වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




නිවේදකයකුට අවශ්‍ය රුව නොවේ දැනුමයි

නිවේදකයකුට අවශ්‍ය රුව නොවේ දැනුමයි

SARANGA PATHIRANA

දශකයකට පමණ පෙර ඔහුගේ වෘත්තීය නිවේදනයයි. එහෙත් මේ වන විට ඔහු ප්‍රවෘත්ති කළමනාකරුවකු ලෙස වැඩ කටයුතු කරමින් සිටියි. එහෙයින් අද අපේ කතා නායකයාට නිවේදනය අමතර ක්‍රියාකාරකමකි. හිරු ටී. වී. ප්‍රේක්ෂක ඔබ සාරංග පතිරණ නමැති මේ කෙනාව නොහඳුනන්නට විදිහක් නැත. බොහෝ කලක් පුංචි තිරයෙන් ඔබ හමුවට ආ සාරංග ජනප්‍රිය ගණයේ නිවේදකයකු නොවුණත් වෘත්තීය ගරුත්වය ආරක්ෂා කොට ක්ෂේ්ත්‍රය තුළ ස්ථාවර ගමනක යෙදෙයි.

සාරංග, ඔබේ තනතුර ගැන පවසමින් මේ කතාව ආරම්භ කළොත් හොඳයි කියලා හිතෙනවා?

මම හිරු නාළිකාවේ ප්‍රවෘත්ති සහ ක්‍රීඩා කළමනාකරු.

ඒක නිසාද ඉඩ ඇති පරිදි නිවේදනයෙහි යෙදෙන්නේ?

ඇත්තෙන්ම ඔව්. අපේ ප්‍රවෘත්තිවල යන්න ඕනෑ ක්‍රීඩා ප්‍රවෘත්ති මොනවද කියලා තීරණය කරන්නේ මම. එහෙයින් නිරන්තරයෙන් අලුත් ප්‍රවෘත්ති ගෙන එන්නයි උත්සාහ කරන්නේ. වඩා වැඩි බර යොදන්නේ ඒකට.

ක්‍රීඩා කළමනාකරු ලෙස ඔබ ආරම්භ කළ වැඩසටහන් මොනවද?

දිනන ළමයි කියලා විශේෂාංගය ආරම්භ කළා. එයින් පුළුවන් වුණා ක්‍රීඩා දක්ෂතාවය ඇති දුෂ්කර ප්‍රදේශවල සිටින දුප්පත් ළමයින්ට උදවු කරන්න.

ඇයි ඔබ මෙතරම් ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ උනන්දු?

මම පාසල් යන කාලේ මලල ක්‍රීඩකයෙක්. ඒ පැත්තෙන් ජයග්‍රහණ පවා ලැබුවා. පාසල පුරා මං හරිම ප්‍රසිද්ධයි ක්‍රීඩකයකු ලෙස. ඒ ජනප්‍රියත්වය සමඟින්මයි මාධ්‍ය ක්ෂේත්‍රයට එකතු වන්නේ.

ඔබේ ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

මං එහෙම ජනප්‍රියද? (සාරංග සිනාසෙයි) මං අර කිව්වෙ ක්ෂේත්‍රය පුරා මං පාසල් යන කාලේ සිට ජනප්‍රියයි. ඒ ක්‍රීඩකයකු ලෙස. මාධ්‍ය ක්ෂේත්‍රයට ආවට පස්සේ රටේ බොහෝ දෙනකු මාව හඳුනා ගත්තා. ඒක වෙනම ම ජනප්‍රියත්වයක්.

ඔබ පරපුරේ අය හැදුණේ පෙර පරපුරේ නිවේදන ක්ෂේත්‍රයේ පතාක යෝධයින් දිහා බලාගෙන. පසු පරපුරට හැදෙන්න එවන් වූ පරමාදර්ශි චරිත ඔබ පරපුරේ සිටිනවාද?

ඇත්තටම නැහැ. මං මේ කියන්නේ පෙර පරපුරේ තරමටම නැහැ කියලා. අතළොස්සක් වූ කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් අප පරපුරට අනන්තවත් දෙනා හිටියා බලලා හැදෙන්න. ඒත් අවාසනාවට අපි දිහා බලලා හැදෙන්න නව පරපුරට බැරි වෙලා තියෙනවා. ඒකට මේ වගේ හේතුවකුත් මං දකිනවා. ඇතැම් විට අපේ අඩුපාඩු හරියට කියන කෙනෙක් නැහැ. බොරුවට හරි වැරැද්දක් කළත් සුදු හුණු ගාන අය ඉන්නේ. ඒක අපට වන බරපතල වරදක් හැටියට මා දකිනවා. මං කියන්නේ අපේ වුණත් වැරැද්දක් දැක්කම කියන්න. කළ අපට නෙවේ අප දිහා බලාගෙන ඉන්න නව පරපුරටයි ඒකේ වටිනාකම දැනෙන්නේ.

මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය ගැන මොකද කියන්න තියෙන්නේ?

මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය ගැන ලොකු කලකිරීමක් තියෙනවා. විශේෂයෙන් නව පරපුර ගැන. ඔවුන් තමයි මේක බාරගන්න ඉන්නේ. මං විසිටිං ලෙක්චරේ කෙනෙක් විදිහට ලෙක්රේස්වලට යනවා. ඒ ගියාම මට හමුවෙනවා මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් එන්න වෙරදරන පිරිස්. ඔවුන්ගේ අංක එක රූපය. රුව ගැන තමයි ඔවුන් පළමුව උනන්දු වන්නේ. ඊළඟට ක්ෂේත්‍රය පිළිබඳ අවශ්‍ය දැනුම. මේගොල්ලො අත්‍යවශ්‍ය දේ අංක දෙකට දාලා අවශ්‍ය දේ අංක එකට දාගෙන. එහෙම හිතුවා නම් ප්‍රේමකීර්ති ද අල්විස් වගේ ප්‍රවීණයින්ට නිවේදකයකු වන්නට බැරි වෙනවා. රුව නෙවෙයි දැනුමයි වැදගත්. මෙන්න මේ වගේ පිරිසක් ක්ෂේත්‍රයට ආවාම ඉදිරිය මොන වගේ වේවි ද කියලා හිතන්න පුළුවන්නෙ.

නළු නිළියො වගේ වෙනත් ක්ෂේත්‍රවල අය නිවේදන කටයුතවල නියැලීම ගැන සාරංග ඉන්නේ මොන වගේ අදහසකින්ද?

අපි පළමුව දැන ගත යුතුයි කතා කළ හැකි හැමෝම නිවේකයකු නෙවෙයි. එහෙම හිතන්න ගියාම තමයි වැරැද්ද. වෙන ක්ෂේත්‍රවල අය නිවේදනයේ යෙදිලා වැරැදුණාම ඇතැම් මිනිස්සු සමස්ත නිවේදක පරපුරටම බනිනවා.

මොනවද ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු?

මං විවාහකයි. සතුටින් සුවෙන් කාලය ගෙවනවා. මං පදිංචිව ඉන්නේ හෝමාගම.