වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජන් ප්‍රසන්න වතුර වගේලු

රන්ජන් ප්‍රසන්න වතුර වගේලු

ටෙලි සිනමා අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්න දිනක් මිතුරන් පිරිසක් සමඟ කතාබහ කරමින් සිටියා. එහිදී ඔහු තමන් මෙතෙක් කළ කී දෑ ගැන ඔවුන් සමඟ බෙදා ගත්තා.

රන්ජන් අයියට සම්මානයක් දෙන්න වටිනවනෙ.

රන්ජන්ගේ කතා අහගෙන ඉන්නකොට එක මිත්‍රයකුට එහෙම කියැවුණේ ඉබේටම වගේ. රන්ජන් තමන් වැඩ කළ අධ්‍යක්ෂවරු ගැන කියනවා අහලයි එහෙම කියවුණේ. රන්ජන් ප්‍රසන්න දැනට ලංකාවේ සක්‍රීයව කටයුතු කරන සියලුම අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ නිෂ්පාදන සම්බන්ධිකාරකවරයෙක්, සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට. බූඩි කීර්තිසේන, ප්‍රසන්න විතානගේ, සනත් ගුණතිලක වගේ අය ඉඳලා අද බිහි වූ අධ්‍යක්ෂවරුන් රන්ජන්ගේ සේවාව නිරන්තරයෙන් ඉල්ලා සිටිනවා. සමහරු වැඩ කරන්නේ එක්තරා සීමාවක. නිිර්මාණකරුවන් එක්ක පමණක් වුණත් රන්ජන් එහෙම නැහැ. ඔහු හරියට වතුර වගේ. ඕනෑම හැඩයේ බඳුනකට වතුර දැම්මම ඒ බඳුනේ හැඩයට වතුර හැඩ ගැහෙනවා. රන්ජනුත් ඒ හා සමානයි.


කිංස්ලි දෙරණට?

ඉකුත් සෙනසුරාදාවේ දහවල දෙරණ නරඹපු බොහෝ දෙනකු පුදුම වුණා. ඒ කිංස්ලි රත්නායක දෙරණට ගිහිල්ලද කියලා. කිංස්ලි කියපු ගමන් මතක් වුණේ සිරස නාළිකාවනේ. එහෙත් ඔහුව ඉකුත් දින දක්නට ලැබුණේ දෙරණෙන්. මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ. බූඩි කීර්තිසේනගේ නිම්නයක හුදකලාව චිත්‍රපටය දෙරණ නාළිකාවේ විකාශය වෙලා. එහි කිංස්ලිත් රඟපානවා. ඒ හින්දා තමයි ඔහුව එදා දෙරණෙන් දක්නට ලැබිලා තියෙන්නේ. කිංස්ලි තවමත් සිරසෙ. එදාට විතරක් දෙරණෙ පෙනුණා.


පොලීසියෙන් පැන්ෂන් ගිහින්

මේ ළඟදි දවසක් කීර්ති රංජිත් අපට දුරකතන ඇමතුමක් දුන්නා. ඔහුව ගොඩ දෙනෙකු හඳුනන්නේ පොලිස් කීර්ති ලෙසටයි. ඒ කීර්ති සේවය කළේ පොලීසියේ නිසා.

අනේ මල්ලි බලන්නකෝ මාව ගොඩක් දෙනෙකුට අමතක වෙලානෙ. පැන්ෂන් ගියාට පස්සේ ගෙදරටම වෙලයි හිටියේ.

ඔහු එහෙම කියනවා. ඉකුත් දිනයකදී කීර්ති පොලිස් වෘත්තියෙන් විශ්‍රාම ගියා. ඉන් පසුවයි කීර්තිට මේ අලකලංචිය වෙලා තියෙන්නේ.

සමහරු හිතලද දන්නේ නැහැ පොලීසියෙන් වගේම රංගන ජීවිතයෙනුත් මං විශ්‍රාම ගිහින් කියලා. ඒක වෙන්න ඇති මට වැඩිය කතා කරන්නේ නැත්තේ.

කීර්ති වැඩිදුරටත් එහෙම කියා සිටියා. මේ සටහනවත් දැකලා කීර්තිට වැඩි වැඩියෙන් නිර්මාණ ලැබේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. 0773729862 මේ තමයි ඔහුගේ දුරකතන අංකය.


උදාරට අලුත් තැනක්

උදාර සමරවීරව අප වඩාත් හඳුනා ගන්නේ ප්‍රියන්ත කොළඹගේගේ ආදරණීය කතාවක් සිනමාපටය නිසා. ඔහු තමයි එහි සංගීත අධ්‍යක්ෂ. ආදරණීය ගීත රැසක් අඩංගු වුණ නිසාත් ඒවා බොහොමයක් ජනප්‍රිය වුණ නිසාත් උදාර ගැන හොයන්න වැඩි දෙනෙකු උනන්දු වුණා. ඊයේ පෙරේදා දිනෙක ඔහුට නව තනතුරක් ලැබිලා. ඒ ඊ. ඒ. පී. ආයතනයේ නිෂ්පාදනය වන නිර්මාණවල සංගීතමය අංශයේ තත්ත්ව පාලනය තමයි උදාරට පැවරිලා තියෙන වගකීම. තේරෙන විදිහට කිව්වොත් ඕඩියෝ කොලිටි එක ගැන තමයි උදාර සොයා බලන්නේ. මේ හේතුවෙන් ඔහු වෙනදාට වැඩිය කාර්යබහුල වෙලා. සුපුරුදු පරිදි පැලවත්තේ පිහිටි තම ස්ටුඩියෝ එකේ වැඩ කටයුතුත් උදාර කරගෙන යනවා. දේදුනු ආකාසේ චිත්‍රපටයේ සංගීතයත් මේ උදාරගේ. තවත් චිත්‍රපට කිහිපයකටම උදාරට ආරාධනා ලැබිලා තියෙනවා කියලත් ආරංචියි.