වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ගෝල් - ඇලඩින් අද තිරයට

ගෝල් - ඇලඩින් අද තිරයට

අද දවසේ එකිනෙකට වෙනස් වූ කතා තේමාවන්ගෙන් යුතු සිනමාපටයන් ද්විත්වයක් තිරගතවීම ආරම්භ වේ. එහෙත් එම සිනමාපට ද්විත්වයම ළමයින් වෙනුවෙන් නිර්මාණය වූ ඒවා වීම විශේෂත්වයකි. ගෝල් ඉන් එක් සිනමා පටයකි. සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වන ගෝල් අභියෝග ජයගන්නා පාපන්දු කණ්ඩායමක් වටා ගෙතී ඇති කතා පුවතකි.

සීමාසහිත මහරාජා සමාගම නිෂ්පාදනය කළ ගෝල් හීන හොයන සමනල්ලු, ඒ ලෙවල් ආදී සිනමාපටයන් තැනූ රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. ජයලත් මනෝරත්න, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නයනා හෙට්ටිආරච්චි, ජයනි සේනානායක, අනුලා බුලත්සිංහල, ලක්ෂ්මන් මෙන්ඩිස්, සේවියර් කනිශ්ක,ඩේවිඩ් කරුණාරත්න, රිෂාන් නයිසර්, තේෂාන් තුෂ්මික, ධනංජය නවීන්, මොහොමඩ් ෂ්‍යාමි, පවන් බිම්සර, සුභාෂිණී ජයරත්න, කවිඳු කල්හාර, ටී. ශ්‍යාමි ඇතුළු පිරිස ගෝල් රංගනයෙන් හැඩ කරති. මහරාජා එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් සුසාර දිනාල් ගෝල් සඳහා විධායක නිෂ්පාදනයෙන් දායක විය.

අරාබි නිසොල්ලාසයේ එන සුප්‍රකට කතා පුවතක් වන ඇලඩින් සහ පුදුම පහන ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ඇලඩින් සහ පුදුම පහන අද තිරගත වන අනෙක් සිනමාපටය වේ. එය සුමිත් කුමාරගේ ගේ අධ්‍යක්ෂණයකි. මෙහි ඇලඩින් ලෙස ධනංජය සිරිවර්ධන රංගනයේ යෙදෙයි.

උදාරි වර්ණකුලසූරිය, අශිකා මතසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, දිල්හාරා රාජපක්ෂ, නිමල් පල්ලෙවත්ත, සේනක ටයිටස්, නෙතු ප්‍රියංගිකා, ප්‍රියන්ත මංසිලු, රෝහිත ඩයස්, රෝයි මැක්ලවුඩ්, දයාසිරි හෙට්ටිආරච්චි, බිංදු බෝතලේගම මෙහි සෙසු චරිත මවති. ඇලඩින් සහ පුදුම පහන ප්‍රසාද් විජේසූරියගේ නිෂ්පාදනයකි.


 ටෝනි ලියූ පවුරු වළලු තිර නාටකය එළිදකියි

නැසීගිය විශිෂ්ට රංගධර ටෝනි රණසිංහයන්ගේ 81 වැනි ජන්ම දිනය සමරමින් ඔහු විසින් රචිත පවුරු වළලු තිර රචනය මෙම මස 31 වැනිදා එළි දැක්වීමට නියමිතය. එය හොඳම තිර රචනය ලෙස විචාරක සම්මානය සහ ඕ. සී. අයි. සි. සම්මානය හිමි වූ අතර ටෝනිට හොඳම නළුවා ලෙස සම්මානය හිමි විය.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පවුරු වළලු චිත්‍රපටය ප්‍රංශයේ අමියොන් චිත්‍රපට උළෙලේ දී සම්මාන ත්‍රිත්වයක් හිමි කරගත් අතර නීටා ප්‍රනාන්දු සිංගප්පූරු චිත්‍රපට උලෙළේදී හොඳම නිළිය ලෙසින් පිදුම් ලැබුවාය. ඇය මෙහි නිරූපණය කළේ වයලට්ගේ චරිතයයි. මෙම කෘතියට පවුරුවළලු තිර රචනයට අමතරව විචාර කිහිපයක් ද ඇතුළත් වේ.

පවුරු වළලු තිර රචනය සේරි ප්‍රකාශනයකි.


තිලක කුඩාහෙට්ටිගේ නවතම කෘතිය "නාග රාක්ෂ"

තිලක කුඩාහෙට්ටි ලියූ අලුත්ම නවකතාව "නාග රාක්ෂ" ජූලි 31 වැනිදා මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් මැැදුරේදී එළිදකී.


ඩබ්ලිව්. රංජිත් පෙරේරා සමුගනී

සිනමා අධ්‍යක්ෂවරයකු මෙන්ම සිනමා නළුවකු ද වශයෙන් කලක් කටයුතු කළ ඩබ්ලිව්. රංජිත් පෙරේරා අභාවප්‍රාප්ත විය. සිතිජය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පිවිසි ඔහු වානරයෝ, විසි හතර පැය, ජෝඩු වළලු ආදී චිත්‍රපටයන්හි කැපී පෙනෙන චරිත මැව්වේය. පසුකාලීනව රංජිත් අධ්‍යක්ෂණයට පිවිසුණි. සල්ලි තිබුණට මදි, මවුබිමේ වීරයෝ සහ හිත හොඳ නම් වරදින්නේ නැහැ ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වේ.


