිට බලලා සිංහලයයි කියලා හිතෙන ලිපිකරුවෙකුට කිට්ටු කළා.

'මම ආවේ බොහොම ඈත ඉඳලා. කඩුගන්නාවේ ඉඳලා. මට රු. 100 ක් විතර මේ ගමනට වියදම් වුණා. තමුසෙලාගේ ඔය තෝරන මහත්තුරුන්ට කියලා හොඳ නම් විතරක් තෝර ගන්න කියලා කියනවකෝ.'

එතකොටම අධ්‍යක්ෂවරයෙක් කියලා හිතන තරමේ මහත්තයෙක් මා ළගට ඇවිත් 'අර කාමරයට යන්න' කිව්වා.

ටික වේලාවකින් 'සුජාතා' චිත්‍රපටයේ විධායක අධ්‍යක්ෂක ටී. සෝමසේකරන් ඒ කාමරයට ආවා සිරිසේන විමලවීර සමඟ. විමලවීර මාස්ටර් මට දෙබස් ඛණ්ඩයක් දීලා වයස අවුරුදු 60 විතර වැඩිහිටි මිනිසෙකු විදිහට මේ දෙබස කියන්න කිව්වා.

'සුජාතා හැබෑ ද ? ප්‍රේමා විභාගයෙන් පාස් කියන්නේ'

මගේ මුල්ම දෙබස ඒක. සෝමසේකරන් මාව තෝරා ගත් බව කිව්වා.

'සර් මම ආණ්ඩුවේ රැකියාවක් කරන කෙනෙක්. මට සුළු චරිතයක් කරන්න බැහැ. ඉන්දියාවටත් යන්න තියෙනවා නේ. මට හොඳ කොටසක් දෙන්න.'

ඒ පාර චිත්‍රපටයේ මුඩ්ලියර්ගේ චරිතය දෙන්නම් කිව්වා. මුඩ්ලියර්ට බඩේ කැක්කුමක් හැදෙන අවස්ථාවක් දෙබස් දෙන්න හවස එන්න කිව්වා. ඒ කාලේ මට සල්ලි වැඩිය තිබුණේ නැහැ. මම තෝසේ කඩේකට ගිහින් කාලා, බාබර් සාප්පුවකට ගිහින් ශත 02 ක් දීලා මුහුණට වතුර මලෙන් වතුර විඳගෙන 'ප්‍රෙෂ්' වෙලා සෝමසේකරන් හමුවට ගියා.

මම ඔහු ඉදිරියේ මුඩ්ලියර් චරිතය රඟපෑවා. ඒත් මම ඒ චරිතය රඟපානවට සිරිසේන විමලවීර වැඩි සතුටක් වුණේ නෑ. එයා ඒ චරිතය වෙන කාටද දෙන්න පොරොන්දු වෙලා.

'සර් මෙයා හොඳ නාකි මිනිහකුගේ චරිතෙට' කියලා විමලවීර මාස්ටර් නැවත නැවත කියනවා.

ඒ පාර මම නාකි මිනිහගේ දෙබස් කිව්වාම සෝමසේකරන් මට එයාගේ කාමරයට එන්න කිව්වා.

'අයිසේ, ඩේවිඩ් තමුසෙ මුඩ්ලියර්ගේ චරිතෙයි, නාකි මිනිහාගේ චරිතෙයි දෙකම කරනවා. තමුසෙට කීයක් ඕනෑද?' ඔහු මගෙන් ඇහැව්වා.

මම එදා ගොන්කමක් කළේ. එදා තමයි මම මුල්වරට එයා කන්ඩිෂන් කාමරයක් දැක්කේ.'

'මට සල්ලි ඕනෑ නෑ සර්. ඕනේ රඟපාන්න' මට කියවුණේ සතුටටම.

'උඹ ආණ්ඩුවේ සේවකයෙක්ද? පඩිය කීයක් ලැබෙනවද?'

'රුපියල් 300 ක්'

'මෙන්න රුපියල් 350 ක්. මගේ සන්තෝසෙට. මම උඹ රඟපානවට මාසයකට රු. 350 ගාණේ ගෙවනවා.'

'මොකක්ද උඹේ සම්පූර්ණ නම?'

'කේ. ඩේවිඩ්'

'නිකම්ම ඩේවිඩ්. ඒක හරි යන්නෙ නෑ. මගේ හොඳම යළුවෙක් ඉන්නවා ධර්මකීර්ති කියලා. එයා ඉන්නේ වයි. ඇම්. සී. ඒ. එකේ. යාළුවා මතක් වෙන්න ඩේවිඩ් ධර්මකීර්ති කියලා දාමු. සෝමසේකරන් මගේ නම හැදුවා.'

'සුජාතා' චිත්‍රපටයේ එක් දර්ශනයක ඩේවිඩ් රඟපාන මුඩ්ලියර්ගේ චරිතය එදා කොතරම් ආකර්ෂණීය වූවාද යත් එහි එන දර්ශනයක ඔහු සුප් එකට ලුණු දාන අවස්ථාවක් තිබේ. 'සුජාතා' හි මේ දර්ශනය නිසා ඩේවිඩ් පරේ යන විට 'දැම්මා නේද සුප් එකට ලුණු' යයි සිනමා රසිකයන් කීමට පටන්ගෙන ඇත.

'ඩේවිඩ් ඔබ තමයි 'සුජාතා' චිත්‍රපටයේ හොඳම නළුවා. ඔබට සුබ පතනවා. ඔබ ලංකාවේ හොඳම නළුවා වෙනවා ඒකාන්තයි' ටී. සෝමසේකරන් අනාවැකිය කියා තිබුණි.

'සුජාතා' චිත්‍රපටයේ රඟපෑමට ඉන්දියාවේ චිත්‍රාගාරයට ගිය ඔහුට කනගාටුදායක සිද්ධි දෙකක් සිදුව ඇත. එකක් ඔහුගේ පියා මිය යාමය. දෙවැන්න තමාට 'උඹ හොඳ නළුවෙක් වෙනවා' කී හෙඩ් මාස්ටර් මියයාමය.

මගේ පියගේ නම ඕදිරිස් අප්පුහාමි. තාත්තා කළේ ගොවිතැන්. මම ඉන්දියාවේ ඉන්න කොට මරණාසන්නව සිටි තාත්තා කීවාලු 'මට මොනව වුණත් කොලුවට දන්වන්න එපා. එතකොට ඌ කරන වැඩේ නතර වෙයි' කියලා. මේ නිසා මගේ භාර්යාව මට තාත්තගේ මරණය දැන්නුවේ නැහැ. මේ අතර මගේ භාර්යාවට හතරවැනි දුව ලැබීමට ඇගේ ගම වූ කඩවතට ගිහින්. මේ ආරංචිය මම සෝමසේකරන්ට කිව්වා.

'එහෙනං දුවට දාපන් සුජාතා කියලා'

ඩේවිඩ් එදා වූ සිද්ධියත් මතක් කරමින් කීවේය.

ඩේවිඩ්ගේ බිරියගේ නම නන්දාවතී ජයසූරියය. ඔවුනට දරුවන් 8 දෙනෙකි. පුතාලා 5 යි. දුවල 3 යි.

'සුජාතා' චිත්‍රපටයෙන් පසු ඩේවිඩ් ටී. සෝමසේකරන්ගේ 'සැඩසුළං' චිත්‍රපටයේ සර් පර්සි පලිපාන චරිතය රඟපෑවේය. 'සැඩ සුළං' චිත්‍රපටයේ ද හොඳම නළුවා ලෙස කැපී පෙනුණේ ඩේවිඩ්ය. 'සැඩසුළං' චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වූ අමුත්තෙක් ඩේවිඩ්ට සුබ පතා ඇත.

'ඔබේ රඟපෑම හරිම ඉහළයි. ද්‍රවිඩ අධ්‍යක්ෂවරයකු යටතේ ඔබ හොඳට රඟපෑවා. මගේ ඊළඟ චිත්‍රපටයට අනිවාර්යෙන්ම ඔබව මම තෝරා ගන්නවා.' අමුත්තා කීවේ ඩේවිඩ්ට අත දී සුබ පතමිනි.