රීටා තම්පෝ මියයයි

පැරැණි රංගන ශිල්පිණියක වූ රීටා කාමලීන් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇගේ වයස අවුරුදු 80 කි. නැසීගිය චිත්‍රපට අධ්‍යක්ෂ රොබින් තම්පෝගේ ආදරණීය බිරිය වූ රීටා පනහ දශකයේ අග භාගයේදී පමණ රංගනයට පිවිසියාය. සූරයා චිත්‍රපටයේ රඟපාමින් ක්ෂේත්‍රයට පිවිසි ඇය සිරිමලී චිත්‍රපටියෙන් කැපී පෙනුණ රංගන ශිල්පිණියක වූවාය. එහි ඇය රැඟුවේ ජොසපින් නමැති විකට චරිතයකි. ක්‍රිෂ්ටි ලෙනාඩ් සමඟ ඇය සිරිමලී චිත්‍රපටයේ කළ රඟපෑම බොහෝ දෙනෙකුගේ මතකයේ අද ද රැඳී පවතියි. 1960 දී රොබින් තම්පෝ හා විවාහ වූ රීටා ඉන් ඉක්බිති සිනමාවෙන් සමුගත්තාය. සංජීව තම්පෝ සහ ආචාර්ය විලාසිනී තම්පෝ ඇගේ දූ දරුවන් අතර වේ.


රයිගමයයි ගම්පලයයි ඇවිත් දින 50 යි

රයිගමයයි ගම්පලයයි සිනමාපටය තිරගතවීම ආරම්භ වී දින 50 ඉක්මවා තිබේ. එය මේ වන විට බොහෝ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වන බව දැනගන්නට ලැබේ. ලලිත් ප්‍රේමතිලක අධ්‍යක්ෂණය කළ රයිගමයයි ගම්පලයයි තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි. කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞශල්‍ය, රෝහිත මාන්නගේ. විජේරත්න වරකාගොඩ, ලක්ෂ්මන් අමරසේකර, පියුමි හංසමාලි ඇතුළු පිරිස මෙහි චරිත මවති.


අනුර ශ්‍රීනාත්ගේ දියණිය විවාහ වූ දා

අමාත්‍ය රුවන් විජේවර්ධන, ක්ලිටස් මෙන්ඩිස් සහ මනාල යුවළ ඇතුළු පිරිස

මනාල යුවළ සමඟ උපුල් වීරසිංහ, ක්ලිටස් මෙන්ඩිස්, ජීවන් කුමාරතුංග, අනුර ශ්‍රීනාත් යුවල සහ සුනිල් අරුණ වීරසිරි

රංගන ශිල්පී අනුර ශ්‍රීනාත්ගේ ආදරණිය දියණිය වූ සදිකා විජේමාලි පසුගියදා යුග දිවියට පිවිසියා. ඇගේ අතගත් සහකරුවා වූයේ සඳුන් මදුසංඛ වේ. කඩවත කැනෙල්රා උත්සව ශාලාවේදී සිදු වූ සදිකා, සඳුන් අතිනත ගත්දා අවස්ථා කිහිපයකි මේ.


රසික ගී සංසදයක් ගම්පහදී

සුභාවිත ගීතයට නව අරුතක් ගෙනෙමින් එදා මෙදා අප සවන්පත් රැඳුණු සිත්ගත් ගී සහ එහි නිර්මාණ ශිල්පීන් අගයනු පිණිස සියලු තරාතිරමේ ගී රසික රසිකයින්ගෙන් සමන්විත රසික කලා සංසදයක් පිහිටුවා ගැනීම සඳහා මෙම මස 29 වැනිදා සවස 3.30 ට ගම්පහ තරුණ බෞද්ධ සමිති ශාලාවට පැමිණෙන මෙන් ගම්පහ අවට සිටින ගී රසික රසිකාවන්ට එහි කැඳවුම්කාරිණී ශ්‍රියාණි චන්ද්‍රිකා විවෘත ආරාධනාවක් කරයි.


යාත්‍රිකයා එළිදකී

මිහිඳු ආරියරත්නගේ නවතම සංයුක්ත තැටිය 'යාත්‍රිකයා' පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලවේදී එළිදැක්විණි. එහිදී ඔහුගේ නවතම විද්‍යුත් තැපෑල ඹඹඹ.ථඪඩඪදඤභචපඪරචපචබදඥ.ජධථ නමින් ජනගත කෙරිණි. ඔහුගේ පළමු සංයුක්ත තැටිය මිහිඳු ආරියරත්න තම මව්පිය දෙපළට පිළිගැන් වූ අතර සංගීත ලෝකයේ ගුරුවරයා වූ සංගීත් විජේසූරියට ද එහිදී සංයුක්ත තැටියක් පිළිගන්වන ලදී. - නිශ්ශංක