අමුත්තා ඒ පොරොන්දුව ඉටු කරමින් තමා අධ්‍යක්ෂණය කළ 'සන්දේශය' චිත්‍රපටයේ දිසාවගේ චරිතය සඳහා ඩේවිඩ්ව තෝරා ගත්තා පමණක් නොව 'ගම්පෙරළිය' චිත්‍රපටයේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතයට ද තෝරා ගත්තේය. මේ අධ්‍යක්ෂ වරයා වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.

චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ද දෙබස් රචකයකු හා කතා රචකයකු ලෙස 'සල්ලි මල්ලි සල්ලි' (1958) චිත්‍රපටයෙන් ඔහු චරිතාංග නළුවකු ලෙස දස්කම්පා ඇත. ඔහු 'පරසතුරෝ' චිත්‍රපටයේ තම පුතු සරත් ධර්මකීර්ති සමඟ රඟපෑවේය.

වයසට යතත් මහලු නොවූ ඩේවිඩ් ධර්මකීර්ති තමා නිරූපණය කරන කොයි යම් චරිතයක් වුව ද රඟපෑවේ එය තුළ ජීවත් වෙමිනි. අන් හැමටම වඩා එහි ප්‍රීතිය භුක්ති ව්න්දේ ද ඔහුය. 'සුහද දිවි පිදුමේ' අසෝකගේ පියා මෙන් ඔහු තම පුතාගේ 'සාජ්ජ පාටිය' කඩා බිඳ හෙලමින් මිතුරන් විසුරුවා හරින්නේ වියරුවෙනි. නියම පියෙකු මෙන් නිතරම රඟපාන ඔහු 'සල්ලි මල්ලි සල්ලි' චිත්‍රපටයේ නිරුපණය කරන චරිතය ඊට ඉඳුරාම වෙනස්ය. 'සිනාවයි ඉනාවයි' චිත්‍රපටයේ ගුරු සභා නම් මනමාල ගුරුවරයෙකි. 'මඩොල්දුවේ' උපාලිගේ පියාය. වරෙක 'මහදැනමුත්තා' චිත්‍රපටයේ මහදැනමුත්තා වූ ඔහු 'ආරාධනා' චිත්‍රපටයේ දයාවන්ත පියෙකි. මේ චිත්‍රපටය සඳහා 1982 සරසවිය සම්මාන උලෙළේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

'ආරාධනා' 35 වසරක මගේ චිත්‍රපට ජීවිතයේ මා ලැබූ එකම සම්මානයයි' ඩේවිඩ් කීවේ මහත් අභිමානයෙනි.

ඔහුගේ ප්‍රියතම දේශපාලන චරිතය වූයේ පිලිප් ගුණවර්ධනය. 1960 ජූලි මහ මැතිවරණයේදී හොරණ ආසනයට මහජන එක්සත් පෙරමුණෙන් තරඟ කළ ඩේවිඩ්ට හිමි වූයේ තුන්වන ස්ථානයයි. පරාජයෙන් පසු හොරණ හන්දියට පැමිණ ඩේවිඩ් රැස්වීමක් ඇමතූ අයුරු හොරණම උපන් හින්දි භාෂා විශාරද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවලට මතකය.

'එදා ඩේවිඩ් අපූරු කතාවක් කළේ. හැමෝම සිනහා ගන්වමින් තමා ආසනයෙන් තුන්වන තැන ලැබීම ගැන මෙසේ කීවේය.

'මං-ත්‍රී'

එම මැතිවරණයෙන් මුල්තැනට ස්වාධීනව තරඟ කළ රත්නසිරි වික්‍රමනායකට ඡන්ද 14,023 ක් ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිට ඡන්ද 11,998 ක් ලැබුණු අතර කේ. ඩේවිඩ්ට (ඩේවිඩ් ධර්මකීර්ති) ලැබුණේ ඡන්ද 1555 පමණි. එදා හොරණ නගරයේ පැවැති මහජන එක්සත් පෙරමුණේ නායක (වේගයෙන් කතා කරනවා මිස අඩුවෙන් සිනාසෙන) පිලිප් ගුණවර්ධන, ඩේවිඩ් වේදිකාවේ කළ විහිළු කතා අසා ජීවිතේටම ඇතිවෙන්න සිනාසුණ බව සිරි කහවලට මතකය.

මේ චරිතාංග නළුවා 1987 වසරේ සැප්තැම්බර් 10 වෙනිදා ජීවිතයෙන් සමුගත්තේය.